November 24, 2026

“මාන්නය, පණ්ඩිතකම, ලොකුකම, ආඩම්බරකම, අහංකාරකම, උඩඟුකම, උද්ධච්ඡ කම”.. ඉහත සඳහන් සෑම වචනයක්ම පොදුවේ භාවිතා කරන්නේ පුද්ගලයෙකුගේ සිතෙහි පවතින “මානය” නම් වූ සංසාරයට බැඳ තබන ක්ලේශය යම් කිසි මට්ටමකට හෝ  පෙන්වාදීමටය. කුමන ආගමකට, කුමන ජාතියකට අයත් වුවත් ඕනෑම කෙනෙකුගේ සිතේ මාන්නය නම් වූ ක්ලේශය පවතිනවා. මානය යනු දස සංයෝජනයන්ගෙන් එකකි. කෙනෙක් එම සංයෝජන දහය දුරු කරොත් එම තැනැත්තා රහතන් වහන්සේ නමකි. එයින් මුල් සංයෝජන තුන දුරු කරපු තැනැත්තා සෝතාපන්න ශ්‍රාවකයෙකි. එනම් උපරිම ආත්ම භව හතකට සීමා වන අතර සතර අපායෙන් සදහටම මිදුණු කෙනෙකි. එම මුල් සංයෝජන තුන නම් :

1) සක්කාය දිඨිය – මම මගේය මගේ ආත්මය කියා ස්ථිර දෙයක් නැති බව දැන ගැනීම.

2) විචිකිච්ජා – ත්‍රිවිධ රත්නය ගැන, පෙර භව සහ පසු භව ගැන සැක දුරුවිම.

3) සීලබ්බත පරාමාස – බුදු සසුනෙන් බැහැර සිල් ව්‍රත වලින් නිවණ නොලැබිය හැකි බව දැනගැනීම. 

සාමාන්‍ය පෘථග්ජන සිතේ මානය ක්‍රියා ත්මක වීමට ඉතාම සුළු දෙයක් වුවත් ප්‍රමාණවත්ය. ඔවුහු සෑම විටම සිටින්නේ තමන් අනෙක් අය හා මැනීමෙනි.  තමන් අන් අය හා සැසඳීමෙන්, මැනීමෙන් හිතේ යම්කිසි ස්ථානයක් සාදාගනී. මාන්නය ගැන බුද්ධ දේශනාවේ තුන් අයුරකින් විස්තර වෙනවා. එනම් :

  1. සෙය්‍යමාන (තමන් උසස් යැයි අදහස),
  2. සදිසමාන (තමන් සමාන යැයි අදහස),
  3. හීනමාන (තමන් පහත් යැයි අදහස) ආදී වශයෙන්.

බොහෝ විට කෙනෙකුට මාන්නය ඇති වන්නේ තමන්ගේ රූපය, සහජ හැකියාවන්, අනෙකුත් දක්ෂතා, අධ්‍යාපන සුදුසුකම්, තනතුරු, ප්‍රසිද්ධිය ආදී වූ කරුණු මුල්කර ගනිමිනුයි. ධම්මපදයේ බාල වර්ගයේ සඳහන් ගාථාවක දැක්වෙන පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “සෑම දෙයක් ගැනම දන්නේ තමන් යැයි සිතා, අන් හැමෝම තමන්ගෙන් විමසා කටයුතු කළයුතු” යැයි සිතීම බාලයාගේ සිතිවිල්ලක් බවත් එයින් ඔහුගේ පාපී ආශාවන් හා මාන්නය වැඩෙන බවත් ය.

මේ අයුරින් ගිහි හෝ පැවිදි හෝ වේවා ධර්ම මාර්ගය නොදන්නා කෙනෙකුට මානය ඇති කරවනු ලබන තවත් බොහෝ දේවල් ඇත. පවුල් තත්වයන්, උගත්කම්, ආචාර්ය මහාචාර්ය තනතුරු, උගත් පාසල්, ඉපදුණු නගර, රට ආදී නොයෙක් දේවල් අතර  තමන් වඩනා ගුණ ධර්ම ගැනද මාන්නය ඇති වේ. තමා ධර්මය වඩන අයෙක්, හොද අයෙක් යැයි සිතා අන් අයට වඩා තමන් උසස් කෙනෙක් යැයි හැඟීමක් ජනිත වේ. තමන් ධර්මය දන්නා කෙනෙක්, විනය දන්නා කෙනෙක්, අභිධර්මය දන්නා කෙනෙක්, ධර්මාචාර්ය ආදී විභාග සමත් කෙනෙක්,  තමන් කාරුණික කෙනෙක්, නිහතමානී කෙනෙක්, ආඩම්බර නැති කෙනෙක්, නිර්ලෝභී කෙනෙක්, අහිංසක කෙනෙක්, කෙලින් කතා කරන කෙනෙක්, අන්‍යන්ට උදව් කරන කෙනෙක්, දක්ෂ කෙනෙක්, ලෙසින් කෙළවරක් නැති ලෙසින් මේවා දැක්විය හැක. ඇතැම් විට තමන් ආඩම්බර කෙනෙක් යැයි සිතාද මාන්නය ඇති කර ගනී. එලෙසින්ම තමන් නිරහංකාර කෙනෙක් යැයි ඇතැමෙක් මාන්නය ඇති කර ගනී. මේ සෑම එකකටම හේතුව තමන් තුළ පවතින මම යන හැඟීමය. මම යන කෙනාව ගොඩනඟා ගන්නේද සිතෙනි. එය සංස්කාර මාත්‍රයක් පමණි. ඒ “මම” යන කෙනා පෝෂණය කරන්නට තව තවත් සංස්කාර ඇති කරගනිමින් මගා අවුල් ජාලයකට පත්ව ඇත. මෙහි ඇති භයානක බව නම් ගිහි පැවිදි භේදයකින් තොරව  මමත්වය බහුල වත්ම සිත තුල ඇති  ගුණ ධර්ම හීන වී නිවන් දැකීමට, ධර්මාවබෝධයට ඇති හැකියාව වැසී යාමයි. මානය ක්‍රියාත්මක වන්නේ එතරම්ම සියුම් ලෙසය. 

භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මයේදී මානය නියමාකාරයෙන් අර්ථ දක්වන්නේ “අස්මීමානය” ලෙසයි. එනම් “මම වෙමි” යන හැඟීමයි. අනෙකුත් ඉහත දක්වන සියළුම වචන වලින් අදහස් වන විවිධාකාර වූ මානයන්ද ඇතුළුව රාගය, ද්වේෂය ආදී වූ අනෙකුත් සියලුම කෙලෙස් වලට මූලය මෙම “මම වෙමි” යනුවෙන් ගන්නා ලද අස්මී මානයයි. “මම” කියා කෙනෙක් ඇතැයි සිතා ඉන් අනතුරුව ඇතිවන්නා වූ සියලුම අකුසල් සිත් පහළ වෙයි. අස්මී මානය දුරු කළ විට යළි “මම” යනුවෙන් ගන්නා ලද සංකල්පනාවද ඇතුළුව සකලවිධ මෝහයන් දුරු වී යයි. අවිද්‍යාව නැසුවා යනුවෙන් හඳුන්වනේ එවිටය.ධර්ම මාර්ගයේ ක්‍රමයෙන් ගමන් ගන්නා සියළු දෙනාගේම අවසානය එනම් නිර්වාණය නම් එයයි. එතනින් එහාට යළි පැවැත්මක් නැත. “මම” යන සංකල්පය , මුලාව නැසූ විට යළි සංසාරයේ පැවැත්මක් නැති වී යයි. සෝවාන්, සකදාගාමී අනාගාමී ආදී මගඵල ක්‍රමයෙන් පූරණය කරගනිමින් අවසානයේ රහත් ඵලයෙන් නිවී සැනසෙන තෙක්ම මේ මානය සිත් තුළ ක්‍රියාත්මක වෙයි. නමුත් මාර්ගයේ ඉහළට යත්ම ක්‍රමයෙන් එය හීන වී යයි. එවිටයි ආර්ය මහා සංඝ රත්නය අපිට දැකිය හැකි වන්නේ.

නමුත් වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාල සතර සතිපට්ඨාන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදිය පුරුදු නොකර අවම වශයෙන් සෝතාපන්න වීමටවත් උත්සහ නොගන්නේ නම් එය ගෞතම බුද්ධ ශාසනයේ පරිහානියයි.  සක්කාය දිඨිය නැතිනම් මම මගේය මගේ ආත්මය යන කෙලෙස් ප්‍රහාණය නොකරන තාක් මේ ප්‍රශ්නයෙන් ගැලවිය නොහැක. මක්නිසාද යත් භික්ෂූන් වහන්සේලා අතර යම් ගැටළු තිබේනම් ඒ සියලු ගැටළු වලට මුල මම මගේය මගේ ආත්මය යන අදහස දුරු නොකළ නිසාය. භික්ෂූන් වහන්සේලා ලාබ සත්කාර වලට ඇලෙන්නෙත්, ආරම ඉඩම් බෙදාගන්න උත්සහ කරන්නෙත්, යාන වාහන පසුපස හා වෙනත් ලෞකික සැප සම්පත් පසුපස හඹා යන්නෙත් මම මගේය මගේ ආත්මය යන අදහස දුරු නොකළ නිසාය. එලෙසම භික්ෂූන් වහන්සේලාගේ නමට ඉදිරියෙන් අධ්‍යාපන සුදුසුකම් දමා ගන්නෙත් මම මගේය මගේ ආත්මය යන අදහස දුරු නොකළ නිසාය. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර වන්නේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේය. උන් වහන්සේගේ නම සාරිපුත්‍ර මිසක් නමට ඉදිරියෙන් ආචාර්ය මහාචාර්ය ආදී ටයිටල් නැත. එයට හේතුව සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ මම මගේය මගේ ආත්මය යන පාපී අදහස දුරු කල නිසාය. බාල බොළඳ ලාමක ටයිටල් උන්වහන්සේට අදාල නැත. එසේ නම් වර්තමානයේ සිටින භික්ෂූන් වහන්සේලා  අනිවාර්යෙන්ම කලයුතු වන්නේ ලෞකික සැපසම්පත් පසුපස යෑම හා වෙනත් බාහිර වැඩකටයුතු සියල්ල පසෙක ලා මම මගේය මගේ ආත්මය යන සක්කාය දිඨිය ආදී සංයෝජන ප්‍රහාණය කර සෝතාපන්න වීමට උත්සහ කිරීමයි.

මානය දුරු කර ගැනීමට නම් ඇති එකම පිළිසරණ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය පමණි. ධර්මය යනු කැඩපතකි. ධර්මය නමැති කැඩපතින් බලා එය තමා තුළින් දකිමින්, තමාට ආදේශ කරගනිමින් ජීවත් වීම පමණකි සිදු කලයුතු වන්නේ. ධර්මය ඇත්තේ අනුන් හැදීමට නොව තමන්ට හැදීමටය. ධර්මය හා සසදමින් තමන්ගේ අඩුපාඩු දකින ප්‍රමාණය කොතෙක්ද තමන් නිවැරදි වන ප්‍රමාණයද ඒ හා සමානය. එයට ප්‍රඥාව අවශ්‍යය. මේ කය සහ සිත “මම” යැයි සිතා සිටියාට එය හේතු එල දහමින් හටගත් දෙයක් බවත්, මම මගේ අපේ යැයි සිතා සිටිනා කිසිවක්ම අපට අයිති නැති බවත්, සැබවින්ම මේ අප ගෙවන්නේ අනුන්ගෙන් ණයට ගත් මුදලින් ජීවත් වීමක් වැනි දෙයක් බවත් අවබෝධ වන්නේ නම් මේ සියළු මානයන් දුරු වී යනු ඇත. උතුම් වූ නිර්වාණය අවබෝධ වනු ඇත.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

ආචාර්ය තිස්ස ජිනසේන
2023.11.25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *