November 24, 2026

(පාරිශ්‍රද්ධ ත්‍රිපිටකයේ සිංහළ පරිවර්තනයකින් කිසිදු වෙනසක් නොකොට ඒ අයුරින්ම උපුටා ගන්නා ලද්දක් බවට කරුණාවෙන් සලකන්න).

“මහණෙනි”, “සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමෙහි මේ අනුසස් හයකි”. ඒ කවර සයක් ද යත්;

සද්ධර්මයෙහි ස්ථිර වූයේ වෙයි. නොපිරිහෙන ස්වභාව ඇත්තේ වෙයි. නැති කළ දුක් යළි නොහටගන්නේ වෙයි. පෘථග්ජනයන් හා සාධාරණ නොවූ අවබෝධයකින් යුක්ත වූයේ වෙයි. හේතුප්‍රත්‍ය ධර්මයන් මැනැවින් දකින ලද්දේ වෙයි. හේතූන්ගෙන් හටගත් ධර්මයන් ද මැනැවින් දකින ලද්දේ වෙයි.

සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා මිත්‍යා සීල ව්‍රත කියන මේ සංයෝජන තුන දුරුවී කෙනෙක් සෝතාපන්න වෙන්නේ කෙසේද යන්න රතන සූත්‍රයේ මේ ආකාරයෙන් සඳහන් වේ.

“ඒ ශ්‍රාවකයා තුළ චතුරාර්ය සත්‍යය පිළිබඳව සත්‍ය ඤාණයට පැමිණීමත් සමඟම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා යම්කිසි මිත්‍යා සීල ව්‍රත කියන මේ සංයෝජන තුන දුරුවෙලා යනවා. ඔහු සතර අපායෙන් මැනැවින්ම නිදහස් වෙනවා. (ආනන්තරීය පාප කර්ම පහත්, නියත මිත්‍යා දෘෂ්ටියත් යන) මේ පව් හය ඔහුගේ අතින් කෙරෙන්නේ නෑ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!”

එක්තරා අවස්ථාවක නන්දක නම් ලිච්ඡවි මහාමාත්‍යයා හට සෝතාපන්න වූ උත්තමයෙකුගේ ස්වභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරන ලදී.

“නන්දකයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි.  ආර්යකාන්ත සීලයෙන් ද යුක්ත වෙයි. එනම්, නොබිඳුණු, සිදුරු රහිත වූ, පැල්ලම් නැති, කැලැල් නැති, ණය නැති, නුවණැත්තන් විසින් පසසනු ලබන, මිසදිටු මත ස්පර්ශ නොකළ, සමාධිය පිණිස හිත වූ සීලයකින් යුක්ත වෙයි. මෙම සෝතාපත්ති අංග සතරෙන් සමන්විත වූයේ වෙයි.

සෝතාපන්න වී සිටින පුද්ගලයන් අටවෙනි භවයක් කරා නොගොස් අරහත් එලය ලබාගන්නා ආකාර තුනක් ඇත. 

එනම්: 

  1. සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් උපරිම වශයෙන් සත් වතාවක් උපදින ‘සත්තක්ඛත්තුපරම’ කෙනෙක් බවට පත්වෙනවා. (උපරිම වශයෙන් සත් වතාවක් දෙවියන් අතරත්, මිනිසුන් අතරත් ගමන් කොට, සැරිසරා දුක් කෙළවර කිරීම.) 
  1. සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් ආත්මභාව දෙක තුනක් උපදින ‘කෝලංකෝල’ කෙනෙක් වෙනවා. (ආත්මභාව දෙකක් හෝ තුනක් හෝ ගමන් කොට, සැරිසරා දුක් කෙළවර කිරීම.) 
  1. සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් එක ආත්මභාවයකට පමණක් සීමා වන ඒක බීජී කෙනෙක් වෙනවා. (එකම මනුෂ්‍ය ආත්මභාවයක උපත ලබා දුක් කෙළවර කිරීම.)

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා මේ ඉන්ද්‍රියයන් පස පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනගනියි ද, මහණෙනි, මෙම ආර්ය ශ්‍රාවකයා අපායට නොවැටෙන ස්වභාවයෙන් යුතු වූයේ නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තේ සෝවාන් පුද්ගලයා යැයි කියනු ලැබේ.

වරක්, රාධ නම් ස්වාමින්වහන්සේට පංච උපාදානස්කන්ධය මුල් කරගෙන සෝතාපන්න වූ උත්තමයෙකුගේ ස්වභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරන ලදී.

“රාධය, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියතවූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ.”

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා වෙනත් ශාස්තෘවරයෙක් අදහන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් වෙනත් ශාස්තෘවරයෙක් අදහන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.” 

මේ අතර, සෝවාන් වූ උත්තමයෙකු සිතන ආකාර තුනක් මෙසේ සඳහන් වේ.

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) නිත්‍ය හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) නිත්‍ය හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයකි. මෙය දකින්නට ලැබෙන දෙයකි.” 

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) සැප හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) සැප හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයකි. මෙය දකින්නට ලැබෙන දෙයකි.”

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා යම්කිසි ධර්මයක් තම වසඟයෙහි පැවැත්විය හැකි ආත්මයක් හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් යම්කිසි ධර්මයක් තම වසඟයෙහි පැවැත්විය හැකි ආත්මයක් හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයකි. මෙය දකින්නට ලැබෙන දෙයකි.”

එලෙසම් සෝවාන් වූ පුද්ගලයෙකු අතින් කිසිදා සිදු නොවන අපරාධ පහක් සඳහන් වේ.

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා තම මව ඝාතනය කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් තම මව ඝාතනය කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.” 

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා තම පියා ඝාතනය කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් තම පියා ඝාතනය කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.” 

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා රහතුන් ඝාතනය කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් රහතුන් ඝාතනය කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සොලවන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සොලවන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.” 

“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා සංඝභේදය කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් සංඝභේදය කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.” 

1 thought on “සෝවාන් එලය ගැන බුද්ධ දේශනා ඒ අයුරින්ම උපුටා ගැනීම”

  1. I have been browsing online more than 3 hours today, yet I never found any interesting
    article like yours. It is pretty worth enough for me.

    In my opinion, if all website owners and bloggers made good
    content as you did, the internet will be much more useful than ever before.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *