November 24, 2026

රාජාලියකු සංවහන වාතයෙහි පාවී යන්නාක් මෙන් අපිද නිරුත්සාහයෙන් හා මනහරව අපේ ජීවිත ප‍්‍රවාහය ගෙන යාමට උගත යුතුමය.එය සමාජයට හෝ දෙමව්පියන්ට අවශ්‍ය පරිදි නොව අපේ අභ්‍යන්තරය තුළින් අපි දකින පරිදි අපේ අරමුණට සමගාමී වන පරිදි කටයුතු කරමින්ය. අප සහජයෙන් ලබා ඇති විවිධ කුසලතා බොහෝය. ජීවිතයේ සතුට හා තෘප්තිය ලබා ගත හැකි වන්නේ ඒවා භාවිතයෙන් හා දියුණු කරගැනීමෙන් පමණි. අපේ ජීවිතය පිළිබඳ සිතුවමක් විද්‍යාමාන කරගත යුතුය. වරක් ඔබ එම වැදගත් මහඟු සිතුවම ඔබේ ඇතුලාන්තයෙන් පහළ කරගත් පසු එය සවිස්තරව අයත් කරගන්නා අයුර ගැන වදනොවී එය විභව ඥානයට භාර දෙන්න. ආකර්ෂණය පිළිබඳ නීතියට අනුව ස්ථීරවම අදාළ අවස්ථාවේදී සුදුසු පුද්ගලයන් හා සුදුසු තත්වයන් සියල්ල පෙළග ැසී විශ්මිත පරිදි ඔබේ ඉලක්කය ඔබට සඵල කර දෙයි. ඔබේ ගමන කෙසේ විය යුතු දැයි පිඹුරුපත් නොසාදන්න. ඔබේ විශ්වාසය ඔබව අවසාන ඉලක්කය තෙක් ගෙන යයි. ජීවිතයේ හැල හැප්පීම් කවරාකාරයෙන් තිබුණ ද ඔබේ ඉලක්කය පිළිබඳ සිතුවම සිතෙහි ඇති තාක්කල් එය ඔබේ ආධ්‍යාත්මය හා සමගාමීව සිටිමින් ඔබ එහි රැගෙන යයි.

යා යුතු මග පිළිබඳ සිතීම අපහසු නොවේ.අප ජීවිතය පුරාම කරන්නේ එයයි. එය වනාහි ගැඹුරින් ගැඹුරට ඉලක්ක ගත වීමයි. මම මුදල් හරිහම්බ කළ යුතුයි, හොඳ රැකියාවක් කළ යුතුයි, සමාජයේ පිළිගැනීමක් ලබාගත යුතුයි යනාදී වශයෙන් ඒවායේ කෙළවරක් නොමැති ලැයිස්තුවකි. ඒ වෙනුවට ඔබ ගැඹුරින් වටහාගතහොත් ඔබට සත්‍ය වශයෙන් කිරීමට අවශ්‍ය කුමක් ද යන සිතුවම ඔබේ සිතේ හොඳින් රඳවාගෙන ඔබේ අධ්‍යාත්මයට, විශ්වයට ඔබේ අවශ්‍යතාවය පවසන්න. වෙනසක් හෝ මාරු කිරීමක් නැතිව ඔබේ දැඩි විශ්වාසය ඔබව එහි රැගෙන යාවි. මේ ගමන් මග ඔස්සේ ගොස් තමයි ජීවිතය තමාගේ අරමුණ කරා මෙහෙය වූ මනුෂ්‍යත්වයෙන් යුතු මහා පුරුෂයින් බිහිකලේ, නෙල්සන් මැන්ඩලා සිරගතව වසර ගණනාවක් සිටියදී තමාට බලය ලබා තමාට මේ ඉරණම අත්කර අයට ද`ඩුවම් දීමට අරඇද්දේ ද නැත. කුමන්ත‍්‍රණය කරේද නැත. කණගාටු වූයේද නැත, ඔහු ඒ වෙනුවට සිදුකලේ සියල්ලන්ට විමුක්තිය ලබා දීමට කැපවීමේ හොඳ සිතුවම පිළිබඳ ගැඹුරු විශ්වාසයකින් සාධාරණත්වය පිළිබඳ සත්‍ය විශ්වාසයකින් යුතු කි‍්‍රයා කිරීමයි. ඔහු ජීවිතයෙන් අරමුණ වශයෙන් තබාගත් තම ජනතාව කෲර පාලනයෙන් මුදවාගෙන විමුක්තිය ලබාදීමේ සිහිනය ඉතා පුදුම සහගත ලෙස විශ්වයෙන්ලද ආශිර්වාදයකින් ඉටු විය. ඔහු ඒ බලය ලද වහාම පලිගැනීම වෙනුවට සත්‍යවාදීකම, සාධාරණ බව හා මනුෂ්‍යත්වය වෙනුවෙන් යෙදවීය.

අතීතයේ විසූ අප මහා වෙදදුරන් ද වෛද්‍ය වෘත්තිය ප‍්‍රගුණ කලේ එය වෘත්තිය පමණක් ලෙස නොව තම ජීවිතයේ එ්කායන අරමුණ කොටගෙනය. තමන් සතුව තිබූ අවම පහසුකම් තුළින් ඔව්හු විශේෂයෙන්ම ග‍්‍රාමීය පරිසරයන් තුළ පුදුමාකාර මෙහෙවරක් ඉටු කළහ. දැනට අප සතු නවීන පරීක්‍ෂණ හෝ රෝග හඳුනාග ැනීමේ පහසුකම් ඔවුන් අත නොතිබුණත් ඔවුන්ගේ මෙහෙවර විශිෂ්ඨ විය. ඔවුන් සහජයෙන් ලද හැකියාවන් ලැදියාවෙන් වර්ධනය කර සංකීර්ණ පරීක්‍ෂණ වලින් තොරව තමන්ගේ නිරීක්‍ෂණයන් තහවුරු කිරීමට පමණක් පරීක්‍ෂණ යොදාගනිමින් රෝග නිර්ණය කළහ. ඔවුහු සොබාදහම සමඟ සුසංගත වී සුව කිරීම සොබාදහමට භාර කළහ. දැනට අප අතර ඉන්නා සමහරක් වෙදදුරන් මේ උතුම් වෘත්තින් මිනිසුන් සුව කිරීමේ කලාවත් මුදල් උපයන යන්ත‍්‍ර බවට පත් කරගෙන ඇත. රෝගීන් සූරාකෑම තම අරමුණ කරගත් පුද්ගලික රෝහල් හා ඖෂධ සමාගම් අනවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ, පිළිවෙත් හා ශල්‍යකර්ම පිළිබඳව කතා කරමින් රෝගීන් බිය ගන්වති. මේ බිය ගැන්වීම මත තමන් සිටිනුයේ ඔවුන්ගේ කාරුණික හස්තය යැයි සිතන රෝගියා තමා සතු අගනා භාණ්ඩ හා දේපළ පමණක් නොව තම ජීවිතය පවා පරදුවට තබයි. එසේ කරන්නේ තම වෘත්තියෙහි තැබූ උතුම් දිව්රුමද පසෙකලා කි‍්‍රයා කරන පිරිසකගේ වැරදි අරමුණු ඉටුකරගනු පිණිසයි.

ජීවිතය පිළිබඳ පටු දැක්මක් සහිත ඔවුන් සත්‍ය වශයෙන්ම සතුටින් හෝ ඔවුන්ගේ ජීවිතය සැබෑ අරමුණක් සහිතව මෙහෙයවන්නේ නැත. එ් වෙනුවට මුළු ජීවිත කාලය පුරාවටම තමන්ගේ සහෘදයන් සමඟ සමාජයේ ජයග‍්‍රහණය යයි කියන්නා වූ වාහන, විශාල නිවාස හා දේපල, ධනය මෙන්ම තම දු පුතුන්ට විදේශ අධ්‍යාපනය ලබා දීම වැනි නොනිමි තරඟයක යෙදී සිටී. අපේ පැරණි වෙදදුරන් සතු ප‍්‍රභාව ද සත්‍ය වශයෙන් කැප වූ ජීවිතයකට හිමි තෘප්තියද ඔවුනට අහිමි විය. එසේ වූයේ ඔවුන් විශ්වාසය තැබූ පටු අරමුණු පසුකාලීනව ජීවිතය දුකෙන් හා සාංකාවෙන් පිරීයාමට හේතු වීමයි.
ග‍්‍රාමීය සමාජයෙන් වෙන් වූ තනිකමත්,නෑදෑයින් සමඟ ඇති දැඩි වූ වටපිටාව නැතිකමත් වඩාත් සාර්ථක සුවබර දිවියක් සොයා විදේශ ගත වූ නැවත නොපැමිණි දරුවනුත් නිසා සාංකාවෙන් පිරුණු වයෝවෘද ජීවිතයකට හේතු වේ. සමහරු විදෙස් ගත වනුයේ මෙරට මිනිසුන්ට ඉතාමත් අවශ්‍ය සේවාවක් අහිමි කරමින් පමණක් නොව ඔවුන්ට ලැබුණු උදව්ද අමතක කරලමිනි. මෙය වෛද්‍ය වෘත්තියේ දැනට ඇති ශෝකාලාපයයි. ඒ අතරම දැන් දැන් ගුරු හා නීතිඥ වෘත්තින්ට ද ඒ ඉරණම ම අත්වෙමින් පවතී. ග‍්‍රාමීය තරුණයෙකු හට මෙවන් උතුම් වෘත්තියක නියැලීමට වාසනාවක් ලැබුනද එය අංග සම්පූර්ණ සිහිනයක් දක්වා රැගෙන යාමට හැකි වන්නේ කලාතුරකිනි. එසේ වනුයේ තම ජීවිතයේ සැබෑ අරමුණ ගොඩ නගා ගැනීම පිළිබඳව ඔවුන් තුළ පවතින අනවබෝධයයි. අපගේ යුතුකම විය යුත්තේ එම තරුණයන් හට පවතින යථාර්තය වටහාදී ඔවුන් සතු හැකියාවන් හා නිපුණතාවන් මනුෂ්‍යාගේ යහපත වෙනුවෙන් කැපකොට ජීවිතය අවසාන කාලය සැහැල්ලූවෙන් හා තෘප්තිමත්ව උදාරතර ලෙස ගතකිරීම ජීවිතයේ ඒකායන අරමුණ බව අවබෝධ කරදීමයි

ආචාර්ය තිස්ස ජිනසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *