November 24, 2026

පටිච්ච සමුප්පාදයේ සඳහන් උපාදාන යන වචනයේ අර්ථය අපට මෙසේ හඳුනාගත හැකි ය. එනම් ‘ග‍්‍රහණය වීම, බැඳී යාම’, දැඩිව බැඳී යාම යන අර්ථය යි. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන සහා අත්තවාද උපාදාන වශයෙන් උපාදාන 4 කි.

කාම උපාදාන

ඉෂ්ට කාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ලෝකයේ තිබෙන්නා වූ දේවල් ය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒවා කාම ගුණ ලෙසට ය. උදාහරණයක් ලෙස අඹු දරුවන්, මිල මුදල්, දේපළ, නිවාස, ඉඩම්, ඉතා වටිනා රන් දියමන්ති මැණික්, මිල අධික  වාහන හා ජංගම දුරකථන, සින්දු, චිත්‍රපට, ආහාර පාන, සුව පහසු ඇඳන් ආදිය. නමුත් සත්වයාගේ සිතේ මේ කාම ගුණ කෙරෙහි ඇලීමක් හට ගනී. එය සංකල්පයකි. මායාවකි. පුරුෂයාගේ හිතේ ඇති වන කාමය එයයි.

බුදුරජාණන් වහන්සේ මේ සත්වයා කාමයට වසඟ වී මහත් වූ දුකට වැටී ඇති ආකාරය පෙන්වා දෙන සේක. උන්වහන්සේ වදාළේ මේ කාමයන් වනාහී ඉතා ම අල්ප වූ ආස්වාදයකින් යුක්ත, බොහෝ දුක් සහිත, බොහෝ කරදර සහිත, බොහෝ ආදීනව තිබෙන දේවල් වශයෙන් ය.

සසර දුකින් එතෙර වනු කැමති පුද්ගලයෙකු මේ කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් අවබෝධ කර ගත යුතු ම ය. කාමයන්ගේ ආදීනව තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මෙවන් වූ උපමාවන් ය. එනම්:

1. කාමයන් වනාහී බලු පැටවකු ලෙව කමින් සිටින මස් කට්ටක් වැනි ය.

2. උකුස්සන් රංචුවකට මැදි වූ උකුස්සකු ඩැහැගෙන යන මස් කුට්ටියක් වැනි ය.

3. තමා දෙසට හුළඟකින් ගිනිදැල් පැමිණෙද්දීත් අල්ලා ගත් ඇවිළ ගත් හුළු අත්තක්   

   වැනි ය.

4. ගිනි අඟුරු වළක් වැනි ය.

5. නින්දේ දී දුටු සිහිනයක් වැනි ය.

6. ණයට ඉල්ලා ගත් අන් සතු දෙයක් වැනි ය.

7. යකඩ හුලක් වැනි ය.

8. විෂඝෝර සර්පයෙකුගේ හිස පැත්ත වැනි ය.

දිට්ඨි උපාදාන

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ නොයෙක් ආකාර වූ දෘෂ්ටි හැට හතරක් පමණ තිබුණි. ඒ සියලු දෘෂ්ටි ඇති වීමට හේතු වන්නේ අයෝනිසෝ මනසිකාරය යි. මේ දෘෂ්ටි හටගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.

“පින්වත් කච්චායන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින් සිටින්නේ අන්ත දෙකක් තුළ ය. එහි ම බැසගෙන සිටි. එය ම බන්ධනයක් බවට පත්වූයේ වේ. එනම් ‘සියල්ල ඇත’ යන අන්තයත් . ‘සියල්ල නැත’ යන අන්තයත් ය.

“සියල්ල ඇත යන අන්තය තුළින් හට ගන්නේ ශාස්වත දෘෂ්ටිය යි.”

“සියල්ල නැත යන අන්තය තුළින් හට ගන්නේ උච්ඡේද දෘෂ්ටිය යි.”

එලෙසම කෙනෙකුගේ සිත තුල ඇතිවන මිත්‍යා දෘෂ්ටි 10 පිළිබඳව ද ධර්මයේ සඳහන් වේ. එනම් : 

1. දූන්දේ විපාක නැත.

2. මහා දානවල විපාක නැත.

3. සකසා පිලිගන්වන දානයේ විපාක නැත.

4. කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත.

5. මෙළොවක් නැත.

6. පරළොවක් නැත.

7. මව කියා කෙනෙක් නැත.

8. පියා කියා කෙනෙක් නැත.

9. ඕපපාතිකව උපදින සත්වයෝ නැත.

10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැත.

මේ සියල්ලෙන් ම වෙන් වී හේතු ඵල දහම අනුව කල්පනා කරන ශ‍්‍රාවකයාට පමණි සියල්ලෙන් ම නිදහස් විය හැක්කේ.

සීලබ්බත උපාදාන.

තමාගේ යහපත පිණිස උපකාර වේවායි සිතා විවිධ සීල ව‍්‍රතවලට බැඳී යාම මෙහි ස්වභාවය යි. බුද්ධ කාලීන සමාජයේ මෙය බහුල වශයෙන් දකින්නට තිබුණි. පිරිසිදු වීම පිණිස සමහරු ගඟට බැස දිය නෑම සිදු කළහ. තවත් සමහරු නිර්වස්ත‍්‍ර විය, තවත් සමහරු නිර්මාංශ විය. සමහරු ඉතා උග‍්‍ර තපස් රකිමින් ශරීරයට දුක් දුන්හ. ඇතැම් අය එළුවන්, බල්ලන් මෙන් හැසිරෙන ලදී. ඇතැමුන් අසූචි අනුභව කරන ලදී. මෙලෙස විවිධ මිත්‍යා ව‍්‍රතයන් සමාදන් ව එය සීලය යැයි පෙන්වා තමන් උස් කොට අන් අය හෙළා දැකීමට පෙළඹුනාහ.

නමුත් භාග්‍යවතුන් වහන්සේ සීලය යැයි පෙන්වා වදාළේ කයෙන් වචනයෙන් සිදුවෙන වැරදි අකුසල සහගත ක‍්‍රියාවන් වළකා කිසි කෙනෙකුට පීඩා නොවන අයුරින් තම ජීවිතය හැසිරවීම යි. මෙවැනි සීල ව‍්‍රතවලට බැඳී ගිය විට රැස් වන්නේ අවිද්‍යා සහගත කර්මයන් ම ය.

අත්තවාද උපාදාන.

ස්ථීර වූ සදාකාලික ආත්මයක් මේ ජීවිතය තුළ තිබෙන්නේ ය යන අදහස මුල් කොටගෙන මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් සත්වයා උපාදාන වෙති. මෙය බලවත් වූ උපාදානයකි. අත්තවාද උපාදානයෙන් සදහට ම නිදහස් වන්නේ රහතන් වහන්සේලා පමණි. අනාගාමී උතුමන් තුළ පවා මේ අත්තවාද උපාදාන අනුසහගතව හෝ බලපවත්වයි. උපාදානය යනු භවය පිණිස හේතු වූ කරුණ වේ. එසේ නම් එය ප‍්‍රබල හේතුවකි. එයිනුයි නැවත වරක් උපතක් කරා යෑමය සිදුවන්නේ.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

ආචාර්ය තිස්ස ජිනසේන
2023.11.11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *