November 24, 2026

සමස්ථ ලෝක ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒ තුළ පැවති යුධ සංග්‍රාමයන් හා බල අරගල යනු සැබවින්ම විමතියට පත්වීමට තුඩු දෙන්නා වූ කරුණු නොවුණද, එම සිද්ධි දාමයන්හි සාධාරණත්වය හා අසාධාරණත්වය යනු නිසැකවම විමතියට කරුණකි. එනම් ඉතිහාසය පුරා සිදුවූ සෑම සියළු යුධ අරගලයක් තුළින්ම සිදුවූයේ බටහිර අර්ධගෝලයට අයත් ධනේෂ්වර රාජ්‍යයන් විසින් අනෙකුත් කුඩා රාජ්‍යයන් පාගා දැමීමය. එම සිදුවීම් කෙසේවුවද වර්තමානය තුළ දක්නට ලැබෙන කනගාටුදායකම කරුණ නම්, ඉතිහාසය පුරා සිදුවූ එම සාහසික සිදුවීම් වර්තමානය තුළද නැවත නැවතත් සිදුවීමය. මේ පිළිබඳව කරුණු විදහා දැක්වීමේදී පෙන්වාදීමට ඇති ප්‍රධානතම සිදුවීම නම්, ඔබ අප කවුරුත් හොඳින් දන්නා වර්තමාන ඊශ්‍රායල්-පලස්තීන යුධ ගැටුමය. ආරම්භයේ සිටම පලස්තීනයේ සංවිධානව පවතින්නා වූ හමාස් සංවිධානයට විරුද්ධව ඊශ්‍රායල විසින් ගෙන යන යුද්ධයක් ලෙස ලෝකයා ඉදිරියේ හුවා දැක්වීමට ඊශ්‍රායලය හා ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කළද, සැබවින්ම එහි යථාර්තය එසේ නොවීම, ඔබ අප සියළු දෙනාගේම විශ්මයට හේතුවන්නා වූ කරුණක් වනු නිසැකය. එනම් ඊශ්‍රායලය විසින් මේ වනවිට පහර දෙනු ලබන්නේ හමාස් සංවිධානය වෙතද, එසේත් නොමැතිනම් පලස්තීනුවන් හටද? මෙය සත්‍ය වශයෙන්ම වැදගත් මෙන්ම සොයා බැලිය යුතුම පැනයකි. කෙසේ නමුත් මෙහි ඉතිහාස කතාව දිගහැරීමට මෙය අවස්ථාව නොවන බැවින් මෑත කාලීන සිදුවීම්හි සුල මුල පිළිබඳව හෝ ඔබව දැනුවත් කිරීමට අප අදිටන් කරගනු ලැබුවේ ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි‍යෙකු වන ඇමරිකානු ජාතික ක්‍රිස් හෙඩ්ජස් මහතාගේද ආන්දෝලනාත්මක වාර්තාවක් සමඟිනි.

යුද්ධයට පෙර මිනිසුන්ගෙන් පිරී පැවති ගාසා තීරය අද වනවිට අමු සොහොනක් බවට පත්වී හමාරය. එනම් කඩාවැටුණු ගොඩනැඟිලි, බිත්තිවලට යට වූ මළ සිරුරු, තුවාල වූ මිනිසුන් මෙන්ම ජීවිතය සමඟ පොරබදින්නා වූ දරුවන් ගාසා තීරයේ සෑම ස්ථානයකම පාහේ දක්නට ලැබේ. මේ හමාස් ද? එසේත් නොමැතිනම් ඔබ අප මෙන් අහිංසක මිනිසුන්ද? 2023 වර්ෂයේ ඔක්තොම්බර් 07 වන දින සිට දරුණු ලෙස ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාවේදී මෙම අහිංසක මිනිසුන් හට සැනසුම් සුසුමක් හෙළීමට වෙන් වූයේ දින කීපයකට ඉහතදී අවසන් වූ සත් දින සටන් විරාම කාලසීමාව පමණි. දැන් තත්වය පෙරටත් වඩා දරුණුය. ගාසා තීරය පුරා රැව් දෙන්නේ එකම අදෝනාවකි. ගාසා තීරයෙහි ඉහළ අහස ප්‍රහාරක ගුවන්‍ යානා, ප්‍රහාරක හෙලිකොප්ටර්, කාලතුවක්කු ප්‍රහාර, ෂෙල් වෙඩි මෙන්ම මෝටාර් බෝම්බ ප්‍රහාරවලින් පිරී ඇත. 2023 වර්ෂයේ ඔක්තොම්බර් 07 වන දින සිට මේ වනවිට ගාසන් රැඳවුම් කඳවුර තුළ මරාදමා ඇති පලස්තීනුවන්ගේ සංඛ්‍යාව, දරුවන් 6000ක්ද ඇතුළුව සමස්ථය 16,000 ඉක්මවා යයි. එපමණක් නොව තුවාල ලැබූවන් සංඛ්‍යාව 42,000 ඉක්මවා යයි. පවුල් 300කට වැඩි සංඛ්‍යාවකට ඔවුනගේ සාමාජිකයින් 10ක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් මේ වනවිට අහිමිව ගොස් ඇත. මෙම කාලසීමාවෙහිදීම බටහිර කඳවුර තුළ පලස්තීනුවන් 300කට නොඅඩු සංඛ්‍යාවක් මරාදමා ඇත. ප්‍රවීණ වාර්තාකරුවන් පෙන්වාදෙන පරිදි ඊශ්‍රායලයේ මෙම සාහසික ප්‍රයත්නය ගාසා තීරය වාසයට නුසුදුසු ජන ශූන්‍ය කලාපයක් බවට පත්කිරීමය.

කෙසේ නමුත් මිලියන 2.3කින් යුතු පලස්තීන ජනගහනයෙන් 80%ක් පමණ, එනම් මිලියන 1.8ක් පමණ මේ වනවිටද නිවෙස්වලින් පලවාහැර ඇති අතර දහස් ගණනක් අතුරුදන්ව පවතී. සාගින්න, යුධ ප්‍රහාර හා බෝවන රෝග මතින් මේ ගෙනයනු ලබන්නේ ජනවාර්ගික සංහාරයක දැවැන්ත ව්‍යාපාරයක් බවට ඉහතින් පවතින්නා වූ සාක්ෂීන් සැබවින්ම ප්‍රමාණවත්ය. එය කෙසේවුවද ඊශ්‍රායලය විසින් ආරම්භයේ සිටම ගෙනගිය මෙම සාහසික පහරදීම් පසුපස සෘජු ලෙසම ඇමරිකා එක්සත් ජනපදය සිටීම සත්‍ය වශයෙන්ම පැනයකි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සමස්ථ ලෝකය පුරා පැවති බොහෝමයක් යුධ ගැටුම් උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සෘජු ලෙසම මැදිහත් වුවද, මෙම ගැටළුවෙහිදී ඔවුන් ඒ සඳහා පෙරටුගාමී වීමට මැලි වූයේ ඇයිදැයි මෙහි ආරම්භයේ සිටම විචාරකයින් ප්‍රශ්න කළද අදටත් එය පිළිතුරක් නොමැති පැනයකි. ඒ සඳහා ඔබ අප හට මතුපිටින් නොපෙනෙනා ප්‍රභල හේතුවක් පවතිනු ඇත. එනම් ඉතිහාසයේ පටන් ලෝකය තුළ ජීවත් වූ ඇතැම් ධනවතුන් යුදෙව්වන් ය. නම් වශයෙන් ප්‍රකාශ නොකළද, ඔවුන් ඔවුනගේ මහා පරිමාණ ව්‍යාපාර හා ඒ උදෙසා බලපාන වක්‍රාකාර බලපෑම් දුරස් කරගැනීම සඳහා එකල පටන් ඇමරිකා එක්සත් ජනපදයෙහි පරිපාලනයට මුදල් වියදම් කරන්නට විය. පරිපාලනය ගෙනගිය පක්ෂය කුමක් වුවද, ඔවුන් ඒ සෑම පක්ෂයක් උදෙසාම ධනය ලබාදීම හේතුවෙන් කිසිඳු ගැටළුවකින් තොරව ඔවුනගේ කටයුතු සිදුකරගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු එරට පරිපාලනයේ සහය ලැබුණි.

මෑත කාලීනව ඊශ්‍රායලය වෙත ලබාදීමට උත්සාහ කළ අතිරේක යුධ ආධාර අවලංගු කිරීම ජෝ බයිඩන් ප්‍රමුඛ ඇමරිකානු පරිපාලනය විසින් සෘජු ලෙසම ප්‍රතික්ෂේප කිරීම මේ සඳහා කදිම නිදසුනකි.කෙසේ නමුත් ඊශ්‍රායලයෙහි මෙම ක්‍රියා කලාපය හෙළා දකිමින් නිව්යෝක් ටයිම්ස් හි වාර්තා පළවී තිබුණේ සරෝහි වැටලීමේදී නිවැසියන් හට හා අසල්වාසී ප්‍රදේශ වෙත කිසිඳු දැනුම්දීමකින් තොරව ප්‍රහාර එල්ලකර ඇති බවත්, එයින් සාමාන්‍ය වැසියන් බොහෝමයක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ය. මොවුන්ගේ මෙම ප්‍රහාර මාලාව කෙතරම් බලවත්ද යත්, දෙවන ලෝක මහා සංග්‍රාමයේදී හිරෝෂිමා, නාගසාකි වෙත එල්ල කළ පරමාණු බෝම්බවල පුපුරණ ද්‍රව්‍යවලට සමාන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක්, එනම් ටොන් 25,000කට නොඅඩු ප්‍රමාණයක් මේ වනවිට පලස්තීනයට හෙළා ඇත. මෙම සමස්ථ සිදුවීම ගත්කළ, මෙය එක් පසෙකින් අධිරාජ්‍යවාදයෙහි අංකුර දළුලෑමක් ලෙසද දැකිය හැකිය. එනම් යටත් විජිත සමයෙහි බටහිර ජාතීන් විසින් මැදපෙරදිග රාජ්‍යයන් හා ලෝකයේ අනෙකුත් කුඩා රාජ්‍යයන්, පහත්, නොවැදගත් මෙන්ම ජීවත්වීමට නුසුදුසු ජාතීන් ලෙස දකිමින් ඔවුන්ව මිහිමතින් තුරන් කිරීමට උත්සාහ දැරීය. ඉතිහාසයේ දැක්වෙන පරිදි 880,000කට අධික පිරිසක් මිහිපිට ජීවත්වීමට අයිතියක් නොමැති පිරිසක් ලෙස සළකා විනාශ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ජාතීන් කටයුතු කර ඇති අතර ඒ සඳහා රතු ඉන්දියානුවන්, ඉරාක වැසියන්, ඇෆ්ගනිස්තානුවන්, සිරියානුවන්, කුර්දිවරුන්, ලිබියානුවන් මෙන්ම ලොව පුරා වෙසෙන සියළුම ආදිවාසීන් සාක්ෂි දරනු ඇත.


කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදයද උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩත්වය හා කෲරත්වය මුදුන්පත් කරගනිමින් මේ සිදුකරන්නා වූ සමස්ථ ක්‍රියාවලියම ඉතාමත් දැඩි ලෙස හෙළා දකිමින් ලෝකයා වෙත කරුණු පෙන්වා දුන් ඇමරිකානු ජාතික නිදහස් මාධ්‍යවේදියෙකු වන ක්‍රිස් හෙඩ්ජස් මහතා ඔහුගේ ඊජිප්තුවේ සිට පැමිණි ගුවන් ගමන අතරවාරයේදී කඳුළු පිරි දෙනෙතින් යුතුව ගාසාවේ දුවා දරුවන් වෙත ලියා සිටියේ මෙසේය.


ආදරණීය දරුවනි,


“දැන් මධ්‍යම රාත්‍රිය පසුවී ඇත. මම අත්ලාන්තික් සාගරයේ අඩි දහස් ගණනක් ඉහළින්, පැයට සැතපුම් සිය ගණනක් පියාසර කරමි. මම ඊජිප්තුවට ගමන් කළෙමි. මම ඔබ වෙනුවෙන් ගාසා තීරයෙහි රෆාහි මායිමට යන්නෙමි. කිසිදිනෙක ගුවන්‍ යානයක නොගිය, කිසිදිනෙක ගාසාවෙන් පිටතට නොගිය ඔබ දන්නේ මිනිසුන්ගෙන් පිරි වීදි, මංතීරු, කොන්ක්‍රීට් ගොඩනැඟිලි, ගාසාව වටා යන්නා වූ ගුවන් යානා, සොල්දාදුවන් විසින් මුර සංචාරයේ යෙදෙන ආරක්ෂක බාධක හා වැටවල් පමණි. ඔබට ඉහළින් භයානක ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර් හා ඩ්‍රෝන යානා කැරකෙයි. ඔවුන් විසින් කන් බිහිරි කරවන බෝම්බ, මිසයිල බිම හෙළයි. ගොඩනැඟිලි කඩාවැටෙයි. මිනිසුන්ගේ අදෝනාව හැමතැනින්ම ඇසෙයි. සුන්බුන් යටින් උදව් ඉල්ලා හඬ නඟයි. එය දිවා රෑ නොනවත්වා සිදුවේ. කොන්ක්‍රීට් තට්ටු කඩා දමමින් හාරද්දි හුණුවලින් පිරුණු ඔබගේ යහළුවන්ගේ, අසල්වාසීන්ගේ මුහුණු හා විකෘති සිරුරු හමුවේ. මම වාර්තාකරුවෙක්. මෙය දැකීම මාගේ කාර්යභාර්යයි. ඔබ කුඩා දරුවෙක්. ඔබ කිසිදා මෙය නොදැකිය යුතුයි. කැඩිච්ච කොන්ක්‍රීට් යට හිරවුණ මළමිනීවල ගඳ නිසා හුස්ම හිරකරගෙන, රෙදි කඩකින් කට වහගෙන වේගයෙන් ඇවිදගෙන යනකොට අහල පහල තමන්ට හුරුපුරුදු හැමදේම නැතිවෙලා තියන දිහා ඒ අය විමතියෙන් බලාගෙන ඉන්නවා. ඔබේ අම්මා හෝ තාත්තා ඔබගෙ කන් වසාගෙන මිසයිලයේ සුදු එළිය දකිමින් එය පිපිරෙන තුරු බලාසිටිනුයේ, ඇයි ඔවුන් දරුවන් මරාදමන්නේ? ඇයි ඔබව කිසිවෙකුට ආරක්ෂා කළ නොහැකි? ඔබට තුවාල වේවිද? ඔබගේ අතක්, පයක් අහිමි වේවිද? ඇයි ඔබ අන්ධ වී හෝ රෝද පුටුවක සිටිනුයේ? ඔබ ඉපදුනේ යහපත් දෙයක් උදෙසාද? නැතහොත් මේ සඳහාද? යන්නා වූ දෑ සිතමින් ය. ඔබ සිතන්නේ ඔබගේ මව, පියා, සහෝදර සහෝදරිය අතරින් ඊළඟට කවුරුන් මිය යයිද? තුවාල ලබයිද කියාය. රාත්‍රී කාලයේදී ඔබ අන්ධකාරයෙහි සීතල සිමෙන්ති පොළොව මත වැතිරී සිටියි. දුරකතන ජාලය කපා ඇත. අන්තර්ජාලය ක්‍රියා විරහිත කර ඇත. ඇතැම්විට ආලෝකයන් දැල්වේ. පිපුරුම් හඬවල්, කම්පනයන්, කෑගැසීම් ඇසෙයි. නමුත් සිදුවන දේ ඔබට නොවැටහේ. ඔබගේ මව හෝ පියා කෑමට ආහාරයක්, බීමට වතුර පොදක් සොයාගැනීමට එහෙ මෙහෙ සැරිසරයි. නමුත් ඔබ තිගැස්මෙන් හා බියකරු හැඟීමෙන් යුතුව බලාසිටින්නේ ඔවුන් නැවත පැමිණේද කියාය. ඔබ සිතන්නේ ඊළඟට ඔබේ කුඩා නිවස බෝම්බවලින් විනාශ වෙයිද? ඔබගේ පවුලේ අන්තිමයා ඔබ වේවිද කියාය. ඇතැම්විට ඔබ ලුණු සහිත අපිරිසිදු ජලය පානය කරයි. එය ඔබව අසනීප කරවයි. ඔබට කුසගින්න දැනේ. නමුත් වෙළඳසැල්, බේකරි විනාශ වී ඇත. ඔබට ආහාරයට ගැනීමට එකඳු රොටියක් හෝ නොමැත. ඔබ කෙසේ හෝ දිනකට එක වේලක් අනුභව කරයි. කඩමළුවලින් සෑදූ ඔබේ පාපන්දුවෙන් ඔබට සෙල්ලක් කිරීමට හැකි බවක් නොපෙනේ. පැරණි පුවත්පත්වලින් සෑදූ ඔබේ සරුංගලය අහසේ පියාසර නොකරයි. ඔබ දකින විදේශීය වාර්තාකරුවන් ෆ්ලැක් ජැකට් පැළඳ සිටියි. හෙල්මට්, කැමරා පැළඳ සිටියි. අපි ජිප් රථවලින් ගමන් කරන්නෙමු. සෑම බෝම්බ ප්‍රහාරයකින් හෝ වෙඩි ප්‍රහාරයකින් පසුව අපි ඔබ ඉදිරියේ පෙනී සිටින්නෙමු. කෝපි කෝප්පයක් බොමින් වැඩිහිටියන් සමඟ කතා කරමින් වැඩි වෙලාවක් හිඳ පසුව අතුරුදන්ව යන්නෙමු. අපි සාමාන්‍යයෙන් දරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා සිදුකරන්නේ නෑ. නමුත් ඇතැම් අවස්ථාවල අපි වඩා ඔවුන් රොක් වනවිට අපි ඔවුන් සමඟ සම්මුඛ සාකච්ඡා සිදුකර තිබෙයි. මටද ගාසාවෙහි ජෙට් යානාවලින් බෝම්බ හෙලුවා. මම ඉපදුනු කාලසීමාවෙහි සිදුවූ වෙනත් යුද්ධවලදී එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මාද බියට පත්වී සිටියෙමි. ගාසාවේ ඇතැම් පිංතූර දකින විට තවමත් මා හට එම අතීතය සිහියට නැඟෙයි. මෙම යුධ ගිණිදැල් හා ගිගුරුම් තුළින් එම අතීතය නැවත නැවතත් මාගේ මතකයට එයි. මම ඔබ සැමදෙනා ගැනම සිතමි. යුද්ධයට සැමවිටම වෛර කළ අප, එසේ එයට වෛර කළේ ඒ තුළින් අහිංසක දරුවන් හට සිදුකරන විනාශය නිසාවෙනි. මම මෙලෙස ඔබේ කතාව කීමට උත්සාහ කළෙමි. දිනෙන් දින, සතියෙන් සතිය, වසරින් වසර, දශකයෙන් දශකය මිනිසුන් කුරිරු වනවිට එය ලෝකයා හට පැවසීමට මම උත්සාහ කළෙමි. ඔබ ඔවුන්ගේ නිදහස හා අභිමානය ප්‍රතික්ෂේප කරන විට, ඔවුන්ට නින්දා කොට එළිමහන් සිර කඳවුරුවල සිරකරන විට, ඔවුන්ව තිරිසනුන් මෙන් මරා දැමූවිට, ඔවුන් ඉතා කෝපයෙන් යුතුව ඔවුනට සිදුකළ දේ අනුනට සිදුකිරීමට යයි. වසර 07 තිස්සේ මා මෙය පුන පුනා පැවසුවෙමි. නමුත් සැවොම එයට අහුම්කන් දුන්නේ අඩුවෙනි. කෙසේනමුත් දැන් ඉතා නිර්භීත පලස්තීන මාධ්‍යවේදීන් සිටියි. මෙම බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට ඔවුන්ගෙන් 50කට නොඅඩු සංඛ්‍යාවක් මේ වනවිට මිය ගොස් ඇත. ඔබේ රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම එක්සත් ජාතීන්ගේ කම්කරුවන්ද සියයට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මියගොස් ඇත. තවද කොන්ක්‍රීට් ලෑලි ඔසවමින් මුදවා ගැනීමේ කටයුතු කරන අයද, බෝම්බවලින් ඔබව ආරක්ෂා කරන මව, පියාද වේ. ඔවුන් සියළුදෙනා විරුවන් ය. නමුත් අප එතැන නැත. මේ අවස්ථාවේදී අපට එතැනට ඇතුළුවීමට නොහැකිය. අපට ඇතුළුවීම තහනම් කර ඇත. ලොව පුරා මාධ්‍යවේදීන් රෆා දේශ සීමාවට යනවා. අප එලෙස යන්නේ, මෙම ඝාතන දෙස බලාසිටීමට නොහැකි නිසයි. ඇත්තටම අපි එහි යන්නේ, ළමයින් ඇතුළුව මිනිසුන් සියයකට වැඩි පිරිසක් දිනකට එහි මැරෙන නිසයි. මේ ජන සංහාරය නැවැත්විය යුතු නිසයි. ඔබ වැනි වටිනා අහිංසක දරුවන් එහි සිටින නිසයි. ඔවුන් ජීවත් වියයුතු නිසයි. කෙදිනක හෝ ඔබ වැඩිහිටියෙකු වනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. එවිට මා මහළු මිනිසෙකු වී ඇත. ඔබගේ නිදහස හා සතුට සෙවීමේ මාගේ සිහිනය තුළ මා දැන් බොහෝ වියපත්ව සිටින්නෙමි. දිනක, ඔබව මරා දැමීමට කිසිවෙකු උත්සාහ නොකරනු ඇත. බෝම්බ නොව මිනිසුන් පිරුණු ගුවන් යානාවල ඔබ පියාසර කරනු ඇත. රැඳවුම් කඳවුරු තුළ ඔබ සිර නොවනු ඇත. ඔබ ලෝකය දකිනු ඇත. ඔබ හැදී වැඩී ඔබට දරුවන් ලැබෙනු ඇත. ඔබද වියපත් වනු ඇත. ඔබට මෙම දුක්වේදනා මතකය. එබැවින් දුක්වේදනා විඳින්නා වූ අය හට උපකාර කළ යුතු බව ඔබ දනියි. මම ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. අපි ඔබ ඉදිරියේ අසාර්ථක වූවා. මෙය අපි ජාතියක් වශයෙන් ගෙන යන දරුණු වරදක්. අපි මේ සඳහා උත්සාහ කළ නමුත් වෙහෙස මහන්සි නොවුණෙමු. අපි ගාසා දේශසීමාවෙන් පිටත සිට අපගේ විරෝධතාවය දක්වන්නෙමු. ලියන්නෙමු. රූගත කරන්නෙමු. අප සිදුකරන්නේ එයයි. ඇතැම්විට එය ඔබගේ සාධාරණ අයිතිය නැවත ලබාගැනීමට ප්‍රමාණවත් වනු ඇත. අවසාන වශයෙන් ඔබ සියළුදෙනාගෙන් සමාව අයැද සිටින්නෙමි. “
ස්තූතියි.

ක්‍රිස් හෙඩ්ජස්
2023.12.06


ක්‍රිස් හෙඩ්ජස් මහත්මා විසින් ඉදිරිපත් කළ මෙම ලිපිය මෙන්ම ඉහත අප සඳහන් කළ සමස්ථ කරුණු කාරණා තුළින් මනාව අවබෝධ වනු ලබන්නේ, වර්තමානය තුළ උද්ගතව ඇති මෙම යුධ ගැටුමෙහි අසාධාරණත්වය හා අමානුෂිකත්වයයි. කෙසේනමුත් මෙම සමස්ථ කරුණු කාරණාද සමඟින් අවසාන වශයෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනුයේ මෙම සමස්ථ ක්‍රියාවලිය පිළිබඳව විතක්ෂණශීලී මනසකින් යුතුව දැක, සාධාරණත්වය හා අසාධාරණත්වය හරියාකාර ලෙස අවබෝධ කරගන්නා ලෙසය.

ඔබගේ වැඩිදුර දැනුම සදහා යොමු වන්න.

ආචාර්ය තිස්ස ජිනසේන
2023.12.28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *