November 24, 2026

කඨින චීවර පූජා අට මහා කුසල් ගණයෙන් පළමු මහත්ඵල මහානිසංස ගෙනදෙන කුසලයකි. අට මහා කුසල් යනු, කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුදුපාමොක් මහසඟනට දන්දීම, දහම්පොත් ලිවීම, කෙත් වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කැසිකිළි කරවීම යනුවෙන් සඳහන් වේ.

කඨින චීවර පූජාවේ විශේෂත්වය වනුයේ එක් විහාරස්ථානයක එක් වරක් පමණක් සිදුකිරීමට අවස්ථාව උදාවීමයි. යමෙක් අහස උසට සිවුරු පූජා කළද ඉන් ලැබෙන කුසලයට වඩා එක් කඨින පූජාවකට සහ සම්බන්ධවීමෙන් ලැබෙන කුසලය මහත්ඵල මහානිශංස ගෙනදෙන පිංකමකි. ශාසන ඉතිහාසයේ පැරණි ග්‍රන්ථ වල  සඳහන් වන ආකාරයට කඨින චීවර පූජාව මහා පෘථිවිය මෙන් ස්ථිරවූ කුසල් කර්මයකි. මහාමේරු පර්වතය නොසෙල්වන පුණ්‍ය කර්මයකි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මහත්ඵල මහානිශංස අත්කරදෙන මෙම මහා පුණ්‍ය කර්මයත් මෙන්ම කඨින චීවරය පූජා කරන දායකයාට මහා කල්ප තිහක කාලයක් දුගතියක නොඉපදී නිවන් සැප ලබාගැනීමට පවා හේතුවන බවද සඳහන් වේ.

එවැනි කඨිනයක සිවුරක ආරම්භය මහාවග්ග පාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ මෙසේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ පාවෙය්‍ය නුවර වාසය කරන භික්ෂූන් තිස්නමක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර බලා පිටත් වූහ. ආරණ්‍යක, පිණ්ඩපාතික , පාංශුකූලික ධූතාංගධරයන් වූ උන්වහන්සේලාගේ අපේක්ෂාව වූයේ සැවැත් නුවර වස් විසීමටය. අතරමඟ දී වස්කාලය පැමිණී නිසාත් වස්විසීමට සැවැත්නුවරට වැඩීමට කාලය නැති නිසා සාකේත නුවර වස්විසූහ. උන්වහන්සේලා, වප් පසළොස්වක දා පවාරණය කර ගංගාවලින් එතෙර වෙමින් වර්ෂාවෙන් තෙමී දිය සහිත සිවුරු ඇතිව ජේතවනාරාමයට පැමිණියහ. ඒ භික්ෂූන් වහන්සේලා සමඟ බුදුරජාණන් වහන්සේ පිළිසඳරක යෙදුණහ. ඒ අවස්ථාවේදී ‘භාග්‍යවතුන් වහන්ස, අපි ඔබ වහන්සේ දැකීමට පාවෙය්‍ය නුවර සිට එන අතර වස්කාලය පැමිණි නිසා සැවැත් නුවරට පැමිණිය නොහැකිව සාකේත වස් වසා, පවාරණයත් කර වර්ෂා මධ්‍යයේම වෙහෙස වෙමින් ම පැමිණියෙමු.’ යයි කීහ. උන්වහන්සේලාට අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ‘මේ භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරුවලට අමතර සිවුරක් තිබුණේ නම් පහසුයයි මහා කාරුණාවෙන් සිතා ‘පෙරවස් විසූ භික්ෂූන්ට විශේෂ සිවුරක් වශයෙන් කඨින චීවරය, සුදුසු යයි ‘කඨින සිවුර’ අනුමත කළහ.

කඨින චීවරය හෙවත් කඨිනය’ යනුවෙන් හැඳින්වෙන්නේ විනය නීතිවලට අනුකූලව සම්මත කරන ලද දෙපොට සිවුරක් හෝ තනිපොට සිවුරක් හෝ අඳනයක්ය. එය සම්මුති වශයෙන් චීවරයක් වුවත් කඨින යන්නෙහි අර්ථ කීපයක්ම ඇති බව පැරණි ආචාර්යවරු දක්වති.

විනය පිටකයේ කඨින චීවරයක් කෙසේ නිර්මාණය වියයුතු දැයි පැහැදිලිව විස්තර කර ඇත. එදා සිය විහාරස්ථානයේම වැඩ සිටි සුපේෂල ශික්ෂාකාමී විනයධර ධම්මධර භික්ෂූන් වහන්සේලා විසින් සිය දායකාරකාදීන් ලවා නූල් ඉදිකටු තුළින් නිසි අයුරු සකසා හතරපේරුවේ දායක කාරකාදීන් හා විහාරාධිපති හිමියන් විසින් නම් කරනු ලබන උපාසක උපාසිකාවකට නම් කර සියලුම දායකකාරාදීන්ගේ සහ සම්බන්ධත්වයෙන් කඨින චීවර පිංකමට දායකවීමට අවස්ථාව උදාකර දී තිබේ.

දායකයන් විසින් සංඝයාට පූජා කරන ලද්දේ නූල්, රෙදි නම් සංඝයා විසින් ඒවා සිවුරු මැසීමට කුසලතා හා සුදුසුකම් ඇති භික්ෂුවකට කඨිනාස්තරණයට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් භික්ෂූන් වහන්සේලාගේත් සහාය ලබාගෙන, නූල් නම් රෙදි වියා ඉතිරි සියල්ල ම එදිනම කළ යුතුය. කඨානාස්තාරකයාට ලැබුණේ රෙදි නම් සේදීම,කඩ කපා අතු බෙදා සැකසීම, මැසීම, පඬුගසා විනයානුකූල වූ සිවුරක් සේ සකස් කර, කප්බින්දුව තැබීම, පච්චුද්ධරණයව, අධිට්ඨානය ආදිය කර කඨනාස්තාරය කළ යුතුය. සිවුරේ සියලුම වැඩ එදිනම නිම කිරීමට නොහැකි වූයේ නම් අකත (නිම නොකරන ලද සිවුර) හෝ විප්පකත ( සිවුර මැසීම, පඬු ගැසීම ආදිය අඩාල වූ සිවුර) වශයෙන් හැඳින්වේ. පැය 24 ක් ඇතුළතදී මසා නිම කළ නොහැකි වූ අකත, විප්පකත වූ කඨින චීවරයක්, කඨිනත්ථාරය කළ නොහැකිය. එනිසා කඨිනානිසංසද නොලැබේ.

එසේ සකසනු ලබන චීවර අදාළ නම් කළ තැනැත්තාට හෝ තැනැත්තිය හිසට තබාගෙන ගම්වටා පෙරහරින් වඩමවා සියලු දෙනාගේම පුද පූජා සත්කාර මැද විහාරස්ථානයට ගෙනැවිත් විහාරාධිපතින් වහන්සේට හිමිදිරියේම පූජා කර පිං ලබාගෙන අදාළ කඨින දුෂ්කය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන පඩුපොවා අව්වේ දමා වෙලා දහවල් කඨින දානය අවස්ථාවේදී උපසපන් පස්නමකගේ සහභාගීත්වයෙන් නිසි අයුරින් වත්දෙසා සංඝයා විසින් තෝරාගත් විහාරස්ථානයේ වස් විසූ උපසපන් භික්ෂූන් අතුරින් වයෝවෘද්ධ භික්ෂූ නමකට හෝ නම් කරන ලද උපසපන් භික්ෂුවකට නම් සඳහන් කර පූජා කිරීමෙන් එය පොරවාගෙන එම හිමිනම විසින් රාත්‍රී කාලයේ කඨින බණ දේශනා කිරීමක් සිදුවිය යුතුය.

නමුත් මේ වනවිට කඨින පින්කමේ ස්වභාවය බොහෝ වෙනස්වී ඇතිබව පෙනේ. ඇතැමුන්ට කඨිනය යනු පින්එල නෙලාගන්න මහඟු අවස්ථාවකි. ඇතැමුන්ට  විශාල මුදලක් වැයවන දෙයකි. අපහසු දෙයකි. තවත් පිරිසකට මාන්නයට කරුණකි. 

මෙයට හේතුවක් නම් ඇතැම් විට ඇතැම් ස්වාමින්වහන්සේලා වස් සමා­දන් වුණු දව­සේම චීව­ර­යක් දාය­ක­ය­කුගේ නිව­සක තැන්පත් කර එම ස්ථානයේ පුදසත්කාර කිරී­මෙන් අන­තු­රුව තවත් නිව­සක තැන්පත් කර­නවා. මේ අයුරින් මාස තුනේ ම ගෙයින් ගෙට චීව­රය ගෙන යනවා. එය සම්පූ­ර්ණ­යෙන් ම වැරදි ක්‍රියා­වක්, විනය විරෝධී ක්‍රියා­වක්. මක් නිසාදයත් ඒ සමඟ ජන­තා­වට බරක් පැට­වෙ­නවා. කඨින චීව­රය තියෙන නිවෙ­සට වන්ද­නා­මාන කරන්න නොයෙක් පිරිස් පැමිණෙනවා. එසේ පැමිණි අයට සංග්‍රහ අත්‍යවශ්‍ය කරුණක්.  ඒ ආදී වශ­යෙන් ආර්ථික වශ­යෙ­නුත් විශාල අප­හ­සු­තා­වට පත් වෙනවා. මාස තුන අව­සන් වුණාම අලි ඇතුන් සහිත පෙර­හ­ර­ව­ලින් වස් වැසීම අව­සන් කර­නවා. අලි ඇතුන් සහිත කඨින පින්කම් කරන්න පුළු­වන් දාය­ක­යන් ඉන්න පුළු­වන්. ඇතැම්විට ඔවුන්ට අධික මානයක් එන්න පුළුවන් අපි තමයි හොඳටම කඨින පිංකම කලේ කියා. එසේ තරඟකාරී ස්වභාවයෙන් මාන්නයෙන් කරන කඨින පිංකම වල පින් විපාක අඩුවිය හැකි අතර තමාගේ පිංකම හා සංසන්දනය කර අනයගේ කඨින පින්කම් වලට අවලාදයට ලක්කලොත් ඉන් විශාල අකුසලයක්  ඔවුන්ට සිදුවේ.  

නමුත් එසේ අලි ඇතුන් යොදා ගනිමින් කඨින කිරී­මට නොහැකි දාය­ක­යොත් සිටිනවා. එවිට ඒ පන්ස­ල්වල සිටින ස්වාමින්වහන්සේලා හා දාය­ක­යන්ට ගැට­ලු­වක් මතු වෙන්න ඉඩ තිබෙනවා අනේ අපේ පින්කම දුප්පත් පින්ක­මක් කියලා. මේ පින්කම අපට හොඳට කර­ගන්න බැරි වුණානේ කියලා හිත­නවා. එවැනි සංකල්ප රාමු ගොඩ­න­ඟා­ගන්න ඉඩ දීම සුදුසු ක්‍රියාවක් නොවන අතර ඉහත සඳහන් කල මූලික බුද්ධ දේශනාව අනුව දුප්පත් පොහොසත් භේදයකින් තොරොව ඕනෑම අයෙකුට විශාල මුදලක් වැය නොකර බොහොම පහසුවෙන් වර්තමානයේ කඨින චීවර පූජාවක් කළහැකි බව අවබෝද කරවාලීම මහා සංඝරත්නයේ වගකීමකි. එලෙසම කඨින චීවර පූජාව භාරගත් කෙනා පන්සලේ සියලුම කටයුතු අනිවාර්යෙන්ම සිදුකල යුතුය කියා දෙයක් නැති අතර එය හුදෙක්ම දායකයන්ගේ කැමැත්ත මත සිදුවන්නෙකි.

ඇතැම්විට වර්තමාන සමාජය තුළ කඨින පිංකම සිදුකිරීම විනෝදජනක ලෙසින් පවත්වයි. එසේ කඨින පින්කම් කිරීම තුළින් මෙහි ගෞරවය, පූජනීයත්වය හා බුද්ධ සාසනයේ පිළිවෙත් වැනසී යා හැකිය. කුසල් අකුසල් පිළිබඳව මනා වැටහීමෙන්, පින් පව් අදහාගෙන මෙම පිංකම සිදුකිරීමද වැදගත් වේ. කඨින පෙරහැරේ දී උසුළු විසුළු කිරීම, මහා රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කිරීම සහ ශබ්ද විකාශන යොදා කෑ ගසා නිදා සිටින අය ඇහැරීම, හූ කීම, මත්පැන්, මත්ද්‍රව්‍ය බී වෙරි වී පෙරහැරේ නටමින් යාම ආදිය කරන උදවියට කඨින පිංකම බුදුරජාණන් වහන්සේ වදාල ලෙසට පවත්වන ආකාරය පෙන්වාදීම මහා සංඝරත්නයේ වගකීමකි. තවද දුප්පත්, පොහොසත් භේදයකින් තොරව කඨින චීවරය සෑම නිවසකම තැන්පත් කිරීමද ඉතා වැදගත් වේ. 

එලෙසම, අද සමාජයේ සිදුකෙරෙන ඇතැම් කඨින පූජා සහ සුළුතර හිමිවරුන්ගේ ක්‍රියා තුළින් සිදුවන්නේ මුළු මහත් භික්ෂු සංහතියටම නිගාවක් මෙන්ම දායක කාරකාදීන්ගේ සියලු බලාපොරොත්තු සුන්කරලීමකි. ඇතැම් විහාරස්ථාන වල විශාල මුදලක් යොදවා සිවුරක් කඩෙන්ගෙන එය සතරපේරුවේ දායකයින් මගහැර ප්‍රදේශයේ ධනවත් දායකයකු ලවා උත්සවශ්‍රීයෙන් කඨින පෙරහර ආරම්භ කර අලිඇතුන් සහිත දර්ශනීය පෙරහරේ ඇතැම් හිමිවරුන්ද යමින් අමුතුම මාදිලියේ කඨින පූජාවක් පවත්වනු දක්නට ලැබේ. විශාල ගණනක් භික්ෂුන් කැඳවා එකම භික්ෂුවකටම අටපිරිකරයක් හිමිවන අයුරින් සකස් කර කඨින දානය අවසානයේදී අදනකඩය පමණක් කඨින දානයට සම්බන්ධවූ භික්ෂුවට ලැබෙන කඨින පූජාද පවත්වති.

මෙවැනි කඨින චීවර පූජා තුළින් ඇතැම්  භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා පැමිණි ලෝකෝත්තර ධර්මතාව අමතක කර ලෞකික සැප විඳීමට පුරුදුව සිටින නිසා විනය පිටකය කියවා ඒ අනුව  නිසි අයුරින් කඨින පින්කම සිදු කරන්නේ කෙසේද කියා මුළුමහත් සමාජයේම ගිහි පැවිදි දෙපාර්ශවයම දැනුවත් කිරීම මහා සංඝරත්නයේ බලවත් වූ වගකීමක් වන අතර අනාගත පරම්පරාවටද එය මහඟු ආදර්ශයකි.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

ආචාර්ය තිස්ස ජිනසේන
2023.10.22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *