
එදා සිට අද දක්වා වූ දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරාවට සමස්ථ ලෝකය තුළ සිදු වූ සහ සිදුවෙමින් පවතින්නා වූ භූදේශපාලනික සිදුවීම් මාලාවන් තුළින් නිසැකවම පීඩාවට පත් වූයේ කවුරුන්ද? එමෙන්ම එම සමස්ථ සිදුවීම් තුළින් ප්රතිලාභ අත්කරගනු ලැබුවේ කවුරුන්ද..? යන්නා වූ පැනයන් සඳහා මෙතෙක් කලක් පුරාවට ලෝකයා ඉදිරියට ගෙන ආ තොරතුරු සත්‍ය වශයෙන්ම නිරවද්‍යද යන්න නිසැකවමව ප්‍රශ්නාර්ථයකි. එනම් ලෝකය තුළ සිදුවූ ආර්ථික ප්‍රසාරණය වීම්, සම්පත් බෙදීයෑම් මෙන්ම සුළු පරිමාණ හා මහා පරිමාණ යුධමය ගැටුම් පසුපස පැවති මූලබීජය කුමක්ද යන්න පිළිබඳව ලෝකයා ප්‍රශ්න නඟන්නා වූ විවෘත වටපිටාවක් අද වනවිට ලෝකය තුළ නිර්මාණය වෙමින් පවතී. එසේ හෙයින් ලෝක ප්‍රසිද්ධ භූදේශපාලනික විශේෂඥවරියක් වන ඉන්දීය ජාතික උට්සා පට්නායක් ඇතුළු එම ක්ෂේත්රය තුළ පරිණත බොහෝ ප්‍රවීණයින්ගේ දැනුමෙහිද සංකලනයක් තුළින් මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමට මා අදිටන් කරගනු ලැබුවේ, ඒ තුළින් ඔබහට ලෝකය පිළිබඳව වඩාත් ගුණාත්මක අවබෝධයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමිනි.
වත්මන් ලෝකයෙහි සෑම අස්සක් මුල්ලක් පුරාවට ඉතා ඛේදනීය අන්දමින් පැතිර පවතින ධනවාදය නම් වූ පිළලය, අද වනවිට සමස්ථ ලෝකය පුරා වූ සුවිශාල ජීවිත ප්‍රමාණයක ඉරණම තීරණය කිරීමට සමත්වී ඇත. මෙම ධනවාදය නම් වූ පිළලය මෙවන් අන්දමින් ලෝකය වෙළාගනු ලැබුවේ කිනම් ආකාරයකින්ද යන්න පිළිබඳව සොයා බැලීමේදී ඉතාමත් පැහැදිලි ලෙසම දිස්වන්නා වූ කරුණක් නම් මෙහි පාදම එසේත් නොමැතිනම් මූලය නිර්මාණය වී පවතිනුයේ නිසැකවම අධිරාජ්‍යවාදය මතින් බවයි. කෙසේනමුත් වත්මන් ලෝක බලවතුන් මුසපත්ව පවතින්නා වූ මෙම අධිරාජ්‍යවාදී සංකල්පයන්හි මූලාරම්භය වෙත මෙම ලිපිය ඔස්සේ අප පය තැබීමට අදිටන් කර ගනු ලැබුවේ ඒ ඔස්සේ වර්තමාන ලෝකය තුළ සිදුවන්නා වූ බොහෝමයක් සිදුවීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබ වෙත නොඅනුමානව ලැබෙනු ඇතැයි විශ්වාස කරමිනි.
ඉපැරණි ලෝකය ශිෂ්ටාචාරගත වූ දා පටන් අද දක්වා පැමිණි ගමන් මඟ දෙස හැරී බැලීමේදී කාර්මික විප්ලවය යනු සත්‍ය වශයෙන්ම සුවිශේෂී සන්ධිස්ථානයකි. එනම් මේ වනවිට අතිශය විශාල අන්දමින් දියුණුව පවතින තාක්ෂණයේත්, ඒ තුළින් සංවර්ධනය වූ කාර්මීකරණයේත් මූලාරම්භය එය විය. කෙසේනමුත් 18 වන සියවස මැදභාගයෙහිදී බ්‍රිතාන්‍යය විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමඟ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව බ්‍රිතාන්‍යය ඉතා වේගවත් ලෙස කාර්මීකරණයට ලක් වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එරටෙහි ආර්ථිකය ඉතාමත් පුළුල්භාවයකට පත් වූ අතර එමඟින් බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉතා සුඛෝපභෝගී ජීවිතයකට හුරුවිය. මෙවන් අයුරින් අනුවර්තනය වූ සුඛෝපභෝගී ජීවන රටාවන්, දීර්ඝ කාලීන ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත අනෙකුත් රාජ්‍යයන් තුළින් ධනය සහ සම්පත් සූරාකෑමට පෙළඹුණ බ්‍රිතාන්‍යය, ඒ ඔස්සේ යටත්විජිත ප්රතිපත්තීන් අනුගමනය කරමින් අන්‍ය රාජ්‍යයන් ආක්‍රමණය කරන්නට විය. මෙලෙස සමස්ථ ලෝකය පුරා බොහෝමයක් රාජ්‍යයන් අත්පත් කරගනිමින් ප්රංශයත් සමඟ කරට කර තරඟ වැදි බ්‍රිතාන්‍යය, එමඟින් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම නිර්මාණය කොට ඔවුන් අත්පත් කරගත් රාජ්‍යයන් තුළ පැවති ධනය හා ස්වභාවික සම්පත් මෙන්ම පෞරාණික වටිනාකමක් ඇති සම්පත්ද සූරාකන්නට විය.
මෙලෙස ලෝකය පුරා වූ බොහෝමයක් සශ්‍රීක රාජ්‍යයන් තුළින් සම්පත් සූරා කෑ බ්‍රිතාන්‍ය කිරීටයෙහි ඒකාධිපතීන් ඇතුළු බ්‍රිතාන්‍යය ජාතිකයින් අන්‍ය රාජ්‍යයන්හි සම්පත් තුළින් දීර්ඝ කාලයක් වැජඹෙන්නට විය. කෙසේනමුත් 19 වන සියවස මැදභාගය වනවිට ඔවුන් ලෝකය පුරා තම ආධිපත්‍ය කෙතරම් ව්‍යාප්ත කර තිබුණිද යත්, හිරු නොබසින් අධිරාජ්‍යය ලෙසින් අන්වර්ථ නාමයන් පවා බ්‍රිතාන්‍යයට පටබැඳුණි. තවද මෙම සංවර්ධනයන් හා ලෝකය තුළ ඔවුන් හට ලැබුණු බලය හේතුවෙන් මාන්නක්කාර ගතිපැවතුම් හා ආකල්ප වෙත අනුවර්තනය වූ ඔවුන්, ඒ මතින් අතිමහත් ප්‍රභූත්වයක් ගොඩනඟාගත් අතරම සෑමවිටම අන්‍ය ජාතීන් පහත් කොට සළකන්නට විය. කෙසේනමුත් ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙකු වූ ජෝසෆ් කොන්රාඩ් සිය අන්ධකාරයේ හදවත නම් වූ ග්‍රන්ථය තුළ සඳහන් කරන්නට වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය තුළින් ඔවුන් ලෝකය පාලනය කිරීම හා සමගාමීව සිදුකරනු ලැබුවේ ඔවුනගේ දේහ වර්ණයට හා සමෙහි ස්වභාවයට වෙනස් වූ අන්‍ය ජාතීන් ඔවුනගෙන් වෙන්කර තැබීමක් බවයි.කෙසේනමුත් ඇමරිකාව ඇතුළු ලෝකයේ බොහෝමයක් රාජ්‍යයන් තම අණසකට නතුකර ගැනීමට බ්‍රිතාන්‍යයන් හට හැකිවුවද, 1976 වර්ෂයේ සිදුවූ ඇමරිකානු නිදහස් සටනෙන් අනතුරුව ක්රමානුකූල ලෙස ඔවුන්ගේ බලය බිඳී යන්නට විය.
එනමුත් ඒ තුළ පැවති කණගාටුදායකම කරුණ නම්, බ්‍රිතාන්‍යයන් විසින් දරා සිටි අධිරාජ්‍යවාදී සංකල්ප හා ප්‍රභූ මතවාදයන් ඒ වනවිටත් ඔවුනගේ පාලනයේ පැවති රාජ්‍යයන් තුළ රෝපණය වී තිබීමයි. එහිදී වත්මන් ලෝක බලවතා ලෙසින් නැඟී සිටි ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම මතවාද ශීඝ්‍ර ලෙසින් ව්‍යාප්තව පැවතුණි. කෙසේනමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතා තීවෘ අන්දමින් වර්ණභේද වාදය හිස ඔසවන්නට විය. ඒ තුළින් අප්‍රිකානු කලාපීය රාජ්‍යයන් තුළ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය තුළද ජීවත් වූ කළු ජාතිකයින් තුළ වහල් මානසිකත්වයක් නිර්මාණය කළ අතර එම සමාජය තුළ ඔවුනට සිය ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මෙන්ම සියළු වරප්රසාදද ඇහිරිණි.
එමෙන්ම මෙම සමස්ථ ක්‍රියාවලිය තුළින්, විශේෂයෙන්ම ගත් කළ ඇමරිකානු සුදු ජාතිකයින් සමාජයෙහි සියළුම වරප්‍රසාද ඉතාමත් ආත්මාර්ථකාමී අන්දමින් භුක්ති විඳින්නට විය. මෙම සමස්ථ සිදුවීම හා ගත් කළ ඔබ අවබෝධ කරගත යුතු ඉතාමත් වැදගත් කරුණක් නම්, මා ඉහතින් සඳහන් කළ සුදු ජාතිකයින් යනු නිසැකවම දේහ වර්ණයෙන් සුදු මනුෂ්‍යයින් නොවන බවයි. එනම් එවකට White Anglo-Saxon Protestants (WASP) නමින් හැඳින්වූ බ්‍රිතාන්‍යය සම්භවයක් ඇති ඉතා සුළුතර ප්‍රභූ පිරිසක් පමණක් මා ඉහතින් සඳහන් කළ අන්දමින් වරප්‍රසාද භුක්ති විඳින්නට විය. ඔවුන් ස්ථාපනය කොට තිබූ ප්‍රභූත්වය කෙතරම්ද යත්, එවකට ඇමරිකා එක්සත් ජනපදය මූලික වූ ලෝකයේ ප්‍රධානතම ආයතන, Cartels මෙන්ම මුල් කාලසීමාවන්හිදී ඇමරිකානු ජනාධිපති ධූරයන් ඇතුළු පාලන බලතල පවා එම සීමිත පිරිස අතර පමණක් බෙදී යන්නට විය.
ඔවුන්ගේ බලපෑම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු සමස්ථ ගෝලීය සමාජයට කෙතරම් බලපෑමක් ඇති කළේද යත්, කාලාන්තරයක් පුරාවට ඔවුන් භුක්ති විඳි වරප්‍රසාද හා බලයන් කරා කිසිඳු පුද්ගලයෙකුට ළඟා නොවීමට ඔවුන් වගබලා ගන්නට විය. එනම් ඔවුන් ලද බලය ස්ථාවර කරගැනීමේත්, තවදුරටත් ව්‍යාප්ත කරලීමේත් පටු අරමුණ මත නිර්මාණය කළ Neocolonialism නොහොත් නව යටත්විජිතවාදය තුළින් එම සුළුතර ඒකාධිපතිවරුන් ලෝකයේ බොහෝ රාජ්‍යයන් සඳහා ආර්ථිකමය ආධාර මුවාවෙන් තම ආත්මාර්ථකාමී කොන්දේසීන් හා පාලන ක්‍රමවේදයන් ව්‍යාප්ත කරන්නට විය. මේ සඳහා ගෝලීයකරණයද කදිම අවස්ථාවක් කරගත් ඔවුන් ඒ තුළින් ඔවුනගේ අධිරාජ්‍යවාදී සංකල්පයන් ඉතා පහසුවෙන් ලෝකය පුරා ව්‍යාප්ත කරන්නට විය. සමස්ථයක් ලෙස ගත් කළ, ඔවුනගේ මෙම සංකල්පවාදී ව්‍යාපාරය කෙතරම් සාර්ථක වුණිද යත්, අද වනවිට ලෝකය පුරා බහුතරයක් මිනිස් ජීවිත තුළට ධනවාදය, ආගම්වාදය, කුලවාදය මෙන්ම පන්තිභේදය වැනි සංකල්ප දැඩි ලෙස කිඳා බැස්වීමට එයට හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ මුදුනා, එසේත් නොමැතිනම් බලයේ සිටි සුළුතර වංශාධිපතිවරුන් එදා සිට අද දක්වාම බහුතර සාමාන්‍ය වැසියාව පහත් කර තැබීමය.
කෙසේනමුත් මා ඉහතින් සඳහන් කළ බ්‍රිතාන්‍යය මූලික වූ යටත් විජිතකරණය හා සමඟාමීව ඔබ හට පැවසිය යුතුම කරුණක් නම්, අද වන තෙක්ම අප්‍රිකානු කලාප තුළ ව්‍යාප්තව පවතින ප්‍රංශ යටත් විජිතකරණයයි. එනම් බ්‍රිතාන්‍යය තම යටත් විජිතකරණ ක්‍රියාවලීන් දියත් කළ කාලපරිච්ඡේදයන් හා සමකාලීනව ප්රංශයද ඉතා පුළුල් අන්දමින් ඔවුනගේ යටත් විජිතකරණ ක්‍රියාවලීන් ව්‍යාප්ත කරන්නට විය. එහිදී ප්‍රංශය වැඩි නැඹුරුතාවයක් දක්වන්නට වූයේ අප්‍රිකානු කලාප වෙතය. එනම් 1637 වර්ෂයේදී උතුරු අත්ලාන්තික් සාගරයට බැඳී පැවති සෙනගල් ගංඟා සීමාවෙන් ආරම්භ වූ ප්‍රංශ යටත් විජිතකරණ ක්‍රියාකාරකම් පසුකාලීනව ඉතාමත් ක්රමානුකූල ලෙස බටහිර අප්‍රිකාවෙහි අභ්‍යන්තරය දක්වා ව්‍යාප්ත වන්නට විය. එනම් සෙනගල්, මොරිටේනියා, මාලි, ගිනියාව, අයිවර් කෝස්ට්, බුර්කිනා ෆාසෝ, බෙනින් මෙන්ම නයිජර් දක්වා ඉතා ක්රමානුකූල ලෙස විහිද පැවති ප්‍රංශ යටත්විජිතකරණය ඔවුනගේ පස්වන ජනරජ යුගයෙහි ආරම්භක අවධිය දක්වා නොබිඳව පැවතුණි. එය ඉතාමත් හොඳ අවස්ථාවක් කරගත් ප්‍රංශය වාර්ථාගතව පවතින වසර 300 ක පමණ කාලපරිච්ඡේදයක් පුරාවට බටහිර අප්‍රිකාවෙහි වහල්භාවයට පත් වූ මිනිසුන් ජාවාරම් කිරීම මෙන්ම විවිධාකාර ක්රමෝපායන් ඔස්සේ එම රාජ්‍යයන් සතු සම්පත් හා දේපළ මහා පරිමාණ අන්දමින් සූරාකමින් පැරීසිය ප්‍රධාන වූ ප්‍රංශ රජයෙහි ආර්ථිකය වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලදි. කෙසේනමුත් 1960 වර්ෂයේදී ප්‍රංශ යටත්විජිතකරණයෙන් මිඳීමට මෙම කලාපයන් හට හැකිවුවද, 1992 වර්ෂය දක්වා වූ කාලසීමාව තුළ මාලි කලාපය ඒකාධිපති පාලනයකට නතුව පැවතුණි. තවද 19 වන සියවසේ අගභාගයේදී “ප්‍රංශ සුඩානය” නමින් හැඳින්වූ වර්තමාන මාලි රාජ්‍යය තුළ එවකට බටහිර අප්‍රිකාවෙහි සිටි වැඩිම මුස්ලිම් ජනකාය ජීවත් වුණි. එවකට පැවති ඒකාධිපති පාලනයේ අඳුරු ක්‍රමවේද හා නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍යය මධ්‍යයේ ක්‍රමානුකූලව වර්ධනය වූ අන්තර් ගෝත්‍රික ගැටුම් හා ත්‍රස්තවාදී පිබිදීම් හේතුවෙන් පැවති රජය පෙරළා දැමීම උදෙසා 2013 වර්ෂයේදී මාලි වැසියන් හා අභ්‍යන්තරික සංවිධාන ප්‍රංශ රජයෙන් උපකාර පැතීය. එය ඉතාමත් කදිම අවස්ථාවක් කරගත් ප්‍රංශ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි මාලි කලාපය ඇතුළු වර්තමාන සාහෙල් කලාපය තුළ ඔවුනගේ යුධ මූලස්ථාන ස්ථානගත කළ අතර පසුව එම කලාප තුළ ක්රමානුකූල ලෙස ඔවුනගේ පාලන ක්‍රමවේද ස්ථාපනය කරන්නට විය. කෙසේනමුත් කාලයත් සමඟ ප්‍රංශ රජය විසින් සිදුකරන්නා වූ රහසිගත සූරාකෑම් පිළිබඳව අවබෝධ වූ මාලි රාජ්‍යය 2022 වර්ෂයේ ජූලි 31 වන දින ඉතා සෘජු ලෙසම ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් මහතා හට ප්‍රකාශකර සිටින්නට වූයේ උපකාර මුවාවෙන් සිදුකරන්නා වූ නව හමුදා ස්ථානගත කිරීම් හා ආර්ථිකමය බලපෑම් තමන් ප්‍රතික්ෂේප කරන බවත්, හැකි විගස ඔවුන් මෙලෙස අනුගමනය කරන්නා වූ නව යටත්විජිත සංකල්පයන් හා ක්‍රියාකාරකම් ඉවත්කර ගන්නා ලෙසත් ය.
පටු හා ආත්මාර්ථකාමී අරමුණු මුඳුන්පත් කරගනිමින් මෙම කාලසීමාව දක්වාම ප්‍රංශය විසින් සිදුකරමින් සිටින්නා වූ නව යටත්විජිත ක්‍රියාකාරකම් හා සමගාමීව ලෝකයේ අනෙක් පසින් ඇමරිකා එක්සත් ජනපදය විසින්ද සිදුකරන්නා වූ මා ඉහතින් සඳහන් කළ නව යටත්විජිත ක්‍රියාකාරකම් අද වනවිට ලෝකයේ බොහෝමයක් ස්ථානවල විවේචනයට භාජනය වෙමින් පවතී. එමෙන්ම ලෝකය තුළ සිටින්නා වූ බොහෝමයක් විද්වතුන් ප්‍රකාශකර සිටිනුයේ වසර දස දහස් ගණනක විශිෂ්ට ඉතිහාසයක් උදෙසා උරුමකම් කියන්නා වූ චීනය වැනි රාජ්‍යයන්ද ඉතාමත් සුහදශීලී ක්‍රමවේද තුළින් අන්‍ය රාජ්‍යයන් සමඟ සබඳතා පවත්වන්නා වූ කාලසීමාවක ඇමරිකා එක්සත් ජනපදය හා ප්‍රංශය වැනි රාජ්‍යයන් බ්‍රිතාන්‍යය තුළින් ඇරඹුම ලද අධිරාජ්‍යවාදී සංකල්ප ඔස්සේ බල ඒකාධිකාරය වර්ධනය කරගැනීම හා අන්‍ය සම්පත් සූරාකෑම ඉතාමත් නින්දා සහගත මෙන්ම කනගාටුවටද කරුණක් බවයි. කෙසේනමුත් ඉහතින් මා සඳහන් කළ සමස්ථ කරුණු කාරණා හා සමඟාමීව අවසාන වශයෙන් මා ඔබ හට ප්‍රකාශකර සිටිනුයේ සමස්ථ ලෝකයටම පිළලයක්ව පවතින මෙම අධිරාජ්‍යවාදී, ධනවාදී මෙන්ම නව යටත්විජිතවාදී සංකල්ප පිළිබඳව මනා අවබෝධයක් ලබාගනිමින් ඒ ඔස්සේ ඉදිරි අනාගතය තුළ ශ්‍රී ලංකාවට පැමිණිය හැකි පවතින හා නව අභියෝග උදෙසා ප්‍රායෝගික හා ඥාණාන්විත විසඳුම් කරා යොමුවන ලෙසය.
ආචාර්ය තිස්ස ජිනසේන
2023.08.23