
(පාරිශ්‍රද්ධ ත්‍රිපිටකයේ සිංහළ පරිවර්තනයකින් කිසිදු වෙනසක් නොකොට ඒ අයුරින්ම උපුටා ගන්නා ලද්දක් බවට කරුණාවෙන් සලකන්න).
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දවස්වල ම කේවට්ටපුත්ර සාති කියන භික්ෂුවට මේ විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙලා තිබුනා. ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට වදාළ ධර්මය මම දන්නවා’ කියලා.
ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ කතාව ආරංචි වුනා. කේවට්ට පුත්‍ර සාති කියන භික්ෂුවට මේ විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියල. ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට දේශනා කරපු ධර්මය මම දන්නවා’ කියලා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා කේවට්ටපුත්ර සාති භික්ෂුව ලඟට ගියා. ගිහින් කේවට්ටපුත්ර සාති භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා.“ප්‍රිය ආයුෂ්මත් සාති, ඔබ තුළ මෙවැනි පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නෙ ඇත්තක් ද? ‘භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට වදාළ ධර්මය මම දන්නවා’ කියල?”“ඔව්. ප්‍රිය ආයුෂ්මතුනි, භවයෙන් භවයට සැරිසරා යන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි කියල භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට වදාළ ධර්මය මම දන්නවා.”
ඊට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා කේවට්ටපුත්ර සාති භික්ෂුවව ඒ පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් නිදහස් කරන්න හිතාගෙන ප්‍රශ්න කළා. ප්‍රශ්න කර කර දහම් කරුණු කියා දුන්නා. මෙහෙමත් කිව්වා.“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට කියන්න එපා! ඔය විදිහට කියල භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ඔහොම වදාරන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාති, (ඇයි මතක නැද්ද?) භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විඤ්ඤාණය ගැන වදාළේ ‘විඤ්ඤාණය පටිච්චසමුප්පන්නයි (පටිච්චසමුප්පාදය තුළ හටගත්ත එකක්.) කියල නෙ. හේතූන්ගෙන් තොරව විඤ්ඤාණයේ හටගැනීමක් නෑ කියල නෙ’”ඔය විදිහට කේවට්ටපුත්ර සාති භික්ෂුවට ඒ භික්ෂූන් වහන්සේලා කරුණු විමස විමසා පැහැදිලි කරල කියද්දිත්, ඔහු ඒ පාපී මිථ්‍යා දෘෂ්ටිය ම තදින් අල්ලගෙන, ඒකට ම බැඳිල ආයෙත් ඒක ම කියනවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එහෙම කිව්වට, භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මය මම නෙව දන්නෙ. භවයෙන් භවයට ගමන් කරන්නෙ එක ම විඤ්ඤාණයක් මිස වෙන මොකවත් නෑ.”ඉතින් කේවට්ටපුත්ර සාති භික්ෂුව ඒ පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න ඒ භික්ෂූන් වහන්සේලාට බැරිවුනා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. වාඩිවෙලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා………………………..
ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතුවා. “පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. මගේ වචනයෙන් කේවට්ටපුත්ර සාති භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා’ කියල” “එහෙමයි, ස්වාමීනී” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීල කේවට්ටපුත්ර සාති භික්ෂුව වෙත ගියා. ගිහින් කේවට්ටපුත්ර සාති භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා” “හොඳයි ආයුෂ්මතුනි” කියල කේවට්ටපුත්ර සාති භික්ෂුව ඒ භික්ෂුවට පිළිතුරු දීල භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා.“ඈ! සාති, ඔබ තුළ මෙන්න මේ වගේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවුනා කියන්නෙ ඇත්තක් ද? ‘මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මම දන්නවා. භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි’ කියල?”“ඒක ඇත්ත ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට වදාළ ධර්මයක් තමයි මම දන්නෙ. භවයෙන් භවයට සැරිසරා යන්නෙ එකම විඤ්ඤාණයක් මිස වෙන දෙයක් නොවෙයි’ කියල.”
කතමං තං සාති විඤ්ඤාණන්ති?
“! සාති මොකක්ද ඒ විඤ්ඤාණය?”
“ඉතින් ස්වාමීනී, මේ අපි කතා බස් කරන්නෙ. සැප දුක් විඳින්නෙ. ඒ ඒ ජීවිතවල පින් පව් විපාක විඳින්නෙ. අන්න ඒක තමයි විඤ්ඤාණය.”
“හිස් මනුස්සයො, ඔය විදිහේ ධර්මයක් මං කාට නම් කියා දුන්නා කියල ද දන්නෙ? හිස් මනුස්සයො, මං නොයෙක් ආකාරයෙන් කියා දීල තියෙන්නෙ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නයි කියල නේද? හේතූන්ගෙන් තොරව විඤ්ඤාණය හටගන්නෙ නෑ කියල නේ ද? හිස් මනුස්සයො, ඉස්සෙල්ල ම තමන් වැරදි දෘෂ්ටියක් අරගන්නවා. ඊට පස්සෙ අපටත් අභූතයෙන් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් හාරල දානවා. ගොඩාක් පව්ත් රැස් කරගන්නවා. හිස් මනුස්සයො, ඔය වැඩේ නම් ඔබට බොහෝ කලක් දුක් පීඩා පිණිස ම පවතීවි.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වත් මහණෙනි, ඔබලා මොකක්ද මේ ගැන හිතන්නෙ? මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව බුද්ධ සාසනේ උණුසුමවත් වැදිල තියෙන කෙනෙක් ද?”“අනේ ස්වාමීනී, කොහොම ලබන්න ද? ස්වාමීනී, එහෙම නෑ ම යි.” එතකොට කේවට්ටපුත්ර සාති භික්ෂුව නිහඬ වුනා. හැකිලුනා. කඳ පාත් කරගත්තා. මූණ යටට හරෝගත්තා. මොකවත් හිතාගන්න බැරුව, වැටහීම් රහිතව වාඩිවෙලා හිටියා. නිහඬ වෙලා, ඇකිලිලා, කඳ පාත්කරගෙන, මූණ යටට හරෝගෙන, මොකවත් හිතාගන්න බැරුව, වැටහීම් රහිතව ඉන්න කේවට්ටපුත්ර සාති භික්ෂුව දිහා බලල, භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.“හිස් මනුස්සයො, ඔය විදිහේ පාපී මිථ්‍යා දෘෂ්ටියක් අල්ලගත්තෙ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන නේද? හොඳයි, මම මේ ගැන භික්ෂූන් ගෙන් අහන්නම්” කියල භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා.
පින්වත් මහණෙනි, යම් දෙයක උපකාරයෙන් විඤ්ඤාණයක් ඇති වෙනවා නම්, ඒ නමින් ම යි විඤ්ඤාණය හඳුන්වන්නෙ. ඇසත් රූපත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ චක්ඛු විඤ්ඤාණය කියලයි. කනත් ශබ්දත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ සෝත විඤ්ඤාණය කියලයි. නාසයත් ගඳ සුවඳත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ ඝාන විඤ්ඤාණය කියලයි. දිවත් රසයත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නේ ජිව්හා විඤ්ඤාණය කියලයි. කයත් පහසත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නේ කාය විඤ්ඤාණය කියලයි. මනසත් අරමුණුත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ මනෝ විඤ්ඤාණය කියලයි.
පින්වත් මහණෙනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. ගින්නක් ඇවිලෙන්නෙ යම් දෙයක් උපකාරයෙන් නම්, ඇවිලෙන්න උපකාර වෙච්ච දේ නමින් ඒ ගින්න හඳුන්වනවා. දර නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට දර ගින්න කියනවා. ලී කෑලි නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට ලී ගින්න කියනවා. තණකොළ නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට තණ ගින්න කියනවා. ගොම නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට ගොම ගින්න කියනවා. දහයියා නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට දහයියා ගින්න කියනවා. රොඩු නිසා නම් ගින්න ඇවිලෙන්නෙ, ඒකට රොඩු ගින්න කියනවා.පින්වත් මහණෙනි, විඤ්ඤාණය ගැන කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි. විඤ්ඤාණය හටගන්න යම් දෙයක් උපකාර වෙනවා නම්, ඒ නමින් තමයි විඤ්ඤාණය හඳුන්වන්නෙ. ඇසත් රූපත් නිසා විඤ්ඤාණයක් හටගන්නව. ඒක හඳුන්වන්නෙ ඇසේ (චක්ඛු) විඤ්ඤාණය කියලයි. කනත් ශබ්දත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ කනේ (සෝත) විඤ්ඤාණය කියලයි. නාසයත් ගඳ සුවඳත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ නාසයේ (ඝාන) විඤ්ඤාණය කියලයි. දිවත් රසයත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ දිවේ (ජිව්හා) විඤ්ඤාණය කියලයි. කයත් පහසත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නේ කයේ (කාය) විඤ්ඤාණය කියලයි. මනසත් අරමුණුත් නිසා විඤ්ඤාණයක් හටගන්නවා. ඒක හඳුන්වන්නෙ මනසේ (මනෝ) විඤ්ඤාණය කියලයි…………………………………………………………………………………………………