November 24, 2026

සාරාඅසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අප්‍රමාණ වූ පාරමිතාවන් පුරමින් ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පැමිණි අප මහා බුදුරජාණන් වහන්සේ, තම බුද්ධ ඥාණය තුළින් අවබෝධ කරගත් විශ්වීය යථාර්තය දුකින් පීඩා විදි හුදී ජනයා වෙත ලබාදීමට කටයුතු කරනු ලැබුවේ අප්‍රමාණ දුක් ඇති මෙම සංසාරයෙන් ඔවුනද එතෙර කිරීමේ දැඩි අනුකම්පා සහගත සිතිනි. එම කටයුත්ත සඳහා ධර්මාවබෝධය සහිත ආර්ය මහා සංඝරත්නයක් නිර්මාණය කළ උන්වහන්සේ, සිය අනුගාමික පිරිසද සමඟ ගම් නියම්ගම් සැරිසරමින් පෘතග්ජන ජනයා හට ධර්මය පහදා දෙනු ලැබුවේ උන්වහන්සේ තුළ තිබූ අපරිමිත මහා කරුණාව හේතුවෙනි. කෙසේනමුත් එදා සිට අද දක්වා වූ කාලපරිච්ඡේදය පුරා නොයෙකුත් බාධක මධ්‍යයේ වුවද, අප මහා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් මෙම උතුම් ධර්මය ලොව පුරා පැතිරී ගිය බව සැබෑවකි. එහිදී ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනය තුළින් මෙම ධර්ම සුරක්ෂිතභාවය සඳහා සිදුවූයේ අප්‍රමාණ සේවයකි.

එනමුත් කනගාටුවට කරුණනම්, වර්තමාන කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින්නා වූ ශාසන පරිහානියයි. ධර්ම විරෝධී සහ විනය විරෝධී කටයුතු තුළ නියැලෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ලබාගැනීම උදෙසා ධර්මය අවියක් කරගත් අපිරිසිදු භික්ෂු පරපුරක් ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව තුළ බිහිවීම හේතුවෙන් අදවන විට ශ්‍රී ලාංකේය බුද්ධ ශාසනය පිළිබඳව ජනයා තුළ පවතිනුයේ මහත් අප්‍රසාදයකි.මෙම තත්වය මෙලෙසම පැවතියහොත්, මෙම රටට සිදුවන්නා වූ විපත්තිකර පරිහානියෙන් මෙරට ගලවා ගැනීමට හැකි එකම විකල්ප මාර්ගය පැහැදිලි ධර්මාවබෝධයකින් යුතු යහපත් භික්ෂු පරපුරක් නිර්මාණය කොට මෙරට තුළ ධර්මීය ප්‍රබෝධයක් ඇතිකිරීම බව වැටහුණු මා, එම භාර්යධූර කාර්ය මනා සේ සිදුකිරීම උදෙසා බොල්ගොඩ ත්‍රිපිටක ධර්ම භික්ෂු පුහුණු මධ්‍යස්ථානය නිර්මාණය කරනු ලැබුවේ විශ්වීය අවශ්‍යතාවයද එය වූ බැවිනි. සියළු පහසුකම්ද සහිතව මනරම් අන්දමින් භික්ෂු පුහුණු කටයුතු උදෙසාම මෙම ස්ථානය නිර්මාණය කළද, කලින් කලට පැමිණෙන විදේශීය සංචාරක භික්ෂූන් හා ගිහියන් හැරුණුවිට මෙම ස්ථානය තුළ එකඳු භික්ෂූන් වහන්සේ නමක් හෝ නොසිටීම අතිශයින්ම මාගේ කම්පාවට තුඩුදෙන්නා වූ කරුණක් වී අවසන්‍ ය. මෙම උතුම් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා අවශ්‍ය භික්ෂු පරපුර පුහුණු කිරීම උදෙසාම නිර්මාණය කළ මෙවැනි ස්ථානයකින් සැබෑ ප්‍රයෝජනයක් නොගැනීම සත්‍ය වශයෙන්ම හිස් ක්‍රියාවක් ලෙස මා දකිමි. තවද මෙම ස්ථානය නිර්මාණය කිරීමේ මූලික අරමුණ සංචාරක ආකර්ෂණය ලබාගැනීම නොව මෙරට ධර්මීය පිබිදීම සඳහා අවශ්‍ය භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම බව මා නැවත නැවතත් මතක් කර සිටිමි.

ආචාර්ය තිස්ස ජිනසේන
2024.05.23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *