
කාලාන්තරයක් පුරා ශිෂ්ටාචාර ගතව පැවති මෙම වර්තමාන ලෝකයෙහි බටහිර කලාපීය රාජ්‍යයන් පිළිබඳව සවිස්තරාත්මක කරුණු කාරණා රාශියක් ඔබ වෙත ගෙන ඒමට අප මීට පෙර කාලසීමාවන්හීදී කටයුතු කරනු ලැබුවේ ඒ තුළ ඔබ නොදත් බොහෝ කරුණු කාරණා පැවති හෙයිනි. කෙසේ නමුත් ඊට සාපේක්ෂව වර්තමාන ලෝකය තුළ ශීඝ්‍ර ලෙස හිස ඔසවමින් සිටින්නා වූ නැෙඟනහිර අර්ධ ගෝලයට අයත් විශිෂ්ට රාජ්‍යයක් වන චීනය පිළිබඳව මෙම ලිපිය තුළින් ඔබගේ අවබෝධය කුළු ගැන්වීමට මා අරමුණු කරගනු ලැබුවේ දීර්ඝ කාල පරිචචේදයක් සිට අද වන තෙක් ඔවුන් පැමිණි ගමන් මෙඟහි අප හට උගැනීමට ඇති කරුණු කාරණා බොහෝ සේ පවතින හෙයිනි. වත්මන් චීනය අදවන විට ලබා ඇති මෙම විශිෂ්ට වූ ආර්ථිකමය හා සමාජීයමය සංවර්ධනය පසුපස පවතින්නා වූ ඉතිහාසය සත්‍ය වශයෙන්ම අතිශය දීර්ඝය. එනම් වසර දස දහස් ගණනාවක් එපිටට දිව යන්නා වූ චීන ශිෂ්ටාචාරයේ පූර්ණ කතා මාලාව මා ඔබ වෙත ගෙන එ්මට අදහස් නොකරනුයේ එය සැබවින්ම ප්‍රායෝගික නොවන නිසාවෙන් ය. එනමුත් චීන ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව සංශිප්ත සටහනක්ද සමඟින් වර්තමාන චීනයේ පුනර්ජීවනයට හේතු වූ ලිඛිත ඉතිහාසය පිළිබඳව මෙහිදී කරුණු දැක්වීමට මා අදිටන් කරගනු ලැබුවේ එය මෙම ලිපි පෙළෙහි නිරවද්‍යතාවය පිළිබඳව ඇති විශ්වාසනීයත්වයටද ශක්තියක් වන හෙයිනි.
ලෝකයේ බිහි වූ සෑම ශිෂ්ටාචාරයකම පාහේ ආරම්භය සිදුවී ඇත්තේ කිනම් හෝ ගංඟාවක් හෝ එවැනි වූ ජල මූලාශ්‍රයක් ප්‍රධාන කරගනිමින් ය. එලෙස ලෝකයේ නැගෙනහිර අර්ධ ගෝලයට අයත් හොවැංහෝ එසේත් නොමැතිනම් කහ ගඟ මූලික කරගනිමින් චීන ශිෂ්ටාචාරයේද ආරම්භය සිදුවුණි. එනම් වාර්ෂිකව සිදුවන මෙම කහ ගෙඟහි පිටාර ගැලීම හේතුවෙන් ඒ දෙපස භූමිය සරුසාර වූ අතර එවකට එම භූමි තුළ ජීවත් වූ මනුෂ්‍ය කොට්ඨාස එම ගංඟා නිම්න දෙපස කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය මෙන්ම ධීවර කර්මාන්තය වැනි කටයුතු මනා ලෙස සිදුකරමින් තම වාසස්ථාන ගොඩනඟා ගන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ.1800 පමණ කාලය වනවිට හොවැංහෝ නදිය අසබඩ ගම්මාන නිර්මාණය වන්නට විය. පිළිගත හැකි ඉතිහාස මූලාශ්රයන්ට අනුකූලව ක්‍රි.පූ.1583 වර්ෂයේ සිට ක්‍රි.පූ.1027 දක්වා කාලපරිච්චේදයක් තුළ එම භූමියෙහි පාලන කටයුතු සිදුකළ ෂැංග් වරුන් චීන ශිෂ්ටාචාරයෙහි ප්‍රථම පාලකයින් ලෙස පිළිගනු ලබයි. කෙසේ නමුත් අන්’යංග් නගරය අගනුවර කරගනිමින් තම පාලන කටයුතු සිදුකළ ෂැංග් වරුන්ගේ මූලිකත්වයෙන් එවකට ලෝකඩ කර්මාන්තයද බිහිවූ බව ඉතිහාස පොතපත තුළ සඳහන් වේ. ඉන් අනතුරුව පැමිණි කාලසීමාවේදී එනම් ක්‍රි.පූ.1027 දී පමණ චීනයේ බටහිර කලාපය තුළ ජීවත් වූ චෞ වංශිකයින් විසින් අන්’යංග් අගනුවර ආක්‍රමණය කළ අතර එවකට පාලන කටයුතු සිදුකළ ෂැංග් වරුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය තුළින් බැටකෑ අන්’යංග් වැසියන්ද එහිදී චෞ වංශිකයන්ට උපකාර කළ බව සඳහන් වේ. එතුළින් පාලනය අත්පත් කරගත් චෞ වංශිකයින් සියවස් 08කට ආසන්න කාලයක් එම භූමිය තම පාලනයේ පවත්වා ගත් අතර එම කාලසීමාව චීන අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙසද බොහෝ දෙනා මත ඵල කර සිටියි. එනම් චෞ වංශයෙහි ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස නම් දැරූ වූ-වෑංග් රජු එවකට චීනයේ දකුණු දේශසීමාවේ යැංසි මිටියාවත දක්වා විහිදුනු විශාල අධිරාජ්‍යයක් ගොඩනැඟූ අතර එතුළින් රාජ්‍යයෙහි කෘෂිකර්මාන්තය, කර්මාන්ත, වාණිජ කටයුතු මෙන්ම අධ්‍යාපනය හා දර්ශණය වැනි දෑද විශාල වශයෙන් ප්‍රවර්ධනය කළ බව සඳහන් වේ. එපමණක් නොව අදටත් ලෝකයේ බොහෝදෙනා පිළිගන්නා දාර්ශණිකයින් වූ ලා ඕට් සේ, කොන්ෆියුසියස් මෙන්ම මෙන්සියස් වැනි දාර්ශණිකයින්ගේද බිහිවීම මෙම කාල පරිච්ෙඡ්දය තුළ සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන් අනතුරුව එළෙඹි කාලසීමාව තුළ එනම් ක්‍රි.පූ.258 ත් 206 ත් අතර වූ කාල පරිච්ෙඡ්දය, ෂින් රාජවංශය විසින් චීන අධිරාජ්‍යයේ පාලන කටයුතු සිදුකළ අතරම එවකට ෂින් රාජවංශයෙහි රජකම් කළ බලවත් පාලකයෙකු ෂී හුවෑන් තී නම් පාලකයා විසින් චීනයේ ප්‍රදේශ 36ක් එක් කොට අති විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කරන්නට විය. කෙසේ නමුත් එම කාලය තුළ චීනයේ වයඹ දිග දේශසීමාවේ ජීවත් වූ මිලේච්ඡුයින්ගේ නිරන්තර ප්රහාරයන්ගෙන් ආරක්ෂා වීම උදෙසා ප්‍රාකාර නිර්මාණය ආරම්භ විය. දැනට පවතින ලෝක ප්‍රසිද්ධ චීන මහා ප්‍රාකාරයද
සත්‍ය වශයෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ෂින් රාජ්‍ය සමය තුළ නිර්මාණය වූවක් බව ඉතිහාසයට අනුව සැබෑවකි. එයින් නිමා නොකොට හාන් රාජවංශය පිළිබඳවද ඉතාමත් සාරාංශගත ලෙස හෝ කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරගනු ලැබුවේ චීන ශිෂ්ටාචාරයෙහි සංවර්ධනය උදෙසා එම රාජ වංශයද මහඟු සේවාවක් ඉටුකළ හෙයිනි. එනම් ක්‍රි.පූ. 206 න් පසු පැවති හාන් පාලන සමය තුළ සේද මාවත ඔස්සේ චීනයට බුදු දහම පැමිණෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතා සුවිශිෂ්ට වූ සාරධර්ම, ගුණධර්මවලින් හෙඹි මනුෂ්‍ය ප්‍රජාවක් චීන සමාජය තුළ නිර්මාණය විය. තවද ලෝකයේ කිසිඳු පාලන තන්ත්රයක් තුළ නොදුටු ඉතාමත්ම වෙනස් ආකාරයේ ක්‍රමවේදයක්ද මෙම චීන ඉතිහාසය පිරික්සීමේදී අපහට දැකගැනීමට හැකිවිය. එනම් තහනම් නගරයයි (Forbidden City& ). එය 1406 වර්ෂයේ මින්ග් රාජවංශයට අයත් යොංගල් අධිරාජ්‍යයා විසින් නිර්මාණය කළ අතර එවකට චීනයේ ප්‍රධානම පාලන මූලස්ථානය ලෙස හඳුන්වා තිබිණි. කෙසේනමුත් එ් තුළ පැවති විශේෂත්වය නම් එහි සමස්ථ සේවක ප්‍රජාව නපුංසක පිරිසක් වීමය. එහිදී එවැනි පිරිසක් එම පාලන කටයුතු සඳහා යෙදවීමට එවකට අධිරාජ්‍යයා කටයුතු කරනු ලැබ ඇත්තේ එම පිරිස් අනෙකුත් වැසියන්ට සාපේක්ෂව වගකීම් අඩු පිරිසක් වීම හේතුවෙන් තනි අරමුණක් උදෙසා ඉලක්කගත කිරීම පහසු හෙයිනි. කෙසේවෙතත් මෙවැනි විවිධාකාරයේ ක්රමෝපායන් තුළින් චීනය ඉතා දීර්ඝ ගමනක් අදවන විට පැමිණ ඇති බව ඉතාමත් පැහැදිලි කරුණකි. එමෙන්ම මේ අයුරින් පැවති චීන ශිෂ්ටාචාරය තුළින් කටු චිකිත්සාව, කඩදාසි නිර්මාණය, චන්ද්‍ර මාසික දින දර්ශණය, මාලිමාව, සූර්ය හෝරා යන්ත්‍රය මෙන්ම වෙඩි බෙහෙත් වැනි අතිමහත් නව නිර්මාණ හා අදහස් රාශියක් ලෝකයට දායාද වුණි.
කෙසේනමුත් මෙලෙස සුවිසල් සංවර්ධනයන් මෙන්ම විවිධ කාල පරිච්චේදයන් තුළ සිදුවූ කඩාවැටීම් මධ්‍යයේද චීන අධිරාජ්‍යය ක්‍රමානුකූලව ඉදිරියට පැමිණෙන්නට විය. එමෙන්ම මෙම සංවර්ධිත ගමන් මඟ තුළ සිදුවූ බි්රතාන්යයන්ගේ ආගමනය සත්‍ය වශයෙන්ම එවකට චීන ජන සමාජයට විශාල අඳුරක් රැගෙන එන්නට විය. එනම් 1839 වර්ෂයේදී බි්රතාන්ය විසින් චීනය ආක්‍රමණය කිරීමට උත්සාහ කරනු ලැබුවේ එවකට චීනය තුළ පැවති ආර්ථික හා සංවර්ධනමය කටයුතු සඳහා අතපෙවීම මුදුන්පත් කරගනිමිනි. කෙසේනමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට චීනයේ ගිණිකොණදිග වෙරළ සීමාවට ඔබ්බෙන් පැවති ජනාකීර්ණ ¥පතක් වූ හොන්කොන් නගරය බි්රතාන්ය පාලනයට නතුවිය. එහිදී එම ප්‍රදේශය මූලික කරගත් බි්රතාන්යයන් චීන සමාජයට කොකේන්, අබිං මෙන්ම කංසා වැනි මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කරන්නට විය. ඕපියම් යුද්ධය ලෙස හැඳින්වූ මෙය සත්‍ය වශයෙන්ම 1839 වර්ෂයේ සිට 1842 වර්ෂය දක්වා වූ කාලසීමාව දක්වා පැවති අතර එහිදී ඉතා කඩිසර ක්රියාකලාපයකට උපන් හපන්කම් පෑ චීන ජාතිකයින් බහුතරක් මෙම මත්ද්‍රව්‍ය භාවිතය පුරුදු විය. මෙය එවකට චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට දැඩි ලෙස බලපෑම් එක්කරන්නට විය. එනමුත් ඉන් අනතුරුව පැමිණි කාලසීමාව තුළ චීනය ඉතාමත් දැඩි විනය ප්රතිපත්තීන් මත සිට කටයුතු කළ අතර එය මතට ඇබ්බැහි වූ සමාජය නැවති ප්‍රතිසංවිධානය කිරීමට මහත් අස්වැසිල්ලක් විය. එමෙන්ම ඉන් අනතුරුව පැමිණි කාලසීමාවෙහිදී එනම් 1900 වර්ෂයේදී පමණ අෂ්ට ජාතීන්ගේ සංධානය නමින් වූ ජපානය, ජර්මනිය, බි්රතාන්යය, රුසියාව, ඉතාලිය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම හංගේරියාව හා ඔස්ටි්රයාව ඇතුළු රාජ්‍යයන්ගේ හමුදා උතුරු චීනය ආක්‍රමණය කරමින් එවකට චීනයට පැවති විදේශීය සබඳතා අඩපණ කළ බව ඉතිහාසය තුළ සඳහන් වේ.
කෙසේනමුත් මෙලෙස පසුකර ආ ගමන්මඟ කෙසේ වුවද, 20 වන සියවස සත්‍ය වශයෙන්ම චීනයට ඉතාමත්ම තීර්ණාත්මක අවධියක් විය. එනම් එවකට චීනයේ පැවති ජාතිකවාදී කු ඕමින්ටැන්ග් බලවේග පරාජයට පත්කිරීමට සමත් වූ කොමියුනිස්ට් නායක මා ඕ සේතුං 1949 වර්ෂයේ ඔක්තොම්බර් 01 වන දින මහජන චීන සමූහාණ්ඩුවෙහි බලයට අයිතිවාසිකම් කී අතර පසුකාලීනව එනම් 1954 වර්ෂයේදී ඔහු මහජන චීන සමූහාණ්ඩුවෙහි සභාපතිවරයා ලෙස තේරී පත්විය. එහිදී ඔහු සෑමවිටම බලය ප්‍රධාන කරගනිමින් ඔහුගේ පාලන කටයුතු සිදුකළ අතරම රටෙහි ආර්ථිකය හා සමාජ සුභසාධනය පිළිබඳව සිදුකළ කටයුතු තුළදී අසමත්භාවයට පත්විය. ඒ මන්ද යත්, මා ඕ සේතුං පාලනයට පැමිණීමත් සමඟ ඔහු සමස්ථ චීනයෙහිම සමෘද්ධිමත්භාවය අරමුණු කරගනිමින් 1957 වර්ෂයේ දෙසැම්බර් මාසයෙහිදී ”ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම” නමින් විශාල වැඩපිළිවෙළක් චීනය පුරා ක්‍රියාවට නැංවීය. ”වසර තුනක බර වැඩ සහ දුක තුලින් වසර දහසක් පැතිරෙන සමෘද්ධියක් ගෙන ඒම යන පාඨය තුළින් ආරම්භ කළ මෙම වැඩසටහන තුළින් සියළු පෞද්ගලික ඉඩම් පවා ජනසතු කළ අතරම සියළුම කටයුතුද සාමූහික කරන්නට විය. එම සාමූහිකත්වය කෙතරම්ද යත් නිවාස මට්ටමින් සිදුකළ ආහාර පිසීම පවා සාමූහික කළ මා ඕ සේතුං එම සාමූහිකභාවයෙන් බැහැරවීම මහජනයා හට තහනම් කරන්නට විය. කෙසේ නමුත් මෙලෙස ආරම්භය ගත් මෙම වැඩපිළිවෙළෙහිදී ප්‍රථම මාස කිහිපය තුළදී මිනිසුන් දිවා ? නොබලා මහත් පරිශ්‍රමයකින් යුතුව කටයුතු කළ අතරම එය අධීක්ෂණය උදෙසා යොදා තිබූ ප්‍රාදේශීය නායකයින්, වැඩසටහනෙහි ප්‍රගතිය අනිසි ලෙස උලූප්පමින් ඉහළට දැනුම් දෙන්නට විය. එනමුත් එහි සැබෑ ප්‍රතිඵලය වූයේ වසර 15කින් බි්රතාන්යය නිෂ්පාදනයන් අභිඹවා යෑමට සැළසුම් කළ මා ඕ සේතුංගේ සැළසුම, වසර 2කින් පූර්ණ කරගැනීමේ අභිලාෂයක් දක්වා වෙනස් වීමය. එනම් වසර 15ක් තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වූ සාර්ථකත්වය වසර 2ක් තුළින් ලැබෙනු ඇතැයි විශ්වාස කළ මා ඕ සේතුං සියළු මහජනයා කෘෂිකර්මාන්තයෙන් කර්මාන්ත වෙත මාරු කරන්නට විය. එවකට මා ඕ සේතුංගේ භාර්යාව වූ ජියැංග් කුයින්ග් ගේද අනිසි බලපෑම මත ප්‍රාදේශීය පාලකයින් විසින් සිදුකළ මෙම නොමනා තොරතුරු වාර්තාකරණයත්, එවකට චීන විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතනයන්හි උපදේශකවරුන් පවා කෘෂිකර්මාන්තය උදෙසා යොමුකිරීමත් ආදී වූ විවිධ කරුණු හේතු කොටගෙන චීනය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වූ අතරම පසුකාලීනව එය චීන ඉතිහාසය තුළ සිදුවූ දරුණුම සාගතය ලෙස වර්ධනය වෙමින් මා ඕ සේතුංගේ සියළු බලාපොරොත්තූන් සුන්කරන්නට විය.
එම සමස්ථ සිදුවීම කෙතරම් ඛේතජනක වූවද, අද වනවිට චීනය සතු කරගෙන පවතින්නා වූ සාර්ථකත්වයේ සැබෑ ආරම්භය සනිටුහන් වූයේ මා ඉහත සඳහන් කළ බිහිසුණු සාගතයෙන් අනතුරුවය. එනම් මා ඕ සේතුංගෙන් අනතුරුව චීනයේ පාලනය සතු කරගත් ඩෙන් ෂෝපිං 1981 වර්ෂයේදී චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙස තේරී පත්විය. තමා හට ලැබුණු පාලන බලයත්, යුධමය බලයත් ඉතා ඵලදායී ලෙස භාවිතයට ගත් ඩෙන් ෂෝපිං සාගතයෙන් පීඩාවිඳි මිනිසුන් වෙත කෘෂිකර්මාන්තය, වෙළඳාම වැනි විවිධ ක්ෂේත්රයන් සඳහා අවස්ථාව සලසා දුණි. එය ඉතා වටිනා අවස්ථාවක් කරගත් චීන ජනයා තමන් වැටී සිටි විපතෙන් මිඳීම උදෙසා මහත් පරිශ්‍රමයක් යොදමින් ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට විය. මෙය සත්‍ය වශයෙන්ම වර්තමාන සංවර්ධිත චීනයෙහි මූලිකම අඩිතාලම විය. තමා හට බලය ලැබුණු මුල්ම කාලසීමාව තුළ, එනම් ආසන්න වශයෙන් 1970 වර්ෂය පමණ වනවිට, එවකට පැවති කොමියුනිස්ට් මූලධර්ම අතහැර නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරමින් චීනයේ ප්‍රධානතම වාණිජමය මූලස්ථානය ලෙස ෂෙන්සෙන් තෝරාගත් ඩෙන් ෂෝපිං එම ප්‍රදේශය මූලික කරගනිමින් දේශීය කර්මාන්ත, සංචාරක කර්මාන්ත මෙන්ම වෙතත් නොයෙකුත් ක්ෂේත්‍ර ඔස්සේද විවිධ ප්‍රවර්ධනමය කටයුතු තුළ නියැළෙන්නට විය. තවද මහජනයා වෙනුවෙන් ආර්ථිකය විවෘත කළ ඩෙන් ෂෝපිං ඒ තුළින් විශේෂයෙන්ම ආසියාතික රාජ්‍යයන් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් ලෙස ගොඩනඟා ගත් අතරම ඔහු එලෙස ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ප්රතිපත්තීන් හේතුවෙන් 1980 වර්ෂය පමණ වනවිට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ද ෂෙන්සෙන් තුළ බොහෝ ආයෝජන පිහිටුවන්නට විය. මෙහිදී ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ අනුගාමිකයින් වෙත ප්‍රකාශ කර සිටින්නට වූයේ සුදු බළලූන්ද, කළු බළලූන්ද යන්නෙහි කිසිඳු ගැටළුවක් නැති බවත්, මීයන් ඇල්ලීමට දක්ෂ නම් ඔවුන් නිසැකවම හොඳ බළලූන් බවත් ය. මෙම ප්රතිපත්තීන් මතින් ලද ශීඝ්‍ර දියුණුව කෙතරම්ද යත්, 1979 වර්ෂය වනවිට 30,000ක් වැනි කුඩා ජනකායක් ජීවත් වූ ෂෙන්සෙන් නගරය ඉතා කෙටි කාලයක් තුළදී චීනයෙහි සුප්‍රසිද්ධම සහ දියුණුම නගරයක් බවට පත්විය. එපමණක් නොව 1978 වර්ෂය වනවිට ඒක පුදගල ආදායම ඇමරිකානු ඩොලර් 40ක් පමණ අගයක පැවති චීනය අද වනවිට ඇමරිකානු ඩොලර් 10,000ක පමණ ඒක පුද්ගල ආදායමක් දක්වා වර්ධනය වී ඇත. එනමුත් මෙවැනි සංවර්ධනයන් මධ්‍යයේද එවකට චීන රජයට විවිධ ගැටළුකාරී තත්වයන් හට මුහුණදීමට සිදුවිය. එනම් ප්රජාතන්ත්රවාදය කියාගත් ඇතැම් පිරිස් මෙම සංවර්ධන මූලධර්මයන් හට විරුද්ධව පෙළගැසෙන්නට වූ අතර එහිදී ඩෙන් ෂෝපිං ඇතුළු චීන රජය එම විරෝධතා එක හෙළාම මැඩලීමට කටයුතු කරන්නට විය. එලෙස කටයුතු කළ ඩෙන් ෂෝපිං 1992 වර්ෂයේ තම පාලන කටයුතු තුළින් විශ්‍රාම ගන්නා විට ඉතිහාසයේ කිසිඳු පාලකයෙකු නොකළ අන්දමේ සේවාවක් චීනය උදෙසා සිදුකර තිබුණි. එම කෙතරම්ද යත්, අධික දරිද්‍රතාවයෙන් පෙළී සිටි මිලියන 600ක පමණ ජනකායක් එයින් මුදවා ගත් ඔහුට ෂෙන්සෙන්හි දළ දේශීය නිෂ්පාදනය හොංකොං පවා අභිඹවමින් ඉදිරියට ගෙන යාමට හැකිවිය. එමෙන්ම ඉන් අනතුරුව ගොන්ග්ෂෝහ් මෙන්ම ෂැන්හයි වැනි නගරද ක්රමානුකූල ලෙස සංවර්ධනයේ මාවතට අවතීර්ණ කළ චීන රජය, ඒ තුළින් සමස්ථ චීන ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් කරන්නට විය. වාර්තාගත දත්තයන්ට අනුකූලව පසුගිය වසර 40ක කාලසීමාව තුළ චීනයේ ආර්ථිකය 9.5% ක පමණ සාමාන්‍ය වේගයක් දක්වා ප්‍රසාරණය කරගැනීමට ඔවුනට හැකිවී තිබීමද මෙහිදී මා ප්‍රකාශ කළ යුතු විශේෂ කරුණකි.
කෙසේනමුත් ඩෙන් ෂෝපිංගේ ධූර කාලයෙන් අනතුරුව චීනයෙහි පාලනය සඳහා ජියැන්ග් සෙමින් පත් වූ අතර ඔහු විසින් එවකට චීන අග්‍රාමාත්‍ය සාර් ෂූ රොංජි සමඟ චීනයෙහි සංවර්ධනමය කටයුතු ඉදිරියට ගෙන යන ලදි. මෙලෙස යන ගමන් මඟ තුළ, එනම් 2001 වර්ෂයේ දෙසැම්බර් මාසයෙහිදී චීනයට නිළ වශයෙන් ලෝක වෙළඳ සංවිධානයෙහි (World Trade Organization) සාමාජිකත්වය ලබා ගැනීමට හැකිවිය. මෙය චීනයට ලෝක ඉතිහාසයේ කිසිඳු රාජ්‍යයක් බලාපොරොත්තු නොවූ දැවැන්ත පිම්මක් විය. මෙලෙස WTO හි සාමාජිකත්වය ලබාගැනීමත් සමඟ එවකට චීනයේ පැවති අවම ශ්‍රමික පිරිවැයද හේතුකොටගෙන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝමයක් බටහිර යුරෝපීය සංවර්ධිත රාජ්‍යයන් චීනය වෙත තම කර්මාන්ත ගෙන එන්නට විය. තවද එම සිදුවීම සත්‍ය වශයෙන්ම අනාගත චීනයෙහි නොනවතින සංවර්ධනය සඳහා නිළ මුද්‍රා තැබීමක් හා සමාන විය.
කෙසේනමුත් මින් අනතුරුව පැමිණි කාලසීමාවෙහිදී, එනම් 2012 වර්ෂයෙහි නොවැම්බර් මාසයෙහිදී කොමියුනිස්ට්වාදී විප්ලවකරුවෙකුගේ පුතෙකු වූ 59 හැවිරිදි ෂී ජින් පින්ග් මහතා චීනයෙහි පාලකයා බවට තේරී පත්විය. ඔහු සිය පාලනයේ ආරම්භය ලබාගනු ලැබුවේ සමස්ථ චීනයෙහි පැවති දුෂණය හා වංචා තුරන් කිරීම තුළිනි. එනම් චීන රාජ්‍යය දිනෙන් දින ලද සාර්ථකත්වය හා සමගාමීව රාජ්‍යයෙහි අභ්‍යන්තරය තුළ විවිධාකාර වූ දුෂණය හා වංචා වර්ධනය වන්නට පටන් ගැනිණ. මෙය සමස්ථ චීනයෙහිම සංවර්ධනය සඳහා මහත් බාදාවක් බව අවබෝධ කරගත් ෂී ජින් පින්ග් මහතා ඔහුගේ ධූරය ආරම්භයෙහිදීම දීප ව්‍යාප්ත දුෂණය මර්ධන මෙහෙයුමක් දියත් කරන්නට විය. එම දුෂණය මර්ධන ව්‍යාපාරය කෙතරම් සාර්ථකද යත්, ඔහුගේ ධූර කාලයට නතු වූ ප්‍රථම වසර 05 තුළ පමණක් කොටි හා මැස්සන් නමින් චීන සමාජය තුළ හැඳින්වූ ඉහළ හා පහළ වංචනික නිළධාරීන් 200,000 කට අධික පිරිසකට නීතිමය ක්‍රියාමාර්ග ගැනිණි. ප්‍රතිවාදීන් කෙලෙස විවේචනය කළද, ෂී ජින් පින්ග් මහතාගේ මෙම ක්‍රියා කලාපය සමස්ථ චීන ජනයාගෙහිම පැසසුමට භාජනය විය.
මෙයින් තම රටෙහි සංවර්ධන කටයුතු ආරම්භ කළ චීන ජනපති ෂී ජින්ග් පින්ග් මහතා 2013 වර්ෂයේදී චීනය උදෙසා අති විශාල සංවර්ධනමය හා ආයෝජනමය වැඩපිළිවෙළක් ගෙන එන්නට විය. එය නමින් Belt and Road Initiative වූ අතර නව සේද මාවත ලෙසද හඳුන්වන්නට විය. එහිදී චීනය ඔස්සේ පැරණි සේද මාවතද තවදුරටත් පුළුල් කරමින් අප්‍රිකාව, ඕෂනියා මෙන්ම ලතින් ඇමරිකාව දක්වා වූ රාජ්‍යයන් 152 ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ඔවුන් සමඟ වෙළඳ හා රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමත් මුදුන්පත් කරගනිමින් අද වනවිට එය ඉතාමත් සාර්ථක අන්දමින් ව්‍යාප්තව පවතී. මෙලෙස ශීඝ්‍ර ලෙස සංවර්ධනය කරා පැමිණි චීනයට 2018 වර්ෂයේ ජූලි මාසයේදී පමණ ඇමරිකා එක්සත් ජනපදයෙහි එවකට ජනාධිපතිධූරය ඉසිලූ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනකින් නව ආයතනික බදු මුදලක් පනවන්නට විය. මෙය සත්‍ය වශයෙන්ම දෙරට අතර වෙළඳ යුද්ධයක ඇරඹුම සනිටුහන් කළ බරපතල සිදුවීමක් විය. එනමුත් එ් වනවිට චීනය සතුකරගෙන තිබූ ශක්තිමත් ගෝලීය වෙළඳ සබඳතා හේතුවෙන් එය චීනයට විශාල ගැටළුවක් නොවීය.
කෙසේනමුත් මෙම කරුණු කාරණා හා සමගාමීව ඔබගේ දැනුමට එක් කරගත යුතු තවත් එක් වැදගත් සිදුවීමක් පවතී. එනම් ඇමරිකා එක්සත් ජනපදයද මැදිහත් වීමට මාන බලමින් සිටින්නා වූ චීන- තායිවාන විරසකයයි. මෙම විරසකයෙහි සැබෑ ආරම්භය පිළිබඳවද යම් සාරාංශගත අදහසක් හෝ ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා අදිටන් කරගනු ලැබුවේ මෙම වත්මන් අර්බුදය අවබෝධ කරගැනීමට එය විශාල රුකුළක් වනු ඇතැයි මා විශ්වාස කළ හෙයිනි. කෙසේනමුත් තායිවානය යනු සත්‍ය වශයෙන්ම ඈත ඉතිහාසය තුළ චීනයෙහිම කොටසක්ව පැවති භූමියක් විය. එනමුත් 1940 වර්ෂයට ආසන්නව පැවති කාලරාමුව තුළ චීනය තුළ දැඩිව හටගත් විප්ලව හා බල අරගල තුළින් මා ඕ සේතුං ජයග්‍රහණය ලැබූ පසු ඔහුගේ මතවාදයන්ට පරස්පර මතවාදයන් හා ක්රමෝපායන් දැරූ පුද්ගලයින් ඝාතනය කිරීමට හා පිටුවහල් කිරීමට මා ඕ සේතුං පෙළඹුණි. මෙහිදී චැං හයි ෂෙක් යනු එවැනිම ප්රමුඛ පෙළෙහි සිටි මා ඕ මතවාදයන්ට විරුද්ධ වූ පුද්ගලයෙක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස එම කාලසීමාවෙහිදී මා ඕ සේතුං විසින් චැං හයි ෂෙක් මහතාව එවකට තායිවාන භූමිය වෙත පිටුවහල් කළ අතර එහිදී එනම් 1948 වර්ෂයෙහි මැයි 20 වන දින තායිවාන ජනාධිපතිවරයා ලෙස චැං හයි ෂෙක් තේරී පත්විය. එහිදී ඔහු, ඔහුගේ මූලිකත්වය හා පාලනය මත චීනයෙන් පරිබාහිර වූ ස්වාධීන රාජ්‍යයක් ලෙස තායිවානය ශීඝ්‍රයෙන් ගොඩනඟන්නට විය. එලෙස ස්වාධීන සංවර්ධනයක් කරා ආරම්භය ලබාගත් තායිවානය දිනෙන් දින ඔවුනගේ ආර්ථිකමය හා සමාජීයමය සංවර්ධනය සඳහා ඇපකැපව කටයුතු කරන්නට විය. එහිදී තාක්ෂණය උදෙසා විශිෂ්ට හපන්කම් දැක්වූ තායිවාන් ජාතිකයින් ක්ෂුද්‍ර පරිපථ තුළින් ලෝකය දිනන්නට විය. එම සාර්ථකත්වය කෙතරම්ද යත්, අද වනවිට ලෝකයේ පවතින ක්ෂුද්‍ර පරිපථ ප්‍රමාණයෙන් 70% ක පමණ ප්‍රමාණයක නිමැයුම් කරුවන් නිසැකවම ඔවුන් ය.
කෙසේ නමුත් වර්තමාන චීන පරිපාලනය විසින් ප්‍රකාශකර සිටින්නේ තායිවානය සැබවින්ම ඔවුනට අයත් භූමියක් බවය. 2019 වර්ෂයේදී මෙම ගැටළුව එක්වරම දරුණු අන්දමින් පැන නැඟුණු අතර එහිදී තායිවානයෙහි උපකාරය සඳහා පැමිණි ඇමරිකානු නාවුක යාත්‍රා එම සීමාවන්ගෙන් ඉවත් කිරීමට චීනය ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නා ලදි. එනමුත් මේ වනවිට චීනය ප්‍රකාශ කර සිටිනුයේ ඔවුනගේ 100 වෙනි ජාතික සංවත්සරය වනවිට ඉතිහාසය තුළ ඔවුනගේ පාලනයේ පැවති තායිවාන භූමිය නැවත ඔවුන් යටතට ගන්නා බවය. ලෝකයේ සිටින්නා වූ බොහෝමයක් විශිෂ්ට වූ මතදාරීන් ප්‍රකාශකර සිටිනුයේ 2029 වර්ෂය පමණ වනවිට මෙය විශාල යුධමය අර්බුධයක් දක්වා වර්ධනය වන බවත්, එහිදී දෙපාර්ශවය සඳහා උපකාර කිරීමට පැමිණෙන්නා වූ මිත්‍ර පාර්ශව හේතුවෙන් මෙය ගෝලීය බල අරගලයක් දක්වා ප්‍රසාරණය වන බවත් ය.
මෙම කරුණු කාරණා කෙසේ වුවද, 2022 වර්ෂයේදී පමණ සිට බොහෝමයක් බටහිර ජාතීය විශ්ලේෂකයින් ප්‍රකාශකර සිටින්නට වූයේ චීනය තුළ පැවති එක් දරු නීතිය හේතුවෙන් ඉදිරි අනාගතය තුළ චීනයෙහි තරුණ ශ්‍රමිකයින්ගේ හිගතාවයක් උත්ගත වන බවත්, ඒ හේතුවෙන් චීන ආර්ථිකය නුදුරු අනාගතය තුළ බිඳවැටෙන බවත් ය. එනමුත් චීන ජනපති ෂී ජින්ග් පින්ග් මහතා චීන සංවර්ධනය උදෙසා ඉලක්ක ගතකර තිබූ රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර වල වර්තමාන සංවර්ධිත ප්‍රගතිය හේතුවෙන් මේ වනවිට බටහිර ජාතීය විශ්ලේෂකයින්ගේ මත ක්‍රමයෙන් ව්‍යාර්ථ වෙමින් පවතී. එමෙන්ම ෂී ජින්ග් පින්ග් මහතා විසින් ප්‍රකාශයට පත් කළ චීන සිහිනය නම් වූ දැක්මෙහි අඩංගු වූ ආර්ථිකමය සමෘද්ධිමත්භාවයත්, යුධමය ශක්තිමත්භාවයත් අද වනවිට චීනය විසින් සාක්ෂාත් කොට ඇති හෙයින් කිසිඳු බලවතෙකුට අභියෝග කළ නොහැකි බලයක් වර්තමානය වනවිට ඔවුන් ගොඩනගා ඇත. එහිදී අවකාශය තුළද මේ වනවිට ඔවුන් ප්‍රහාරක අවි රඳවා තිබීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම විවිධ කූටෝපායන් තුළින් තම බලය පිහිටුවා ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් කලක් ලෝක බලවතා ලෙස වැජඹුනද, චීනය විසින් අනුගමනය කරන්නා වූ මිත්‍රශීලී ප්‍රතිපත්ති හේතුවෙන් ලෝකයේ බොහෝමයක් බලවත් රාජ්‍යයන් මේ වනවිට චීනයට පක්ෂග්රාහීව සිටීම වර්තමානය වනවිට ඇමරිකා එක්සත් ජනපදයට මරු පහරක් බඳුවී හමාරය. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයෙහි පැවති විනිවිදභාවයෙන් තොර ආත්මාර්ථකාමී කූට ක්‍රියාකාරකම්වලට එරෙහිව බලාත්මකව පවතින BRICS රාජ්‍යයන් හේතුවෙන් හා චීනය සමඟ ඉතාමත් මිත්‍රශීලී ලෙස සන්ධානගත වෙමින් පවතින සෞදි ආරාබි රාජ්‍යය හේතුවෙන් නුදුරු අනාගතය තුළ ලෝකයෙහි සංචිත මුදල් ඒකකය මෙන්ම පෙට්රො ඩොලරයද චීනයෙහි යුවාන් මුදල් ඒකකය වෙත මාරුවීමේ ඉතාමත් වැඩි ඉඩකඩක් මේ වනවිට පවතින බවට බොහෝමයක් භූ දේශපාලනික විශ්ලේෂකයින් මත ඵලකර සිටියි.
බැටරි තාක්ෂණය ඇතුළු වාණිජමය ක්ෂේත්රයන් ගණනාවක හිණිපෙත්තට පැමිණ සිටින්නා වූ වත්මන් චීනය කිසිවෙකු හට නොබිඳිය හැකි තරම් වූ සංවර්ධනයක් ලබා තිබීම සත්‍ය වශයෙන්ම නොරහසකි. කෙසේ නමුත් මෙම සමස්ථ කරුණු කාරණා තුළින් ඔබ හට පසක් කිරීම සඳහා පවතින්නා වූ තවත් එක් වැදගත් කරුණක් මා සතුව පවතිනු ඇත. එනම් මෙම චීන සාර්ථකත්වය යනු සත්‍ය වශයෙන්ම එක් පුද්ගලයෙකුගේ, එසේත් නොමැතිනම් එක් නායකයෙකුගේ සිහිනයක් හෝ දැක්මක් නොවීමය. බිලියන 1.4ක පමණ ජනගහනයක් වෙසෙන්නා වූ චීනයෙහි අනාගත අභිවෘද්ධිය එක් පාලකයෙකු විසින් ප්‍රකාශයට පත් කළද, සත්‍ය වශයෙන්ම එය සමස්ථ චීන ජාතියෙහිම දැක්ම වීම ඉතාමත් සුවිශිෂ්ට මෙන්ම ප්‍රදානම කරුණකි. එමෙන්ම බහුතරයක් වූ චීන ජාතිකයින්ගේ වර්තමාන මතය වනුයේ ඈත ඉතිහාසය පුරා චීන ශිෂ්ටාචාරය ගොඩනැඟීමේදී ඔවුන් හට මුහුණදීමට සිදුවූ දුක්, කම්කටොළු මෙන්ම අභියෝග ඉමහත් බවත්, ඒ සෑම අභියෝගයක් උදෙසාම ඉතිහාසය පුරා ඔවුන් සාර්ථක විසඳුම් කරා දිවගිය බවත්, ඉදිරි අනාගතය තුළදීද කිනම් අභියෝගයක් පැමිණියද ඒ සඳහාද ඔවුනට සාර්ථක විසඳුම් කරා යෑමට හැකිවනු ඇති බවත් ය. පවුල් මට්ටමින් සමෘද්ධිමත්භාවය ලබමින් ලෝක තලයේ ගෞරවාදරයට පාත්රවීමේ විශිෂ්ට වූ අරමුණක් තුළින් වත්මන් දෙවන විශාලතම ලෝක ආර්ථිකය සඳහා හිමිකම් කීම දක්වා වූ චීනය පැමිණි ගමන් මඟ ඉතා පැහැදිලි අන්දමින් ඔබ වෙත ගෙනහැර දක්වමින් අවසාන වශයෙන් මා ඔබගෙන් ඉල්ලා සිටිනුයේ මෙම සමස්ථ කරුණු කාරණා තුළින් ඔබගේ අවබෝධය තීව්රර කරගැනීමට අවශ්‍ය පූර්ණ දැනුමද ලබාගනිමින් අනාගත ශ්‍රී ලංකාවෙහි සංවර්ධනයට ශක්තියක් වන ලෙසය
ආචාර්ය තිස්ස ජිනසේන
2023.01.27