November 24, 2026

වර්තමාන සමාජය තුළ ජීවත් වන්නා වූ මිනිසුන් වශයෙන්, අප වටා ඇති ලෝකය තුළ සිදුවන්නා වූ සිදුවීම් හා සබැඳි කරුණු කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව ජීවත්වීම ඔබ අප ඇතුළු සියළුදෙනා හට අතිශයින්ම ප්‍රයෝජනවත් ය. එනම් මෙම ලෝකය තුළ නිරතුරුවම ක්‍රියාත්මක වන පටු අරමුණු පෙරදැඩි වූ බොහෝමයක් සැලසුම් පිළිබඳව යම්තාක් මට්ටමින් හෝ දැනුවත්ව තිබීම අපගේ අනාගත ජීවිතයට අවැසි ඇතැම් තීන්දු තීරණ හා දිශාණතීන් උදෙසා වක්‍රාකාර ලෙසින් හෝ බලපානු ඇත. එසේ හෙයින් එවන් වූ ගෝලීය කුමන්ත්‍රණ මෙන්ම ලෝකය තුළ පවතින විවිධාකාර පැතිකඩයන් පිළිබඳවද මෙම ලිපි පෙළ ඔස්සේ අප ඔබව දැනුවත් කරනුයේ මේ ඔස්සේ තවදුරටත් ඔබගේ අවබෝධය ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කරමින් ය. කෙසේනමුත් මෙම ලිපිය ඔස්සේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය නොහොත් නේටෝ සංවිධානය පිළිබඳව ඔබගේ අවබෝධයට යමක් එකතු කිරීමට අප තීරණය කරනු ලැබුවේ, අද වනවිට මෙම මාතෘකාව ලෝකයේ බොහෝමයක් ස්ථානයන්හි විවේචනාත්මක කතා බහකට ලක්ව ඇති හෙයිනි.දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව පැමිණි කාලසීමාව ගත්කළ, එය සත්‍ය වශයෙන්ම ලෝකය තුළ පැවති බලාත්මක රාජ්‍යයන් හට තීර්ණාත්මක අවධියක් විය. එනම් එක් පසෙකින් ඇමරිකා එක්සත් ජනපදයත්, අනෙක් පසින් රුසියාව මූලික වූ සෝවියට් සමූහාණ්ඩුවත් නිසොල්මන් ලෙසින් නිරන්තර බල අරගලයක නියැලෙන්නට විය. එහිදී එවකට සෝවියට් සමූහාණ්ඩුවෙහි පාලන කටයුතු සිදුකළ ජෝෂප් ස්ටාර්ලින්ගේ වේගවත් නැඟ ඒම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර යුරෝපීය රාජ්‍යයන් බොහෝමයකට විශාල ගැටළුවක් විය. එවකට සෝවියට් සමූහාණ්ඩුව තුළ දිගින් දිගටම සිදුවූ කොමියුනිස්ට්වාදී පිබිදීමත්, ආර්ථික හා යුධමය සංවර්ධනයත් හේතුකරගනිමින් 1947 හා 1948 වැනි වර්ෂයන් වනවිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර යුරෝපීය රාජ්‍යයන් බොහෝමයකට අතිමහත් භෞතික හා දේශපාලනික අනාරක්ෂිතභාවයක් ඇති වන්නට විය.

ඒ සඳහා චෙකොස්ලෝවැකියාව තුළ සිදුවූ සෝවියට් ක්‍රියාකාරකම් මෙන්ම කොමියුනිස්ට් රජයක් ඉතාලියෙහි පාලනයට පත්වීම වැනි කරුණු බොහෝ සෙයින් බලපෑ අතරම 1948 වර්ෂයෙහි මැද භාගය තුළ සෝවියට් නායක ජෝෂප් ස්ටාර්ලින් විසින් බටහිර බර්ලිනයට එරෙහිව ගත් පියවරයන් තුළින් යුරෝපීය ජාතිකයින් තුළ පැවති බිය දෙගුණ තෙගුණ වන්නට විය. එය ඉතාමත් පැහැදිලි අවස්ථාවක් කරගත් ඇමරිකා එක්සත් ජනපදය, ලෝක බලවතා වීමේ තරඟය තුළ තමා හට අභියෝගයක් විය හැකි එකම බලවතා වූ සෝවියට් සමූහාණ්ඩුව මැඩලීම උදෙසා ඉතාමත් සූක්ෂම ලෙස භාවිතයට ගන්නා ලදි. එනම් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර යුරෝපීය රාජ්‍යයන්හි ආර්ථික හා දේශපාලනික භූමිකාවන් හට සෝවියට් සමූහාණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් කඳවුර විශාල තර්ජනයක් බව දිගින් දිගටම බටහිර රාජ්‍යයන් වෙත ඒත්තු ගැන්වූ ඇමරිකා එක්සත් ජනපදය, ඔවුනොවුන්ගේ ආරක්ෂාව දැඩිව තහවුරු කරගත යුතුය යන මතය තුළ සිටිමින් එයට පිළියමක් ලෙස අන්තර් රාජ්‍යය හමුදාමය සංවිධානයක් නිර්මාණය කරගැනීමට මඟ පාදා ගන්නා ලදි.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර යුරෝපීය රාජ්‍යයන්, 1949 වර්ෂයෙහි අප්‍රේල් මස 04 වන දින ඇමරිකාවෙහි වොෂින්ටන් නුවරදී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය නමින් වූ අන්‍යෝන්‍ය ආරක්ෂාව උදෙසා වූ සංවිධානයක් නිර්මාණය කරගැනීමට අත්සන් තබන ලදි. එවන් අයුරින් නේටෝ සංවිධානයෙහි ඇරඹුම සනිටුහන් වූ අතර සත්‍ය වශයෙන්ම මෙය බටහිර අර්ධගෝලයෙන් පිටත ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු වූ පළමු හා විශාලම හමුදා සන්නද්ධ සංවිධානය විය. කෙසේනමුත් මුල්ම ගිවිසුම් ගතවීම තුළ ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍යය නේටෝ සංවිධානයෙහි නිත්‍ය සාමාජිකයින් වූ අතර ඊට සමීප කාලසීමාවක් තුළ එනම් 1949 වර්ෂය තුළදීම කැනඩාව, ඉතාලිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්ෂන්බර්ග්, නෝර්වේ, පෘතුගාලය, ඩෙන්මාර්කය හා අයිස්ලන්තය නේටෝ සංවිධානයෙහි සාමාජිකත්වය ලබාගන්නා ලදි. මෙලෙස ආරම්භය තුළ සාමාජිකයින් 12 කගෙන් යුතුව පැවති නේටෝ සංවිධානය වෙත පසුකාලීනව එනම් 1952 වර්ෂයේ දී තුර්කිය හා ග්‍රීසියත්, 1955 වර්ෂයේදී බටහිර ජර්මනියත් හා 1982 වර්ෂයේදී ස්පාඤ්ඤයත් සම්බන්ධ වන්නට විය. මෙලෙස දිනෙන් දින වර්ධනය වූ නේටෝ සංවිධානය සෝවියට් සමූහාණ්ඩුව විසින් සිදුකළ හා සහයෝගය ලබාදුන් බොහෝමයක් කටයුතු උදෙසා සෘජුව හා වක්‍රාකාර අයුරින් විරුද්ධවාදී ලෙස සහසම්බන්ධව කටයුතු කරන්නට විය. මේ සඳහා 1950 වර්ෂයේ සිට 1953 වර්ෂය දක්වා වූ කාලසීමාව තුළ ඇවිළී ගිය කොරියානු යුද්ධය පැහැදිලි ලෙසම සාක්ෂි දරනු ඇත.

එලෙස සෝවියට් සමූහාණ්ඩුව මර්ධනය කිරීමේ මූලිකම පරමාර්ථය සතුව ව්‍යාප්ත වූ නේටෝ සංවිධානය 1991 වර්ෂයේදී සෝවියට් සමූහාණ්ඩුව විසුරුවා හැරීමෙන් අනතුරුවද ඉතාමත් ක්‍රියාශීලී ලෙස පැතිර යන්නට විය. එනමුත් ඒහා සමාන අරමුණු හේතුවෙන් සංවිධානය වී තිබූ වෝසෝ වැනි සංවිධානද සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව විසුරුවා හැරිය මුත් නේටෝ සංවිධානය ඉන් පසුවද තම විකාශනය පුළුල් කිරීම උදෙසා කටයුතු කිරීම එදා සිට අද දක්වාම ලෝකය තුළ බොහෝ කතාබහට ලක් වූ කරුණක් විය. කෙසේනමුත් 1991 වර්ෂයෙන් අනතුරුව, එනම් 1997 වර්ෂයේ දී නැඟෙනහිර ජර්මනියටත්, 1999 වර්ෂයේදී හංගේරියාව, චෙක් ජනරජය හා පෝලන්තයටත් , 2004 වර්ෂයේදී බල්ගේරියාව, එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව හා ස්ලෝවේනියාවටත් , 2009 වර්ෂයේදී ඇල්බේනියාව හා කෘඒෂියාවටත්, 2017 වර්ෂයේ දී මොන්ටියගුරු රාජ්‍යයටත් හා 2020 වර්ෂයේදී උතුරු මෙස්ඩෝනියාවටත් තම සාමාජිකත්වය ලබාදුන් නේටෝ සංවිධානය ඒ ඔස්සේ ඉතාමත් වේගවත් ලෙස ලෝකය පුරා තම බලය පතුරුවා හරින්නට විය. 2023 වර්ෂයෙහි අප්‍රේල් මස 04 වන දින සාමාජිකත්වය ලද ෆින්ලන්තයද ඇතුළත්ව මේ වනවිට රාජ්‍යයන් 31 කින් පමණ සන්නද්ධව පවතින ඇමරිකා එක්සත් ජනපදය මූලික නේටෝ සංවිධානය ලෝකය තුළ සිදුවන බොහෝමයක් යුධමය හා යුධමය නොවන සිදුවීම් උදෙසා අතපොවමින් කටයුතු කිරීම සත්‍ය වශයෙන්ම අද වනවිට මුළු මහත් ලෝකයටම නොරහසකි.

එමෙන්ම පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රාජ්‍යයන් වෙත ළඟා නොවන ලෙස දැඩිව රුසියාව විසින් ප්‍රකාශ කළද, එය නොතකමින් රුසියානු කලාපයට අයත් රාජ්‍යයන් හට නේටෝ සංවිධානය විසින් තම සාමාජිකත්වය ලබාදෙමින් ළඟාවීම එදා සිට අද දක්වාම රුසියාවෙහි ඉමහත් අප්‍රසාදකට තුඩු දුන් කරුණක් විය. කෙසේනමුත් සෝවියට් සමූහාණ්ඩුව මර්ධනය කිරීමේ අරමුණ පෙරදැඩිව ආරම්භ කළ නේටෝ සංවිධානය පසුකාලීනව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති රාජ්‍යයන් වෙත ළඟා වෙමින් ඔවුනට නේටෝහි සාමාජිකත්වය ලබාදීම තුළ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන නේටෝ සංවිධානයෙහි බොහෝමයක් පටු අභිලාෂයන් පිළිබඳව ලෝකයාගේ දෙඇස් විවර වන්නට වුණි. එනම් බල තණ්හාව මතින් මුල් බැස සිටින්නා වූ ඇමරිකා එක්සත් ජනපදය මෙහි මුලසුන හොඹවන බැවින් එරට හා නිරතුරුවම බැඳී සිටින්නා වූ ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින මහා පරිමාණ ආයෝජන ආයතනද නිල වශයෙන් හා නිල නොවන වශයෙන් මේහා සමඟ බැඳී පවතී. එසේ හෙයින් ලෝකය තුළ පවතින ස්වභාවික සම්පත් සඳහා වන අරගලයෙහි එක් පැතිකඩක් ලෙස මෙම නේටෝ සංවිධානයෙහි උතුරු කලාපීය අතපෙවීම් පෙන්වාදිය හැකිය. එනම් ගෝලීය වශයෙන් ගත්කළ, උතුරු අර්ධ ගෝලයට අයත් රාජ්‍යයන් තුළ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් හට සාපේක්ෂව ඉතාමත් වැඩි ස්වභාවික සම්පත් සංචිත ප්‍රමාණයක් ගැබ්ව පවතී. තෙල් , ගෑස් , පොහොර මෙන්ම වටිනා වූ බොහෝමයක් ඛනිජ සම්පත් මෙම උතුරු කලාප තුළ අන්තර්ගතව තිබුණද ඉතිහාසය පුරාවට රුසියාව සතුව තිබූ දියුණු යුධ බලයත්, තාක්ෂණයත් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කිසිඳු බටහිර රාජ්‍යයකට මෙම උතුරු කලාප සූරාකෑමට නොහැකි විය. එසේ හෙයින් මේතාක් වූ කාලපරිච්ඡේදයක් පුරාවට සෘජු ලෙස මැදිහත්ව සිදුකිරීමට නොහැකි වූ විවිධාකාර කටයුතු අද වනවිට ඇමරිකා එක්සත් ජනපදය විසින් නේටෝ සංවිධානය උපයෝගී කරගනිමින් සිදුකරනු ලබයි.

මෙලෙස ඉතාමත් කූට අන්දමින් තම බලය ගොඩනඟා ගනිමින් හා එලෙස ලබාගත් බලය ඉතාමත් පටු අභිලාෂයන් උදෙසා භාවිතා කරමින් කටයුතු කළ ඇමරිකා එක්සත් ජනපදය මූලික වූ නේටෝ සංවිධානය 1995 වර්ෂයේදී බොස්නියා හමුදාවට එරෙහිවත්, 1999 වර්ෂයේදී යුගොස්ලෝවියාවට එරෙහිවත් හා 2011 වර්ෂයේදී ලිබියාවෙහි මුඅම්මර් ගඩාෆිට එරෙහිවත් තම යුධ බලය භාවිතා කරන්නට විය. ඒ තුළ ඔබ හට ප්‍රකාශ කළ යුතුම සිදුවීම නම්, නේටෝ සංවිධානය විසින් දියත් කළ ලිබියානු යුධ මෙහෙයුමයි. එනම් 2011 වර්ෂයේදී ලිබියානු පාලක මුඅම්මර් ගඩාෆි විසින් එවකට ගෙන ගිය පාලනයට එරෙහිව එරට කැරලි කරුවන් විසින් ගෙන ගිය රාජ්‍ය විරෝධී මෙහෙයුම් උදෙසා සෘජු යුධ ආධාර හා මැදිහත්වීම් සිදුකළ නේටෝ සංවිධානය ඒ තුළින් ඉතාමත් උපක්‍රමශීලී ලෙස එරට පාලන කටයුතුවලට, සම්පත් සඳහා මෙන්ම සමාජීය වටපිටාවටද බොහෝමයක් බලපෑම් සිදුකරන්නට විය. එපමණක් නොව සර්බියාව හා ඇෆ්ගනිස්ථානය වැනි රාජ්‍යයන් තුළද විවිධාකාර අයුරින් යුධ මෙහෙයුම්හි නිරත වූ ඇමරිකා එක්සත් ජනපදය මූලික නේටෝ සංවිධානය ඒ තුළින් තම බලය ඉතාමත් කූට අන්දමින් ලෝකයා වෙත ප්‍රකාශ කරන්නට විය. කෙසේ නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව සමස්ථ ලෝකයෙහි සාමය පවත්වා ගැනීම උදෙසා නිර්මාණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එතැන් පටන් කිසිඳු රාජ්‍යයකට තවත් රාජ්‍යයක් යුධමය වශයෙන් අත්පත් කරගැනීම දැඩිව තහනම් කර ඇති වටපිටාවක ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන නේටෝ සංවිධානයට අනෙකුත් රාජ්‍යයන් තුළ යුධ කටයුතුවල නිරත වෙමින් රාජ්‍ය බලයන්ට බලපෑම් කිරීමට හැකිවූයේ කෙසේද යන්න පිළිබඳව ඔබ හට මෙන්ම මා හටද අද වනවිට පවතිනුයේ උභතෝකෝටික ගැටළුවකි.

ඔබගේ දැනුම සදහා යොමු වන්න.

ආචාර්ය තිස්ස ජිනසේන

2023.09.09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *