November 24, 2026

කල්ප ගණනක් පෙරුම්පුරා ලෝක ධාතුවක් තුල උතුම් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ නමක් පහල වන්නේ එකම එක කරුණක් උදෙසාය. එනම් ලෝක සත්වයා  සසර දුකෙන් මුදවා නිර්වාණය සාක්ෂාත් කරවාලීමටය. ඒ සඳහා ඇති එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය පෙන්වා දීමට සහ සාර්ථක පැවිදි ජීවිතයකට අවශ්‍ය ධර්ම විනය හා ගුණධර්ම දියුණු කරගන්නා අයුරු කියා දීමටය. නිවන් දැකීම එකම අරමුණ කරගෙන සිටි  බොහෝ පිරිස් ගෞතම බුදු සසුනේ පැවිදිවී භාග්‍යවතුන් වහන්සේ වදාල ආර්ය මාර්ගයේ ගමන් කොට  අග්‍ර එලය ලබා ගන්න ලදී. එසේ නොමැතිනම් අවම වශයෙන් සෝතාපන්න එලය හෝ ලබාගන්නා ලදී. නමුත් වර්තමානය වනවිට රහතන් වහන්සේලා බිහි නොවන්නේ මක් නිසාද? අවම වශයෙන් සෝතාපන්න වූ අයෙකුවත් බිහි නොවන්නේ මක් නිසාද? එයට එකම හේතුව වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ සතර සතිපට්ඨානය පුරුදු නොකරන නිසාමයි. 

භික්ෂූන් වහන්සේලා සතර සතිපට්ඨානය වඩනවානම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන බවද භාග්‍යවතුන් වහන්සේ වදාරන ලදී. ඒ බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා සතර සතිපට්ඨානය සූත්‍රයේ අවසානයේ කරන ප්‍රකාශයෙන්. 

එනම්:

“පින්වත් මහණෙනි, යමෙක් වනාහී මේ සතර සතිපට්ඨානයන් මේ ආකාරයෙන් සත් වසරක් හෝ පුරුදු පුහුණු කරන්නේ නම් මේ ජීවිතයේදී ම උතුම් වූ අර්හත්වය හෝ කෙලෙස් ඉතිරි වුවහොත් අනාගාමී බව හෝ යන මේ ඵල දෙකෙන් එක්තරා ඵලයක් ලබාගැනීමට ඔහු විසින් කැමති විය යුත්තේය.”

අනතුරුව මේ සත් වසක කාලය, සය වස, පස් වස, මාස, අර්ධ මාස යනාදී ලෙස අඩු වී ‍යමෙක් දින හතක් නමුදු නිවැරදිව මේ සතර සතිපට්ඨානය වඩන්නේ නම් අරිහත්වයට හෝ අනාගාමී ඵලයට පත්වන වදාරන ලදී. එසේ නම් ඉතා හොඳින් පැහැදිලි වන කරුණ නම් වර්තමානයේ මාර්ගඑල ලාභින් බිහි නොවන්නේ භික්ෂූන් වහන්සේලා සතර සතිපට්ඨානය පුරුදු නොකර වෙනත් බාහිර කටයුතු වල දී ප්‍රමාදී ව කල් ගෙවන නිසාය.

එක්තරා අවස්ථාවක භද්ද ස්වාමීන් වහන්සේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේ කෙසේද කියා පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ බුදු සසුන බොහෝ කාලයක් රඳා පවතින්නේ ශ්‍රාවකයා සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරනවා ද නොකරනවා ද යන්න මත බවයි. භාග්‍යවතුන් වහන්සේගේ දායාදය වූ සතර සතිපට්ඨානයෙන් යුතුව ශ්‍රාවකයින් වාසය කරන්නේ නම් ශාසනය බොහෝ කාලයක් පවතින බවත්, එසේ නොවන්නේ නම් මේ ශාසනය ඉක්මනින් අතුරුදහන් වන බවත් පෙන්වා වදාළා. 

එසේ නම් සතර සතිපට්ඨානය පුරුදු නොකරන භික්ෂූන් වහන්සේලා අයිති වන්නේ බුදු සසුන වනසන පිරිසට නොවේද? “සියලු දුක්වල නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි” කියා  සිවුරු ලබා ගෙන ඉඩම්, යාන වාහන, ජංගම දුරකථන, සහ වෙනත් විසිතුරු දේවල් සොයා ඇතැම් භික්ෂූන් වහන්සේලා වෙහෙසීම සැබවින්ම බුදු සසුන අතුරුදහන් කිරීම නොවේද? විනය සීමාව නොදැන ඇතැම් භික්ෂූන් වහන්සේලා කටයුතු කිරීම බුදු සසුන වැනසීම නොවේද? ප්‍රමාණය ඉක්මවා දායකයන් සමග මිත්‍ර වීම, හා ඔවුන් පීඩාවට පත්වන අයුරින් දේවල් ඉල්ලීම බුදු සසුන දිගුකල් පැවැත්මට බාදාවක් නොවේද? මෙයින් අපට පැහැදිලි වන කරුණ නම් මෙකි නොකී සියලු ගැටළු භික්ෂූන් වහන්සේලා සතර සතිපට්ඨානය පුරුදු නොකරන නිසාය. 

එ නිසා යම් කෙනෙක් තමාගේ යහපතත්, බුදු සසුනේ දිගුකල් පැවැත්මත් පතන්නේ නම් කළයුතු වන්නේ මේ සතර සතිපට්ඨානයන් පුරුදු කිරීම යි.

නිවන් මගේ හික්මෙන ආර්ය ශ්‍රාවකයාට සතර සතිපට්ඨානය යනු පිය උරුමයෙන් ලැබුණු ආරක්ෂිත ස්ථානය යි. එනම් මාරයාට කැමති සේ අරමුණුවලින් ග්‍රහණය කර ගැනීමට නො හැකි වන සේ ආරක්ෂිතව සැඟවී සිටිය හැකි ස්ථානය යි. බුදු සසුනේ පිහිට පතාගෙන එන පැවිදි නවක භික්ෂූන් වහන්සේලා ව සතර සතිපට්ඨානය වැඩීමෙහි සමාදන් කරවන ලෙස භාග්‍යවතුන් වහන්සේ නිතර භික්ෂූන් වහන්සේලාට අවවාද කළ සේක. තවද නිවන් මගෙහි හික්මෙන භික්ෂූන් වහන්සේලාත් නිවන් මග හික්මී අවසන් කළ රහතන් වහන්සේලාත් නිතර සතර සතිපට්ඨානයෙන් යුතුව කාලය ගත කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. මෙසේ බුදු සසුනේ පිළිසරණ පතාගෙන එන ශ්‍රාවකයාට පිය උරුමයෙන් ලැබෙන ආරක්ෂිත ස්ථානය බවට සතර සතිපට්ඨානය පත් වෙනවා. එසේ ම  යම් කෙනෙක් කුසල් රැසක් තම ජීවිතයට එකතු කර ගනු කැමති නම් වැඩිය යුත්තේ මේ සතිපට්ඨානය ම යි. 

එලෙසම අරියවංශ ප්‍රතිපදාව අනුව යමින් චීවර, පිණ්ඩපාත, කුටි සේනාසන, බෙහෙත් පිරිකර ආදිය ගැන ඇලීමක් ගැටීමක් නොවී ජීවත් විය යුතුය. එසේ නොවුනහොත් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක්  පාපී අදහස් ඇතිව අන් අය පූජා කරන දානය අනුභව කරනවට වඩා රත් වූ යකඩ ගුලි අනුභව කරන එක වඩා  හොඳ බවයි  භාග්‍යවතුන් වහන්සේ වදාලේ.  එම නිසා වර්තමානයේ පාපී භික්ෂූන් සිහියට ගතයුතු කරුණ නම් සතිපට්ඨානය පුරුදු කර සෝවාන් එලයවත් ලබා ගන්නවාද? නැතිනම් බුදු සසුන වනසනවද? එසේ නොමැතිනම්  සඟසතු සියල්ල නැවත සංඝයාටම භාර දී සිවුරු අත්හැර උපැවදි වී ගිහියෙකු වෙනවද කියා.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

ආචාර්ය තිස්ස ජිනසේන
2023.11.21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *