November 24, 2026

ඔබ අප ජීවත් වන්නා වූ මෙම ලෝකය තුළ නිර්මාණය වූ සෑම සුවිශිෂ්ට රාජ්‍යයකම එසේත් නොමැති නම් අධිරාජ්‍යයකම ආරම්භය සත්‍ය වශයෙන්ම පූර්ණ ලෙස මානුෂීය හා සර්ව සාධාරණ නොවූ බව අප හොඳාකාරවම දන්නා කරුණකි. එනම් සුළුතර බලැති පිරිසකගේ අවශ්‍යතාවන් මත සාමාන්‍ය මනුෂ්‍යයාගේ කර මතින් සෑමවිටම මෙම රාජ්‍යයන් ගොඩනැඟුණි. ධනවාදය නම් වූ මෙය කාලයාගේ ඇවෑමෙන් සමාජ සංස්කෘතියට මෙන්ම මනුෂ්‍යයාගේ ජීවිත තුළටද මුල් බැසගන්නට විය. වර්තමාන ලෝකය තුළ ධනවාදී සමාජ ක‍්‍රමයේ උච්ඡුතම අදියර වෙත මේ වනවිට ඇමරිකානුවන් පැමිණ සිටියද සත්‍ය වශයෙන්ම මෙහි පුරෝගාමීන් ඇමරිකානුවන් නොවන බව ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණකි.
18වන හා 19වන සියවස් වෙත දිව යන්නා වූ මෙම ධනවාදී පාලන තන්ත‍්‍රයට හිමිකම් කියනු ලැබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ය එවකට තම යටත් විජිතකරණය ඔස්සේ ලෝකයේ බොහෝමයක් රාජ්‍යයන් යටත් කරගනිමින් තම ධනය හා බලය ගොඩනඟා ගන්නට විය. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් නම් ලද බ්‍රිතාන්‍ය මෙම කාලවකවානුව තුළ ලෝකයෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් පාලනය කරනු ලැබුවේ ධනවාදයේ බීජ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් තුළද වපුරවමිනි. කෙසේ නමුත් 20වන ශතවර්ෂයේ මුල් භාගය වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ක‍්‍රමයෙන් බල හීන වනු ලැබුවේ ලෝකයේ පැවති තවත් එක් අධිරාජ්‍යයක අවසානය සනිටුහන් කරමිනි. එනමුත් 19වන සියවස අගභාගයේදී ලෝකයේ අනෙක් පසෙන් ඇමරිකාව හිස ඔසවන්නට වූයේ අධිරාජ්‍යය විසින් වැපිරූ ධනවාදී සමාජ ක‍්‍රමය දරුණු ලෙස පෝෂණය කරමින් ය. එනම් ධනපති පාන්තිකයා සෑමවිටම තම ධනය හා බලය වර්ධනය කරගත් අතර සාමාන්‍ය ජනයා තවදුරටත් පාගා දැමීය. මෙම ක‍්‍රමවේදය දෙස බැලූවිට බි‍්‍රතාන්‍යය තුළ අභ්‍යන්තරික වශයෙන් මෙම තත්වය දරුණු නොවීමට හේතු සාධක වූයේ එරට තුළ පැවති රාජාණ්ඩු පාලන ක‍්‍රමයයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදය තුළ කිසිසේත්ම රාජාණ්ඩු පාලන ක‍්‍රමයක් නොපැවති හෙයින් එහි අභ්‍යන්තරය තුළ ධනයට හා බලයට විශාල තරඟකාරීත්වයක් ඇතිවන්නට විය. 1870 වර්ෂයේ සිට 1970 වර්ෂය දක්වා වූ සියවසක කාලසීමාව තුළ ඇමරිකාව විවිධ ජයග‍්‍රහණයන්, බිඳවැටීම් මෙන්ම විවිධ අභ්‍යන්තරික අරගල වලටද මුහුණ දෙමින් තම ඒකාදිකාර ලෙස ලොවටම පෙන්වා දීමට සමත්විය. වර්ණවාදය, ජාතිවාදය මෙන්ම පන්තිභේදය දැඩිව පැවති ඇමරිකානු සමාජය තුළ සුදු මිනිසුන් සැමවිටම ඉහළ පාන්තිකයින් ලෙස වැජඹෙන්නට විය. මේ අයුරින් පැමිණි ඇමරිකානු ගමන් මඟ පිළිබඳව දීර්ඝ සටහනක් මා පෙර ලිපිය තුළින් ඔබ හට ඉදිරිපත් කරන්නට වූයේ ඒ තුළ පැවති උපක‍්‍රමශීලී ක‍්‍රියාපිළිවෙත් පිළිබඳව ඔබ දැනුවත් කිරීම උදෙසාය.
සුළු පාන්තිකයින්ගේ දැඩි ශ‍්‍රම දායකත්වයත්, ව්‍යාපාරිකයින්ගේ කඩිනම් සංවර්ධනයත් හේතුවෙන් ශීඝ‍්‍ර ලෙස ඇමරිකාවට ආර්ථික දියුණුවක් ඇති වූ කාල පරිච්චෙදයක් තුළ, එනම් 1929 වර්ෂය තුළ ඇමරිකාව එක්වරම කඩාවැටීමට ලක්වූයේ ධනපති ව්‍යාපාරිකයින් ප‍්‍රධාන සුළු පාන්තිකයින් තුළ පැවති එකිනෙකා පරයා යාමේ තරඟකාරීත්වය හේතුවෙනි.

මෙය ඇමරිකානු ඉතිහාසය තුළ ඔවුන් ලද දරුණුතම ආර්ථික බිඳවැටීම ලෙස සඳහන් වනු ඇත. එනමුත් 1933 වර්ෂයේදී බලයට පැමිණි එවකට ඇමරිකානු නව ජනපති ෆ‍්‍රෑන්ක්ලින්. ඞී රෝස්වෙල්ට් මහතා ඇමරිකා එක්සත් ජනපදය නැවත සංවර්ධනය කිරීමට ආරම්භය ලබාදෙනු ලැබුවේ එම සමාජය තුළ පැවති ධනේෂ්වර ක‍්‍රමයට පහර දීම තුළිනි. ඔහු ධනපතීන් සඳහා වැඩි බදු මුදලක් පැනවූ අතර තවද ඔවුන් සතු නීත්‍යානුකූල නොවන සියළු ධනය රජයට පවරා ගැනීමට කටයුතු කරන්නට විය. එ් තුළින් ඔහු සුළු හා මධ්‍යම පාන්තිකයින් හට බදු සහන ලබාදෙමින් නව ව්‍යාපාර හා නිෂ්පාදන ක්ෂේත‍්‍ර වෙත පිවිසීමට මාර්ගය විවරකර දෙන්නට විය.

ඒ ඔස්සේ සමාජය තුළ පැවති වර්ණවාදය හා පන්තිභේදය මෙන්ම ඇති නැති පරතරය බොහෝසෙයින් අවම කරමින් ඇමරිකාවට සමාජ හා ආර්ථික සංවර්ධනයක් ළඟා කරදීමට ජනපති රෝස්වෙල්ට්ට හැකියාව ලැබුණි.ෆ‍්‍රෑන්ක්ලින්. ඞී රෝස්වෙල්ට් මහතාගේ ධූර කාලයෙන් පසු නැවතත් ඇමරිකාව තුළ ධනපති පාන්තික සමාජ ක‍්‍රමය හිස ඔසවන්නට විය. එය කොතරම් උග‍්‍ර වූවාද යත්, රෝස්වෙල්ට් විසින් රට තුළ නිර්මාණය කළ සියළු වෘත්තීය සමිති ඇතුළු සංගම් අහෝසි කළ සුළුතර ව්‍යාපාරික පිරිස රටෙහි පාලන තන්ත‍්‍රයටද ඇඟිලි ගැසීමට පටන් ගැනිණ. මේ තුළ එවකට ඇමරිකාව තුළ ස්ථාපනය කර තිබූ සර්ව සාධාරණ ව්‍යාපාර හා නවෝත්පාදන ක‍්‍රමවේද කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කළ අතර එයට පාලකයින්ගේද බොහෝ අතපෙවීම් උපකාරයක් විය. මෙහිදී ජෝෂප් මැකාති යනු සඳහන් කළ යුතුම පුද්ගලයෙකි. එනම් 1947 වර්ෂයේ සිට 1957 වර්ෂය දක්වා වූ කාලසීමාව තුළ ඇමරිකානු ජනරජවාදී ආණ්ඩුව (Republican Party) නියෝජනය කළ සෙනට් සභිකයෙකු වූ ජෝෂප් මැකාති (Joseph McCarthy), මැකාතිසම් (McCarthyism) නමින් කොමියුනිස්ට්වරු මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ගෙන යන්නට විය. මෙය සුළුතර ධනපති ව්‍යාපාරිකයින්ගේද අනුග‍්‍රහය මත සිදුවූ සිදුවීමක් වූ අතර එය ඇමරිකාව තුළ නැඟී ආ සුළු පාන්තික ව්‍යාපාරිකයින්ට මෙන්ම නව ව්‍යවසායකයින්ට මරු පහරක් විය. මැකාතිසම් ආධාරයෙන් ප‍්‍රධාන ධනකුහිරයන්ට අභියෝගයක් වූ සියළුදෙනා ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළ අතර ඒ තුළ ඇමරිකාවට බොහෝ බුද්ධිමතුන් පවාද අහිමි විය. මෙයට කදිම නිදසුනක් ලෙස 1942 වර්ෂය වනවිට ඇමරිකාව තුළ ක‍්‍රියාත්මකව තිබූ මෑන්හැට්න් ව්‍යාපෘතිය වැනි න්‍යෂ්ටික බෝම්බ නිර්මාණය කිරීම උදෙසා ක‍්‍රියාත්මක කළ විශාල ව්‍යාපෘති සඳහා දායක වූ ක‍්‍රියාකාරී භෞතික විද්‍යාඥයෙකු වන ඬේවිඞ් බෝහ්ම් මහාහගේ පිටුවහල් කිරීම ගත හැකිය.

ඇල්බට් අයින්ස්ටයින් නම් වූ විශිෂ්ට භෞතික විද්‍යාඥයා සමඟ ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය තුළ සමීපව කටයුතු කළ ඬේවිඞ් බෝහ්ම් එවකට ඇමරිකාව තුළ අයින්ස්ටයින් හට නොදෙවෙනි දක්ෂයෙකු වූ නමුත් ඔහු දැඩි කොමියුනිස්ට්වාදියෙකු වීම හේතුවෙන් මැකැතිසම් යොදාගනිමින් ඔහුව ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරීමට ඇමරිකානු රජය කටයුතු කළ අතර එහිදී ඔහු බ‍්‍රසීලය වෙත පැමිණෙමින් තම භෞතික විද්‍යාත්මක කටයුතු තවදුරටත් සිදුකරන්නට විය. මේ අයුරින් සෑම ක්ෂේත‍්‍රයකම පාහේ දක්ෂ ලෙස කටයුතු කළ එනමුත් තමන් හට අභියෝගයක් වූ සියළුදෙනා ඉන් ඉවත් කිරීමට මෙම ව්‍යාපාරික පැළැන්තිය කටයුතු කරනු ලැබුවේ තම ආත්මාර්ථකාමී ව්‍යාපාරික දියුණුව ඇමරිකාව තුළ ස්ථාවර කරගැනීම උදෙසාය. කෙසේ නමුත් පළමුවන හා දෙවන ලෝක මහා සංග‍්‍රාමය පැවති කාලසීමාව ඇමරිකාවට ඉතා වාසිදායක කාලසීමාවක් වූයේ ඔවුන්ගේ නිෂ්පාදන ලෝකය පුරා බෙදාහරිමින්, ශක්තිමත් ව්‍යාපාර පද්ධතියක් මතින් ඇමරිකානු ආර්ථිකය ගොඩනඟා ගැනීමට ඔවුනට හැකිවූ හෙයිනි. මේ තුළ ඇති සුවිශේෂීම කරුණ නම්, මෙම මහා පරිමාණ ව්‍යාපාර සියල්ල සීමිත පිරිසක් විසින් පාලනය කිරීමයි. එය කොතරම් උග‍්‍ර වූවාද යත්, පසු කාලීනව ඇමරිකානු රාජ්‍ය වත්කමද අභිඹවා ඔවුන්ගේ වත්කම් ඉහළ යන්නට විය. මෙහි උණුසුමත් සමඟම ඔවුන් ඇමරිකාව තුළ පැවති සමාන වූ ව්‍යාපාර එකතු කරමින් කාර්ටෙල් (Cartel) නිර්මාණය කරන්නට විය. තවද මීට සමගාමීව එ් වනවිට ඇමරිකාව තුළ ෆෙඩරල් සංචිතය නිර්මාණය කර තිබූ අතර සත්‍ය වශයෙන්ම රජයක් ඔස්සේ සිදුවිය යුතු මුදල් මුද්‍රණය වැනි කාර්යන් රාශියක් ව්‍යාපාරික ප‍්‍රජාවගේ අවශයතාවය මත ඉටු කිරීම ෆෙඩරල් සංචිතය ඔස්සේ සිදුවිය. තවද බොරතෙල්, බෙහෙත්, මත්ද්‍රව්‍ය මෙන්ම ගිණිඅවි නිෂ්පාදනය වැනි ප‍්‍රධාන කාර්ටෙල් මත පදනම්ව ඇමරිකානු ආර්ථිකය පැවතීම හේතුකොටගෙන ඇමරිකානු රාජ්‍යය මෙන්ම එහි පාලන තන්ත‍්‍රයද තම වාසිදායක අවශ්‍යතා මත හැසිරවීමට අවශ්‍ය බලය මෙම සුළුතර ව්‍යාපාරික පිරිස විසින් ගොඩනඟා ගන්නට විය. මේ තුළ ඔවුන් සෑමවිටම තමන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීමටත්, තවදුරටත් දියුණු කිරීමටත් අවශ්‍ය පරිදි විවිධ රාජ්‍ය තාන්ත‍්‍රික ගැටළු පවා නිර්මාණය කිරීමට ක‍්‍රියා කරන්නට විය. මේ පිළිබඳව වැඩි දුරටත් ඔබ හට කරුණු පැහැදිලි කළහොත්, සත්‍ය වශයෙන්ම අවියක හෝ ආයුධයක අවශ්‍යතාවය මතුවනු ලබන්නේ ගැටුමකට හෝ යුද්ධයකටය. එනමුත් කිසිවිටෙකත් ගැටුමක් හෝ යුධ වාතාවරණයක් හට නොගතහොත් නිෂ්චිතවම අවි ආයුධවල අවශ්‍යතාවක්ද හට නොගනියි.

මෙමඟින් මා ඔබට පසක් කිරීමට වෙර දරන්නා වූ පණිවිඩය යම් අයුරකින් හෝ ඔබට අවබෝධ වනු ඇතැයි මා විශ්වාස කරමි. එනම් අවි ආයුධ ව්‍යාපාරිකයින්ගේ දියුණුව පැවතීමටනම්, ලෝකය තුළ යුධ තත්ව පැවතීම අත්‍යාවශ්‍ය වේ. එසේ හෙයින් ඔවුන් විවිධ අවස්ථාවන්හීදී විවිධ රාජ්‍යයන් සමඟ විවිධ රාජ්‍යන් අතර යුධමය ගැටළු නිර්මාණය කරන්නට විය. මේ අන්දමින් තම අවි ආයුධ පෞද්ගලික සමාගම් වෙත මෙන්ම රාජ තාන්ත‍්‍රික ලෙසද අලෙවි කරමින් තම මඩිය තර කරගැනීමට මෙම කූට ව්‍යාපාරික ප‍්‍රජාවට හැකි විය. ලොක් හෙඞ් මාර්ටීන්, රේතියන්, නෝර්ත්‍රොප් ගෘමන් හා බෝයිං යනු මේ සඳහා කදිම නිදසුන් ය.ඉහතින් මා සඳහන් කළ සමස්ථ කරුණු කාරණා උකහා දක්වමින් මා ඔබට නිරතුරුවම පවසනු ලබන්නේ කාලාන්තරයක පටන් ලෝකය තුළ සිදුවන මෙම සිදුවීම් දාමය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගන්නා ලෙසය. එමඟින් ඔබට ඔබගේ අනාගත තීන්දු තීරණ නිසියාකාර ලෙස තිරසාර කරගැනීමට අවකාශය ලැබෙනු ඇත.

ආචාර්ය තිස්ස ජිනසේන
2023.02.23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *