
ආගම සහ දර්ශණය යන්නා වූ ද්විතය ගත් කළ, අද වනවිට සමාජය තුළ ඉතාමත්ම කතාබහට ලක්වන මාතෘකා යුගලයක් බවට පත් වී හමාරය. එනමුත් කෙබඳු අන්දමින් මේ පිළිබඳව විචාරයන් ගෙන ඒ මට මිනිසුන් කටයුතු කළද, මෙහි සත්‍යමය හා ප්රායෝගිකමය අර්ථ නිරූපණයන් තවමත් සමාජගත පවතින්නේද යන්න පිළිබඳව මා හට ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථය . එනම් සත්‍ය වශයෙන්ම ගත්කළ ආගම සහ දර්ශණය යනු එකම ස්ථානයකි ඇරාබුම ගෙන සමීප මාවත් දෙකක් ඔස්සේ දෙආකාරයක වූ අවසානයක් කරා ගමන් ගන්නා භූමිකා දෙකකි . එනම් බුද්ධ දේශනාවන් තුළ සඳහන්ව පවතින ලෞකික හා ලෝකෝත්තර යන්නා වූ දෙආකාරයක ජීවිතයන්, ඒ ඒ අන්දමින් සාර්ථක කරගැනීම සඳහා මෙම ආගම හා දර්ශණය විවිධ අයුරින් මහෝපකාරී වේ. එසේ හෙයින් ධර්මයෙහි පැවැත්ම උදෙසා කාලානුරූපව යම් ආගමික මුහුණුවරක් ගනිමින් හුදෙක් මිනිසුන් ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වත්පිළිවෙත් හා ගුණධර්ම ආගම තුළින් ගොඩනැඟ වූණද, ඔබ අප සියළුදෙනා අවබෝධ කරගත යුතු වටිනාම හා වැදගත්ම කරුණ නම්, බුද්ධ ධර්මය යනු ප්‍රඥාව මූලික වූ දහමක් බවයි. එනම් එය හුදෙක් ඇදහිල්ලක් හෝ විශ්වාසයක් පමණක් නොව ප්රඥාගෝචර අවබෝධයක් තුළින් සත්‍ය අවබෝධය කරා යොමුකෙරෙන්නා වූ වටිනා ඉගැන්වීමකි .
එනමුත් අදවන විට මිනිසුන් මෙම වටිනා බුද්ධ දර්ශණය හුදෙක් ලෞකික සංවර්ධනය උදෙසා පමණක් භාවිතා කිරීම ඉතාමත්ම කනගාටුදායක කරුණකි. එනමුත් මා විසින් එය කිසිඳු අන්දමකින් විවේචනයට භාජනය නොකරන මුත් ම නිරන්තරයෙන්ම ඔබ හට පවසා සිටිනු ලබන්නේ බෞද්ධ දහමෙහි පාදම බඳු වූ ශ්‍රද්ධාව තුළ පමණක් නොසිරවී ඉන් ඔබ්බට වූ ගැබුරු ධර්මීය හරය වෙත ළඟාවීමට උත්සහ කරන ලෙසය. කෙසේ නමුත් පෙර ලිපිය ඔස්සේ මෙම සමස්ථ ලෝක සත්වයා පීඩා විඳින්නා වූ දුක පිළිබඳව ඉතා සරල අන්දමින් ඔබ හට කරුණු පහදා දීමට මා කටයුතු කරනු ලැබුවේ ගැබුරු ධර්ම කාරණා දක්වා ගමන් ගන්නා මෙම හරවත් ලලිපි පෙළ ක්රමානුකූල ලෙස අවබෝධ කරගැනීම උදෙසා එය බෙහෙවින්ම ඔබහට උපකාර වනු ඇතැයි මා විශ්වාස කළ හෙයිනි.නිවැරදි ජීවිතාවබෝධය එසේත් නැතිනම් නම් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා නිරායාසයෙන්ම බාධා පමුණුවන්නා වූ අවිද්‍යාව නම් අන්ධකාරය ඔස්සේ ගොඩනැංවෙන්නා වූ තණ්හා මූලික ආශාව, එසේත් නොමැති නම් කැමැත්ත පිළිබඳව මා ඔබට කරුණු පහදාදීමට මෙම ලිපිය තුළින් උත්සහ දරුණු ලබන්නේ එය බෞද්ධ ඉගැන්වීම් තුළ නිරන්තරයෙන්ම මූලික ස්ථානයක් ගන්නා හෙයිනි. කෙසේ නමුත් මේ සඳහා මා සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකායට අයත් මජ්ඣිම පන්නාසික රාජ වග්ගය තුළ අන්තර්ගතව පවතින පියජතික සූත්‍රය ඔස්සේ කරුණු පහදා දීමට අදිටන් කරගනු ලැබුවේ එය ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමවේදයක් හේතුවෙනි .
එකළ අප මහා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩසිටි කල්හි, එක්තරා ගෘහපතියෙකුගේ එකම පුත් හදිසි ආබාධයක් හේතුවෙන් කළුරිය කරන්නට විය. තම දරුවා කෙරෙහි පැවති අපරිමිත සෙනෙහසත්, ආලයත් හේතුවෙන් මෙම ගෘහපතියා අතිශය ශෝකයට පත් වූ අතර අවසානයෙහි දී සිය පුතුගේ දේහය මළ සොහොනක් වෙත රැගෙන යාමට ඔහුට සිදුවිය. එනමුත් ක ිසිඳු අයුරකින් මෙම වියෝව උසුළා ගැනීමට අපොහොසත් වූ මෙම ගෘහපතියා සෑම දිනකම නිරන්තරයෙන්ම තම දරුවාගේ සොහොන වෙත ගොස් ශෝක කරන්නට විය. දිනක් මෙලෙස ශෝක කරමින් හඬා වැටෙමින් සිටි ගෘහපති තෙම නැවත නිවසට යන අතරවාර යෙහිදී සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි මහා කරුණාවෙන් වැඩසිටි ගෞතම බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යන්නට විය. එලෙස ගොස් වැඳ එකත්පස වූ ගෘහපති තෙමගෙන් බුදුරජාණන් වහන්සේ අසා සිටින්නට වූයේ “ගෘහපතිය ඔබේ ශරීරය වැහැරී, ඇස් ගිලී, කිසිඳු ප්‍රාණයක් නැති අන්දමින් සිටිනුයේ මන්ද කියාය”. ඒ සඳහා පෙරළා පිළිතුරු ලබාදුන් ගෘහපති තෙම බුදුරජාණන් වහන්සේ හට ප්‍රකාශකර සිටින්නට වූයේ තම ආදරණීය දරුවාගේ වියෝව තමා හට කිසිඳු අන්දමකින් දරාගැනීමට නොහැකි බැවින් මේ වනවිට තමන් හට කිසිඳු කාර්යයක නියැලීමට පවා රුචියක් නොමැති වී ඇති බවය.
තවද තමන් හට කිසිදු ආහාරයක් ගැනීමට පවා ප්රියතාවයන් නොපවතින බව කියා සිටි ගෘහපති තෙම බුදුරජාණන් වහන්සේ හට ප්‍රකාශකර සිටි න්නට වවුයේ මෙම වියෝව තම පපුව දෙකඩ කළා හා සමාන සිදුවීමක් බවයි. ඉතාමත් තෙන්පත්ව සියළු දේ මනාව අසා සිටි බුදුරජාණන් වහන්සේ අවසානයෙහිදී ගෘහපති තෙම අරඹයා දේශණා කර සිටින්නට වූයේ ” අප විසින් නිරන්තරයෙන් ප්‍රිය කරන්නා වූ සියළු දේ තුළින් සෑමවිටම අපහට දුක, ශෝකය පැමිණෙන බවය”. එය අසා කෝපයට පත් ගෘහපති තෙම ප්‍රිය දේ තුළින් කෙසේ දුක හටගන්නේද..? ප්‍රිය දේ තුළින් සෑමවිටම හටගනුයේ සතුට බව ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය බැහැර කරමින් හුනස්නෙන් නැඟ ිට දෙව්රම් වෙහෙරෙන් පිටව යන්නට විය. මෙලෙස පිටව ගිය ගෘහපති තෙම ගමන අතරවාරයේදී කඩ මන්ඩිය අසළ රැඳීසිටි තරුණයින් පිරිසක් අමතා කියා සිටිනන්නට වූයේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රිය දේ තුළින් දුක හටගන්නා බව දේශණා කළ බවත්, ප්‍රිය දේ තුළින් සෑමවිටම සතුට හටගන්නා බැවින් තමන් එය එක හෙළාම ප්රතික්ෂෙ ්ප කළ බවත්ය. එම ප්‍රකාශය තුළ පැවති යථාර්තය එම තරුණ පිරිසටද අවබෝධ කරගැනීමට නොහැකි වූ අතර අවසානයේ එය සමස්ථ සැවැත්නුවර පුරා පැතිරී යන්නට විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කොසොල් රජුගේ රාජ මාළිගාව දක්වාද මෙම පුවත පැතිර යන්නට විය. මෙම පුවත ඇසූ සැනකින් කොසොල් රජු විසින් මල්ලිකා දේවිය අරඹයා කියා සිටින්නට වූයේ බුදුරජාණන් වහන්සේ වැනි සියළුදෙනා ගරු බුහුමන් කරන්නා වූ අයෙකු යමක් පැවසි මේදී මීට වඩා කල්පනාකාරී ලෙස පැවසිය යුතු බවයි. එසේ පැවසීමෙන් අනතුරුව කොසොල් රජු විසින් මල්ලිකා දේවිය අසා සිටින්නට වූයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කළ එම ප්‍රකාශය පිලිගන්නෙහි ද යනුවෙනි . ඒ සඳහා පෙරළා පිළිතුරු ලබාදුන් මල්ලිකා දේවිය කොසොල් රජු හට පවසා සිටියේ උතුම් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කළ වූ දෙයක් වී නම් එය ඒකාන්තයෙන්ම සත්‍යයක්ම වනු ඇති බවයි. මල්ලිකා දෙ ්වියගේ පිළිතුරින් කෝපයට පත් කොසොල් රජු, බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන්නා වූ සෑම දෙයක්ම ඒ අයුරින්ම විශ්වාස කිරීම පිළිබඳව මල්ලිකා දේවියට දෝෂාරෝපණය කළ අතරම එම ස්ථානයෙන් පිටව යන ලෙසද සැළ කළ සිටියේය.
ඉතාමත්ම බුද්ධිමත් බුද්ධ ශ්‍රාවිකාවක් වූ මල්ලිකා දේවිය මෙම ගැටළුව නිරාකරණය කරගැනීම උදෙසා මාළිගාවෙහි සිටි නාලිජංඝ නම් බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේ හමුවට පිටතකර යවන්නට විය. එලෙස පිටත්ව ගිය නාලිජංඝ නම් බ්‍රාහ්මණ තෙම සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩසිටි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ බැහැදැක වැඳ එකත්පස්ව අසා සිටින්නට වුයේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රියදේ තුළින් දුක, ශෝකය ඇති වනු ඇතැයි යනුවෙන් ප්‍රකාශයක් සිදුකළෙහිද යනුවෙනි. එසේය, යනුවෙන් ඒ සඳහා පිළිතුරු ලබාදුන් බුදුරජාණන් වහන්සේ එම ප්‍රකාශය පිළිබඳව උදාහරණ ඇසුරින් නාලි ජංඝබ්රාහ්මණ තෙම හට කරුණු පහදා දෙන්නට විය. එනම් උන්වහන්සේ විසින් බ්රාහ්මණතෙමගෙන් අසා සිටින්නට වූයේ, ”බ්රාහ ්මණය ඔබට මතකද, සැවැත්නුවර අසවල් කාන්තාව සිය ආදරණීය මවගේ හදිසි වියෝව හේතුවෙන් සිහි විකල් වූ අන්දමින් ශෝක කළ අන්දම, එමෙන්ම ඔබට මතකද අසවල් පුරුෂයා තම බිරිඳගේ වියෝව හේතුවෙන් වීදි පුරා ශෝක කරමින් හඬා වැළපුණ ු ආකාරය”.
ඒ අයුරින් විවිධාකාර ප්‍රායෝගික උදාහරණ ඔස්සේ බුදුරජාණන් වහන්සේ විසින් නාලිජංඝ බ්‍රාහ්මණ තෙම හට මෙම ප්‍රිය දේ හේතුවෙන් හට ගන්නා දුක පිළිබඳව කරුණු පහදා දෙන්නට විය. බුදුරජාණන් වහන්සේගේ දේශණාව මනාව අවබෝධ වූ නාලිජංඝ බ්‍රාහ්මණ තෙම උන්වහන්සේට වැඳ නමස්කාර කොට නැවත මාළිගාව බලා පිටත් විය. එසේ මාළිගාව බලා පිටත්ව ගිය නාලිජංඝ බ්‍රාහ්මණ තෙම, මල්ලිකා දේවිය හමුව, බුදුරජාණන් වහන්සේ විසින් පහදා දුන් උතුම් සද්ධර්මය ඒ අයුරින්ම ප්‍රකාශකර සිටින්නට විය. එයින් උද ්ධාලම්භන ප්‍රීතියට පත් මල්කාලි දේවිය මෙය කොසොල් රජු හට පහදා දීම උදෙසා රජුගෙන් අසා සිටින්නට වුයේ රජතුමනි, ඔබ ඔබගේ දියණිව වන වජිරී කුමරියට කැමති ද යනුවෙනි . එයට පෙරළා පිළිතුරු ලබාදුන් කොසොල් රජු, එසේය දේවිය මා වජිරී කුමරියට බෙහෙවින් කැමතිය යනුවෙන් පිළිතුරු දෙන්නට විය. එත් සමඟම මල්ලිකා දේවිය කොසොල් රජු හට කියා සිටින්නට වූයේ, “එසේ නම් රජතුමණි වජිරී කුමරිය හදිසියේ හෝ මරණයට පත් වුවහොත් එය ඔබට දුකක් ගෙන දෙන්නක්ද යනුවෙනි”. ඒ සඳහා පිළිතුරු ලබාදුන් කොසොල් රජු මල්ලිකා දේවිය අරඹයා කියා සිටින්නට වූයේ, වජිරී කුමරිය නැති වුවහොත් “එය තමාහට දරාගැනීමට නොහැකිව සිහිසුන්විය හැකිබවය”. මේ අයුරින් තවදුරටත් මල්ලිකා දේවිය මෙන්ම වාසඹ කත ්ථියා දේවියද උදාහරණයට ගනිමින්, මල්ලිකා දේවිය මෙම ප්‍රිය දෑ තුළින් සත්වයා හට අත්වන්නා වූ දුක පිළිබඳව කොසොල් රජුට පහදා දෙන්නට විය.
මෙලෙස පියජාතික සූත්‍රය ඇසුරින්, මා ඔබහට පහදා දීමට උත්සාහ දරනු ලැබුවේ සමස්ථ ලෝක සත්වයා විසින් මෙම කැමැත්ත එසේත් නොමැතිනම් ප්‍රියතාවය හේතුවෙන් විඳින්නා වූ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳවය. එනම් මෙම මිහිතලය මත ජීවත්ව සිටින්නා වූ සෑම තතත්පරයක් පාසාම අප නිරන්තරයෙන්ම ස ිදුකරනුයේ අපගේ ආශාවන් සංසිඳුවීම උදෙසා ක්‍රමවේද සෙවීමය. ඔබ අප කෙසේ අයුරින් ප්‍රිය දෑ පසුපස හඹා ගියද සත්‍ය වශයෙන්ම අපහට උරුම වනු ලබන්නේ කර්මානුරූප ීව අපහට උරුම විය යුතු දෙය පමණි. එනමුත් මෙම සත්වයා තුළ හටගන්නා තණ්හාව නම් වූ පිළලය කෙතරම් ප්‍රබලද යත් , තමා සිතින් අපේක්ෂා කළ දෙය ලැබෙන තුරු සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසාම පීඩා විඳිමින් සිටින්නා වූ සිත එය භෞත ිකව නොලැබ ුණ කල්හි අභිසංඛාර කිරීම ඔස්සේ හෝ තමා අපේක්ෂා කළ දේ මවාගනිමින් පිනවීමට කටයුතු කරයි. තේරුම් ගැනීමට පවා අපහසු ගුප්ත විජ්ජාකරුවෙකු බඳු වූ මෙම සිත තාවකාල ික ආශ්වාදයක් මතින් ලෝක සත්වයා සදාකාලීක දුකකට ඇදදමනු ඇත.
මේ සඳහා හොඳම උදාහරණය සැපයූ අප මහා බෝසතාණන් වහන්සේ, “මනුෂ්‍යකු හට ඇති වටිනාම වස්තුවක් වන තම දරුවාද ස්පර්ශ කිරීමකින් තොරව ගිහි ගෙයින් නික්ම යන්නට වූයේ එලෙස ස්පර්ශ කිරීම තුළින් තමන් දරුවා හට ඇලෙන බවත්, එය තමන්ගේ ගමනට නිසැකවම බාධාවක් වන බවත්”, හොඳාකාර ලෙසම දැනසිටි බැවින්ය. කෙසේ නමුත් , ගිහියෙකු ලෙස දුකෙන් තොරව සතුටෙන් ජීවත්වීමට නම් අප සෑමවිටම ප්‍රිය දෑ හැකි උපරිමයෙන් බැහැර කිරීමට පුරුදු පුහුණු විය යුතුය. මන්දයත් , අපකෙසේ හෝ ප්‍රිය දෑ කෙරෙහි ඇලූණහොත් ඒ තුළින් නිසැකවම අපහට දුකක් ලැබෙනු ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් , අප යම් වර්ගයක වාහනයකට ප්‍රිය කළහො නිත් සැකවම අප එයට බැඳී එය ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එනමුත් එය ලබාගත් පසුව කිනම් හේතුවක් මූලික කරගනිමින් හෝ එයට යම් වෙනසක් , දෝෂයක් ඇති වුවහොත් එයින් අපහට ඉමහත් දුකක් ඇති වන්නේය . මෙයින් මනාව අවබෝධ වනුයේ අප ප්‍රිය කරන්නා වූ දෑ සෑමවිටම අපහට දුක ගෙනදෙන බවය. එමෙන්ම මෙහිදී ඔබ ඉතා බුද්ධිමත් ලෙස තෝරාබේරා ගත යුතු කරුණ නම්, අප අත්හල යුතු සියල්ල යනු අපගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් ඔබ්බට වූ භෞත ික දෑ බවය. කෙසේනමුත් , බෞද්ධයෙකු තුළ තිබිය යුතු සෑබෑ අධිෂ්ටානය නම්, බුදුන් වහන්සේ විසින් දේශණා කළ මෙම දුකෙන් කෙසේ හෝ මිදීමය. එබැවින් මෙම අප්‍රමාණ දුකට හේතුවන්නා වූ ප්‍රිය දෑ කෙරෙහ ි ඇලීමේ ගුණය හැකි උපරිමයෙන් දුරුකර ගැනීමට අප වගබලා ගත යුතුය. එමෙන්ම සියළු කෙළෙසුන් දුරුකර මෙම සසරින් මිදීමේ අරමුණ ඇති යම් අයෙකු වේනම්, ඔහු හට සියළු භෞතික දෑ තුළින් ඈත්ව පැවිදි බිමට ඇතුළත් වීමට සිදුවන අතරම එලෙස නිවන අරමුණු කරගනි මින් පැවදි බිමට පැමිණෙන්නා වූ භික්ෂුන් වහන්සේ නමකගේද ප්‍රධානතම කාර්ය භාර්යය විය යුත්තේ මෙම සියළු භෞත ික සැප සම්පත් තුළින් දුරස්ව බණ භාවනා වැනි පුහුණුවන් තුළින් ලොව්තුරා බ ුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් මෙම උතුම් නිර්වාණ මාර්ගය කරා ගමන් කිරීමය.
කෙසේ නමුත් ඉහතින් සඳහන් කළ වටිනා ධර්ම කරුණු ඔබගේ අවබෝධයට ඇතුළත් කරගන ඇතැයි විශ්වාස කරමින්, මින් ඔබ්බට වූ ගැබුරු ධර්ම කාරණා වෙත ඉදිරි ලිපි තුළින්ද පිවිසි මේ උපේක්ෂා සහගත අරමුණද අතැතිව මා අවසාන වශයෙන් ඔබ හට ප්‍රකාශකර සිටිනුයේ ඔබ තුළ හටගන්නා නිරන්තර දුකට හේතුසාධක වන්නා වූ මෙම ප්රියමඳුරභාවය පිළිබඳව තම ජීවිතය තුළින්ම, එනම් නීතිපතා අත්විදින්නා වූ ජීවිත අත්දැකීම් තුළින්ම දැක, මෙම පරම සත්‍යාවබෝධය කරා යොමුවන ලෙසය.
(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
ආචාර්ය තිස්ස ජිනසේන
2023.05.07