November 24, 2026

”තණ්හාය ජායතී සෝකෝ

තණ්හාය ජායතී භයං

තණ්හාය විප්පමුත්තස්ස

නත්ථි සෝකෝ කුතෝ භයං”

තණ්හාව නිසා ශෝකවීම හටගනී. එම වස්තු අන් සතු වෙයිද..? තමා වසඟයෙන් පවත්වාගැනීමට නොහැකි වෙයිද..? ස්ථිර නොවෙයිද..? එයින් බිය හට ගනී. යමෙක් තණ්හාවෙන් තම සිත මුදවා ගනීද, ඔහුට ශෝක බියක් නොවන්නේ මය.

ඉහත සඳහන් ගාථාව අපි කොයි කව්රුත් ඉතා හොඳින් නිතර අසා තිබෙන දෙයකි. නමුත් එම ගාථාවේ අර්ථය තුල මුළු මහත් සත්ව සංහතියේම ගැටළුව, සමාජ ප්‍රශ්න හා  සංසාරික අර්බුධය ගැබ්වී ඇත.  චතුරාර්ය සත්‍ය විග‍්‍රහ කරන තැන දී අපගේ ශාස්තෘන් වහන්සේ තණ්හාව ගැන පෙන්වා දෙන්නේ දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය විදිහට ය. එහි දී තණ්හාව යනු කුමක්දැයි මෙසේ පෙන්වා දෙන සේක.

“පින්වත් මහණෙනි, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යළි යළිත් විපාක විඳින්නට කර්ම සකස් වීම ඇති කරවන (පෝනෝභවිකා) ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ (නන්දිරාග සහගතා) ජීවිතයක දී ඒ ඒ දෙය සතුටින් පිළිගන්නා වූ, (තත‍්‍ර තත‍්‍රාභිනන්දිනි) යම් මේ තණ්හාවක් ඇද්ද එයයි.”

මෙලෙස දුකේ හටගැනීම නම් වූ තණ්හාව තුන් ආකාර වෙයි. එනම්,

1. කාම තණ්හාව (රූප – ශබ්ද – ගන්ධ – රස – පහස යන මේ කාම අරමුණුවලට ආශාව ඇති වීම)

2. භව තණ්හාව (මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් පිළිගත් තම තමන්ගේ ජීවිත යළි යළිත් පවත්වා ගැනීමේ ආශාව)

3. විභව තණ්හාව (සිත හෝ කය හෝ කිසිවක් නොපැවැත්වීම පිණිස තමාගේ හිතේ මුල් බැසගත් ආශාව)

මහා නිධාන සූත‍්‍ර දේශනාවේ දී සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ විඳීම හේතුවෙන් තෘෂ්ණාව හට ගන්නා බවයි. එය අර්බුදයක් දක්වා ම දික් වන අයුරු භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් සම්බුදු නුවණින් මෙසේ හෙළිදරව් කරනු ලැබුවා.

‘‘ආනන්දයෙනි, විඳීම හේතුවෙන් තෘෂ්ණාව හට ගනියි. තෘෂ්ණාව හේතුවෙන් සොයයි. සෙවීම හේතුවෙන් ලැබෙයි. ලැබීම හේතුවෙන් ලැබුණු දේ ගැන විනිශ්චයකට යයි. විනිශ්චය කිරීම හේතුවෙන් ආශාවෙන් ඇලෙයි. ආශාවෙන් ඇලීම හේතුවෙන් තමන්ගේ ය කියා එහි සිත බැස ගනියි. තමන්ගේ ය කියා එහි සිත බැස ගැනීම හේතුවෙන් එය සිතෙන් අයත් කර ගනියි. එය සිතෙන් අයත් කර ගැනීම හේතුවෙන් මසුරු බව ඇති වෙයි. මසුරු බව හේතුවෙන් එය රකියි. එය රැකීමට ගන්නා අරගලය හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝලාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි, නුඹ තමයි’ වශයෙන් බැණ ගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදි අනේක වූ පාපී අකුසල් දහම් හට ගනියි.” (මහා නිධාන සූත‍්‍රය – දී. නි.)

එලෙසින්ම තණ්හාව පුද්ගලයාටත්, බාහිර සමාජයටත් මහත් වූ දුක් උපදවයි, නොයෙක් කරදර හිරිහැර පමුණුවයි. මෙම තණ්හාව නිසා ම රැස් කර ගත් ධනය ඇතැමුන් ආරක්ෂා කරනුයේ බහිරවයන් නිධානයක් රකින අයුරිනි. නපුරු රාක්ෂයෙක් අරක්ගත් විලක් ලෙසින් ඔවුහු වස්තුව තමාගේ වත් අනුන්ගේ වත් යහපත සඳහා යොදා නොගනිති. කොපමණ ලැබුණත් සෑහීමකට නම්  පත් වන්නේ නැත. අනුන්සතු  දේවල් ද

බලයෙන් හෝ කපටිකමින් වංචාවෙන් හෝ  නීති මාර්ගයෙන් තමා සතු කර ගැනීමට මහත් වෙහෙසක් ගනිති. ඉඩකඩම්, දේපළ, මිල මුදල් ආදි දේ පිළිබඳ ආරවුල් හටගන්නේ ද මෙම තෘෂ්ණාව නිසා ය. බොහෝ දුක් පීඩා විඳිමින් අපමණ වෙහෙස වී මිනිසුන් රැකීරක්ෂා ආදිය කරන්නේ ද, රැකියාවේ උසස්වීම් වලට තරඟ කරන්නේද, අන් අයගේ රැකියා අහිමිකර හෝ තමන්ගේ රැකියාව පරිස්සම් කරගැනීමට උත්සහ කරන්නේද   තණ්හාව නිසා ය.  ඇතැම් මහා ධනවතුන්ගේ සිට දුගී දුප්පතුන් දක්වා ම තණ්හාවේ මේ තත්ත්වය එක හා සමානය. තණ්හාව නිසා ඇතැම් විට දෙමවුපියෝ දරුවෝ ද, සහෝදර සහෝදරියෝ ද අමනාප වෙති. ඔවුහු තම ඥාතීන් ද, හිතවතුන් ද, අසල්වාසීන් ද අමනාප කර ගනිති; ඔවුන් සමග ගැටුම් ඇති කර ගනිති. ලෝකයේ සියලු අරගලවලට ප්‍රධාන හේතුවක් වන්නේ ද තණ්හාව ය. බල තණ්හාව හා අනිත් රටවල ඇති වස්තූන් කොල්ලකෑම ආදිය මුල්කොට ගත් යුද කෝලාහල යනාදිය නිසා මිනිසුන්ට වටිනා ජීවිත පවා අහිමි වෙයි. මේ අනුව තණ්හාවට වසඟ වූ සිත පුද්ගලයාට ද සමාජයට ද ඉතා භයානක විපත් පමුණුවයි. තමාවද විනාශ කර ගනී.

යම් පුද්ගලයකු ලද දෙයින් සතුටු නොවී බොහෝ දේවල් එකතු කරන්නෙක් බවට පත් කරවීමට ප්‍රධාන හේතුව මෙම තණ්හාවයි. එවැනි බහු භාණ්ඩිකත්වයට හුරු වූ පුද්ගලයා පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් නොවේ. මිල මුදල්, ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස යනාදි සියල්ල ඉතා ඉහළ මට්ටමකින් අපේක්ෂා කරන අය ජන සමාජය තුළ වැඩියෙන් දක්නට ලැබෙයි. තමාගේ තරමට හා පමණට වඩා  වියදම් කිරීමට ද ඔවුහු පෙළඹෙති. ධනවත් සමාජයේ සිටින අධික පරිභෝජන රටාවකට හුරු වූ අය දැකීමෙන් පසු ඔවුන් අනුකරණය කරමින් ඔවුන් කරන හැමදේම කරන්න පෙළඹී සිටින අය සමාජයේ ඕනෑ තරම් දැකිය හැකි ය. ඔවුන් නොදැනීම ක්‍රමයෙන් අධි පරිභෝජන  බහුභාණ්ඩික ජීවන රටාවට යොමු වී ඒ නිසා ම අසීමිත ලෞකික ආශාවන් පසුපස හඹා යති. මිල මුදල් නොමැතිව තමාගේ ආර්ථික ශක්තිය දුර්වල වූ විට ණය වී අත්‍යවශ්‍ය නොවූ දේවල් රැස් කර තබා ගැනීමට පෙළඹෙති. නොයෙකුත් යාන වාහන, මිල අධික ජංගම දුරකථන, ගෘහභාණ්ඩ, තාක්ෂණික උපකරණ, සුවිසල් සුවපහසු ගේදොර, ඇඳුම් මෝස්තර ආදිය මහත් කොට සැලකීම නිසා ඇතැමුන් ජීවත් වන්නේ සමාජයට නොපෙන්වන ආර්ථික ප්‍රශ්න රැසක් මධ්‍යයේ ය. මේ ප්‍රශ්න සියල්ලට ම මුල සරල චාම් දිවි පෙවෙතකට හුරු නොවීම හා අසීමිත තණ්හාවයි.

එලෙසම තණ්හාව සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණක් නම් තණ්හාව පවතින්නේ වින්දනය ලැබෙනකම් පමණක් බව. ඒ වින්දනය නැතුව ගියවිට ආශාව/තණ්හාව නැතුව යනවා. කුඩාකල සිටම අපේ ආශාව ඇතිවී නැතුව ගියේ ඒ අයුරෙනි. පුංචි දරුවන් අයිස්ක්‍රීම් කෝටූ, යෝගට් හැඳි, සෙල්ලම් බඩු ආදී දේවල් එකතු කරයි. නමුත් ඒ කෙරෙහි යම් වින්දනයක් තිබුණද, ඒ වින්දනය නැතිවුණ ගමන් ඔවුන් ඒවා අත්හරිනවා. ඒ වගේම පුංචි කාලේ පොඩි සපත්තු, ඇඳුම් ඉල්ල ඉල්ලා අඬනවා. “මට මේ සපත්තු අරන් දෙන්න… මේ බෝනික්කා අරන් දෙන්න… මේ මාලෙ අරන් දෙන්න… මේ වළලූ අරන් දෙන්න…” කියලා. හැබැයි ඔවුන්  ඒවා ළඟ තියාගෙන ඉන්නේ එහි ආශාව තිබෙනකම් පමණි. නමුත් එහි  වින්දනය නැතිවුණාට පස්සේ ඔවුන් දන්නෙම නෑ, ඔවුන්ට  මතකත් නෑ. එලෙස කුඩා දරුවන් ක්‍රමානුකූලව දේවල් සිතාමතා හෝ නොතිසාම අත්හරිනවා. 

මේ මනුෂ්‍ය ස්වභාවය. වින්දනයක් ලැබෙනකොට ආශාවක් හටගන්නවා. ඒ වින්දනය නැතුව යනකොට ඒ ආශාව නැතුව යනවා. වෙන වින්දනයක් ඇතිවෙනකොට තව ආශාවක් හටගන්නවා. ඒ වින්දනය නැතිවෙන කොට ඒ ආශාව නැතිවෙනවා. මේ විදිහට ආශාව එකින් එකට මාරු යනවා. පුංචි කාලේ සෙල්ලම් කාර්වලට තිබුණු ආශාව, බෝනික්කන්ට තිබුණු ආශාව, කෝම්පිට්ටු උයන්න තිබුණු ආශාව වෙන එකකට මාරුවෙලා යනවා. තරුණ වයස එනකොට ඒ ආශාව ඇඳුම්වලට, පෙම්වතුන්ට, පෙම්වතියන්ට මාරු වෙනවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඒ ආශාව දරුවන්ට මාරුවෙනවා. තව කාලයක් යන කොට මුනුබුරන්ට, මිනිබිරියන්ට ඒ ආශාව මාරුවෙනවා. ඔක්කොම අහිමි වෙනකොට ඒ ආශාව ඉඩමේ වත්තේ හතර මායිමට මාරුවෙනවා.

පටන්ගත්තේ සෙල්ලම්බඩු වලින්. ඉවර වෙන්නේ ඉඩමේ වත්තේ හතර මායිමෙන්. ඊට පස්සේ ‘මම නම් මේ ඉඩම දාලා යන්නේ නෑ’ කියලා කියනවා. මොහොතක් සිතා බලන්න. පුංචි කාලේ  දරුවන් ඉඩමට ආශා කළාද..? නැත. ඔවුන් ඉඩම් ගැන දන්නෙත් නෑ. නමුත් දැන්.. ‘මං මළත් නයෙක් වෙලා හරි එනවා…’ කියනවා. තණ්හාව කොතරම් ප්‍රබලද යත් ඇතැම් අයට මරණින් මත්තේ ‘… මට මේ ඉඩමේ ගෙම්බෙක් වුණත් සැපයි’ කියලා හිතෙනවා. 

එබැවින් ආශාවන්ට වහල් වී ජීවත් වීමෙන් ඈත් විය යුතු ය. එය තමන්ගේ මෙන්ම අන් අයගේ ද ජීවිතය ම විනාශය කරා ගෙන යාමක් වන හෙයිනි. ලද දෙයින් සතුටු නොවන, තණ්හා අධික ජීවිතයක බලාපොරොත්තු සියල්ල කවදාවත් කිසි ලෙසකින් සම්පූර්ණ කර ගත නො හැකි ය. එබැවින් එවැනි අතෘප්තිකර ජීවිතයක් ගත කිරීමට වඩා ලද දෙයින් සතුටු වී සැහැල්ලු අල්පේච්ඡ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හුරුවීම වටිනාම දෙයක්වන අතර එවිට ජීවිතයේ මිනිසුන් විසින් නොදැනුවත්කම නිසා ම ගොඩනගා ගනු ලබන ප්‍රශ්න බොහොමයක් අඩු වී යනු ඇත. ධාර්මික අල්පේච්ඡ දිවි පැවැත්ම මෙලොව ජීවිතයේ සාර්ථකත්වයට, සතුටින් ජීවත් වීමට බොහෝ සෙයින් බලපාන්නක් සේ ම තණ්හාව දුරු කර දීර්ඝ වූ සංසාර දුකින් අත්මිදීමට ද ඉතා උපකාරී වෙයි.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

ආචාර්ය තිස්ස ජිනසේන
2023.11.04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *