November 24, 2026

ශ්‍රී ලංකාවෙහි ඉදිරි අනාගතය කිනම් ආකාරයෙන් ගොඩනැගුනුයේද යන පැනය අප ඔබ වෙත සෘජුවම ඉදිරිපත් කළහොත් ඒ සඳහා විශ්වාසනීය පිළිතුරක් නැවත ලැබෙනු ඇතැයි විශ්වාස කිරීමට බොහෝ සෙයින් අපහට නොහැකි වනු ඇත. සත්‍ය වශයෙන්ම එයට බලපා ඇති ප‍්‍රධානතම හේතු සාධකය නම්, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින ව්‍යාකූල ආර්ථික තත්වයත්, සමාජීය වටපිටාවත් හේතුවෙන් රටෙහි අනාගත ස්ථාවරත්වය යම් තර්ජනාත්මක තත්වයකට ඇදවැටී තිබීමය. කෙසේනමුත් මෙරටෙහි තරුණ පරපුර වශයෙන් මේ වනවිට මෙම රට පත්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමේත්, අනාගත සමෘද්ධිමත්භාවය ස්ථාවර කරගැනීමේත් විශාල වගකීමක් ඔබ අප සියළුදෙනා හටම නිරතුරුවම පැවරී ඇතැයි මා සෑමවිටම විශ්වාස කරමි. එසේ හෙයින් මේ වනවිට ශ්‍රී ලංකාව ගමන් ගන්නා වූ දිශාණතියත්, ශ්‍රී ලංකාව හට ඉදිරි අනාගතය තුළ පවතින්නා වූ අවස්ථාත් ඉතාම විතක්ෂණශීලී ලෙස හඳුනාගැනීම අතිශය ප‍්‍රයෝජනවත් ය. කෙසේ නමුත් අද වනවිට ශ්‍රී ලංකාවෙහි ආර්ථික නඟාසිටුවීම එසේත් නොමැතිනම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමේදී බහුතරයක් පුද්ගලයින්ගේ මුවඟින් පිටවනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන වචනයයි.

එනමුත් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආරම්භය, ඒ තුළ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සඳහා ඇති අවස්ථා මෙන්ම එ් තුළ ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳවද බහුතරයක් පුද්ගලයින් තුළ පවතින නොදැණුවත්භාවය සත්‍ය වශයෙන්ම කණගාටුවට කරුණකි. එසේ හෙයින් මෙම ලිපිය තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව ඔබගේ අවබෝධය ශක්තිමත් කිරීමට මා අදිටන් කරගනු ලැබුවේ අනාගත ශ්‍රී ලංකාවෙහි නායකත්වය සඳහා උරදීමට සිටින්නා වූ තරුණ ඔබහට එය විශාල රුකුළක් වනු ඇතැයි විශ්වාස කරමිනි.

  • 1929 වර්ෂයේදී ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය හේතුවෙන් ලෝකයේ සෑම රාජ්‍යයකටම පාහේ ජාත්‍යන්තර වෙළඳාමෙන් යම් ප‍්‍රගතිශීලී තත්ත්වයක් කරා පැමිණීමට ආරක්‍ෂක තීරු බදු ප‍්‍රතිපත්තීන්, මුදල් අවප‍්‍රමාණය කිරීම් මෙන්ම විවිධාකාර වූ වෙළඳ බාධක පැනවීමට පවා සිදුවිය. එහිදී සෑම රාජ්‍යයක්ම පාහේ මෙම ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසාවෙන් විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහත වැටීම මෙන්ම අකාර්යක්ෂම ලෙස සම්පත් බෙදීයාම වැනි අහිතකර තත්ත්වයන් රාශියකට මුහුණ දීමට එම සෑම රාජ්‍යයක් හටම සිදුවිය.

මේ හේතුවෙන් විදේශීය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු හැසිරවීම සඳහා සම්මත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ අපේක්ෂාවෙන්, 1944 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයෙහි බ්‍රෙට්න්වුඞ් නගරයෙහිදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේ දී ඇතිකරගත් බ්‍රේට්න්වුඞ් ගිවිසුමට අනුකූලව 1947 වර්ෂයේ මාර්තු 01 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවන ලදි.

ආරම්භයේදී මෙහි සාමාජිකත්වය දැරූ රාජ්‍යයන්ගේ ආර්ථික අසමතුලිතභාවයන් තුලනය කිරීමට අවශ්‍ය කෙටිකාලීන ණය ලබාදීම මූලික කාර්යභාරය කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුකාලීනව එම රාජ්‍යයන්ගේ සංවර්ධනයට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාදීම, විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම මෙන්ම ක‍්‍රමානුකූල විනිමය වැඩපිළිවෙළක් සැකසීමට උපකාර කිරීම ආදී වූ කාර්යයන්ගේ නියැලෙන්නට විය.එහිදී ඔවුන් සෑමවිටම ඔවුන් විසින් ලබාදෙන්නා වූ ණය මුදල නැවත ගෙවීමට අවැසි හැකියාවක් හා පරිසරයක් අදාළ රාජ්‍යය හට පවතින්නේද යන්න පිළිබඳව ඉතා පැහැදිලි ලෙස පරීක්ෂා කළ අතරම අදාළ රාජ්‍යයට එම ණය මුදල් පියවීමට හැකිවන පරිදි නිසියාකාර මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පියවරයන්ද අදාළ රට තුළ ක‍්‍රියාත්මක කරන්නට විය. එහිදී ඉතා විශාල කොන්දේසීන් රාශියක් මත ඉදිමින් දරිද්‍රතාවයෙන් පීඩාවිඳි රාජ්‍යයන් වෙත ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළ අතර එම සමස්ථ කොන්දේසීන් මෙම ලිපිය තුළ හුවාදැක්වීමට මා කටයුතු නොකරනුයේ ඊට අදාළ වන විශ්වාසනීය හා පිළිගත හැකි දත්ත රාශියක් සමන්විත දිගුවක ප‍්‍රවේශයක් මෙම ලිපිය අවසානයෙහිදී අමුණා තැබීමට මා කටයුතු කරන නිසාවෙනි.

  • ඉහත කරුණු කාරණා කෙසේවුවද අද වනවිට බොහෝ පුද්ගලයින් හට පවතින බරපතල ගැටළුවක් නම්, මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ඇමරිකා එක්සත් ජනපදයට අයත් රාජ්‍ය ආයතනයක්ද යන්නය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සංවිධානාත්මක ව්‍යුහය මෙන්ම ඔවුන්ගේ ක‍්‍රියාකලාපය දෙස බැලීමේදී නිරන්තරයෙන්ම එය රාජ්‍ය ආයතනයක් බඳු වුවද, සත්‍ය වශයෙන්ම එම ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපනය කර ඇති ෆෙඩරල් සංචිතය හා සමාන පෞද්ගලීකරණය වූ ආයතනයකි. එසේ හෙයින් එම ආයතනය උදෙසා මුදල් ලබාදෙන්නා වූ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන පැවතීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ සම්පත් දායකයින්ගේ අවශ්‍යතා හා වුවමනා පිළිබඳවද නිරන්තර තැකීමක් සිදුකරනු නොඅනුමානය.

එපමණක් නොව, බොහෝදෙනා දැනසිටිනා පරිදි සංවර්ධිත රාජ්‍යයන්හි මුදල් වෙළඳපොළ සඳහා යොමු කෙරෙන සුරැකුම්පත් හා ණයකර නිකුතුව ඔස්සේ මෙන්ම සංවර්ධිත රාජ්‍යයන් විසින් ලබාදෙන්නා වූ ණය ආධාර මතින් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වාගෙන යනු ඇත. කෙසේනමුත් මා ඉහතින් සඳහන් කළ පරිදි රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සම්පත් දායකත්වය සැලසීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යනුවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඉතා සාධාරණ පැනයක් මතුවීමට පුළුවන.

කෙසේනමුත් ඒ සඳහා සෘජු පිළිතුරකට නොයමින් ඉතිහාසය පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගත් රාජ්‍යයන් හට අත්වූ ඉරණම පිළිබඳව ඉතා සාරාංශ ගත කරුණු කීපයක් ගෙනහැර දැක්වීමට මා අදිටන් කරගනු ලැබුවේ ඉහතින් ඔබහට පැන නැඟුණු ගැටළුවට පිළිතුරක් ඒ ඔස්සේ ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමිනි.

වාර්තාගත සටහන්වලට අනුකූලව 1986 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ කාලසීමාව තුළ ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් 81 ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබාගෙන ඇති බව සඳහන්ව පවතී. කෙසේ නමුත් මෙලෙස ණය ලබාගත් රාජ්‍යයන් අතරින් ඇතැම් රාජ්‍යයන් බහුතරයකට ඔවුන් පත්ව සිටි ආගාධයෙන් ගොඩ එ්මට නොහැකි විය. මේ සඳහා කදිම නිදසුන් ලෙස ආජන්ටිනාව, ග්වාතමාලාව, ග‍්‍රීසිය, හයිටිය, පකිස්තානය මෙන්ම සිම්බාබ්වය පෙන්වා දිය හැකිය. එනමුත් මෙහිදී ඕනෑම පුද්ගලයෙකුට ඇතිවන ගැටළුකාරී හැඟීම නම්, මා මෙම ලිපියෙහි මුල් පරිච්ෙඡ්දයන් තුළ සඳහන් කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අදාළ රාජ්‍යයන් වෙත ණය ලබාදීමේදී එම රාජ්‍යයන්ගේ ආර්ථිකය නඟාසිටුවීමට අවැසි ක‍්‍රමෝපායන් ක‍්‍රියාවට නැගුවෙහි නම් අදාළ රාජ්‍යයන් තවදුරටත් දරිද්‍රතාවයෙන් පෙළෙනුයේ මන්ද කියාය. මේ පිළිබඳව කරුණු පිරික්සා බැලීමේදී අවබෝධ වන්නා වූ කරුණක් නම්, එම දරිද්‍රතාවයෙන් පෙළී සිටි රාජ්‍යයන් තවදුරටත් එලෙසම නොනැඟී සිටීමට විවිධ කරුණු කාරණා හේතුසාධක වී ඇති බවයි. එනම් රාජ්‍ය පාලනය සිදුකරන්නා වූ පාලකයින්ගේ සූරාකෑම්, වංචා කිරීම් මෙන්ම ආත්මාර්ථකාමී ප‍්‍රතිලාභයන් මුදුන් පමුණුවා ගත් විවිධ ව්‍යාපෘති තුළින් ඇතැම් රාජ්‍යයන් අතිමහත් අන්දමින් කඩාවැටී ඇත. මේ සඳහා හොඳම උදාහරණය නම් සිම්බාබ්වයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවිධ අවස්ථාවන්හීදී සිම්බාබ්ව රජය වෙත ණය ආධාර ලබාදුන්නද අද වනවිටද එරට පවතිනුයේ ලෝකයේ ඉහළ උද්ධමන අගයක් පවතින ආර්ථික බංකොලොත්භාවයකින් යුතු රාජ්‍යයක් ලෙසය. එපමණක් නොව මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ආධාර ලබාගත් ඇතැම් රාජ්‍යයන්ගේ බංකොලොත්භාවයට තුඩු දුන් තවත් වැදගත් හේතුවක් පවතී. එනම් ඔවුන් විසින් අදාළ රාජ්‍යයන් වෙත ඉදිරිපත් කරමින් එකඟතාවයන්ට පැමිණෙන්නා වූ කොන්දේසීන් හා සංවර්ධනමය ව්‍යාපෘතීන් ය.

මේ සඳහා ඉතාමත්ම යෝග්‍ය උදාහරණය ගෙන එනු ලබන්නේ හයිටි රාජ්‍යය තුළිනි. එනම් හයිටිය ආර්ථිකමය අතින් කඩාවැටී සිටි කාලසීමාව තුළ එම දරිද්‍රතාවයෙන් හිස එසවීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔස්සේ ණය ආධාර ලබාගත් අතර එහිදී එම ණය ආධාර ලබාදීමේදී ඔවුන් විසින් හයිටි රාජ්‍යය වෙත විවිධාකාරයේ වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් හා ව්‍යාපෘති ගෙන එන්නට විය. එලෙස ගෙන ආ බහුතරයක් ව්‍යාපෘති ඛනිජ සම්පත් හා සම්බන්ධ ව්‍යාපෘති වූ අතර සත්‍ය වශයෙන්ම එය ඇමරිකාව ප‍්‍රධාන වූ බහුජාතික සමාගම් ඔස්සේ සිදුවිය. කෙසේනමුත් එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ හයිටි රාජ්‍යය තුල පැවති බොහෝමයක් ඛනිජ සම්පත් එරටට අහිමි වීමය. එපමණක් නොව හයිටියෙහි වියදම් සීමා කිරීම සඳහා අදාළ වූ කොන්දේසි එන ආ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එමඟින් එරටෙහි අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වෙන්කර තිබූ බොහෝමයක් සහන කපා හරින්නට විය. එහි ප‍්‍රතිඵලය වශයෙන් එරටෙහි සමස්ථ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයම කඩාවැටුණු අතර කල්ප කාලාන්තරයකට හිස එසවීමට නොහැකි අන්දමේ ආගාධයකට එරට වැටුණි.
ඉහත කරුණු කාරණා ඉතාමත්ම කනගාටුදායක බවින් යුක්ත වුවද, ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය මෙන්ම මැලේසියාව වැනි රාජ්‍යයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔස්සේ ලබාගත් ණය තුළින් ඉතාමත් සාර්ථක හා ප‍්‍රගතිශීලී ආර්ථිකමය සංවර්ධනයක් අත්පත් කරගන්නා ලදි. එසේ හෙයින් මෙලෙස ඇතැම් රාජ්‍යයන් කඩාවැටීමටත්, තවත් රාජ්‍යයන් ප‍්‍රමාණයක් සාර්ථකවීමටත් බලපෑ හේතූන් කුමක්දැයි සොයා බැලීම ඉතාමත් වටිනා කරුණක් ලෙස මා සළකනුයේ වර්තමාන ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සැබැඳි කටයුතු තුළදී අනාගත ශ්‍රී ලංකාවෙහි සාර්ථකත්වය හා සංවර්ධනය එ් තුළින් ස්ථාවර කරගනුයේ කෙසේද යන්න පිළිබඳවත් මනාව උගැනීමට හැකිවන හෙයිනි.


එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාදෙන්නා වූ කොන්දේසීන් හට අප එකඟතාවය ඵල කරන්නේ නම්, සෑමවිටම එම කොන්දේසි මෙරට සමාජ සංස්කෘතියට ගැළපෙන පරිදි තිබිය යුතු අතරම නිරන්තරයෙන්ම එ්වා ප‍්‍රායෝගිකවය සිදුකළ හැකි කොන්දේසීන් විය යුතුය. එමෙන්ම නිසියාකාර විගණනයකින් යුතුව ලබාගන්නා ණය ආධාර, රටට ප‍්‍රගතිශීලී සංවර්ධනයක් ගෙන එන්නා වූ ව්‍යාපෘති සඳහා පමණක් යොමුකිරීමට පාලකයින් වගබලා ගත යුතු අතරම එම කටයුතු ඉතාමත් දේශපේ‍්‍රමී අන්දමින් මහත් අවංකභාවයෙන් යුතුව සිදුකළ යුතු වේ. තවද රටෙහි සම්පත් කිසිවිටෙකත් අවභාවිතා කිරීමට ඉඩ නොදීමට අප වගබලා ගත යුතුය. එ් අයුරින් ශ්‍රී ලංකාවෙහි සංස්කෘතියට හා සමාජීය වටපිටාවටද හානියක් නොවන අන්දමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟව කටයුතු සිදුකිරීම තුළින් මේ වනවිට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති මෙම ආගාධයෙන් හිස එසවීමටද හැකිවන අතරම තරුණ නායකත්වයක් තුළින් අනාගතය තුළ සංවර්ධිත රාජ්‍යයක් ලෙස මෙරට ඔසවා තැබීමටද නොඅනුමානව හැකිවනු ඇත.

වැඩිදුර අධ්‍යයනයන් සඳහා –

ආචාර්ය තිස්ස ජිනසේන

2023.07.12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *