November 24, 2026

වර්තමාන ගෝලීය යුධ ගැටුම් යනු අද වනවිට සමාජයේ නිරන්තර කතා බහට ලක්වන්නා වූ මාතෘකාවන්ගෙන් මුලසුන හොඹවන්නා වූ මාතෘකාවකි. එනම් සෑම දිනකම පාහේ ප්‍රවෘත්ති, පත්තර, සමාජ මාධ්‍ය ආදී සියළුම ජන සන්නිවේදන මාධ්‍යයන්හි ප්‍රධානතම වචනය ගාසා තීරයයි. කෙසේනමුත් අප මින් පෙරද ඊශ්‍රායල-පලස්තීන යුධ ගැටුම පිළිබඳව සුවිශේෂී කරුණු ගොන්නක් ඔබ වෙත ගෙනහැර දැක්වීමට කටයුතු කළද, එහි යාවත්කාලීන දිගුවක් ලෙස මෙම ලිපිය සටහන් කිරීමට අදිටන් කරගනු ලැබුවේ එම යුද්ධයෙහි වර්තමාන තත්වය දිනෙන් දින ව්‍යාප්තවන සුළු අන්දමෙහි මුහුණුවරක් ගන්නා හෙයිනි. එනම් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ඇතැම් බටහිර ජාතීන්ගේද උදව් උපකාර මතින් ඊශ්‍රායලය ඉතා කෲර අන්දමෙහි ප්‍රහාර කරා තවදුරටත් යොමුවන බව ප්‍රත්‍යක්ෂව දක්නට ලැබෙන කරුණකි. මෙම කරුණු කාරණා කෙසේ වුවද, මෙහි වර්තමාන තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට මත්තෙන්, මෙම ගැටුමෙහි ඉතිහාසය පිළිබඳව යම් කරුණු කීපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා හට අවැසි වූයේ මෙම සාපරාධී යුද්ධය පසුපස සිටින්නා වූ වගකිවයුත්තන් පිළිබඳව යම් දළ අදහසක් ඔබ වෙත ලබාදීමටය.

යුදෙව් ඉතිහාසය පිළිබඳව කරුණු සොයා බැලීමේදී දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ නම්, යුදෙව්වන් යනු ඔබ අප කිසිවෙකු හට සිතාගැනීමට පවා අපහසු අන්දමෙහි ඈත ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ජන කොට්ඨාසයක් වීමයි. එනම් ඔවුන්ගේ ඉතිහාසය සැබවින්ම ශිෂ්ටාචාරගත කාලපරිච්ඡේදය දක්වාම දිව යයි. එනමුත් එම සමස්ථ ඉතිහාසයම මේ තුළ අන්තර්ගත කිරීමට මා නොසිතනුයේ මෙවැනි ලිපි ගණනාවක් තුළින්ද එම සමස්ථ ඉතිහාසය ගෙනහැර දක්වා අවසන් කිරීමට පවා නොහැකි අන්දමෙහි කරුණු කාරණාවන් රාශියක් මෙම යුදෙව් ඉතිහාසය තුළ අන්තර්ගතව පවතින හෙයිනි. කෙසේනමුත් ඉතිහාසය තුළ සඳහන් වන පරිදි යුදෙව් ජාතිකයින්ගේ මුල් භූමිය යනු සත්‍ය වශයෙන්ම දැනට පවතින ඊශ්‍රායල හා පලස්තීන භූමියයි. මුල් කාලසීමාවෙහිදී මෙම භූමිය දැනට පවතින ප්‍රමාණයටත් වඩා විශාල අන්දමින් පැවති බවට ඉතිහාස මූලාශ සාක්ෂි දරයි. කෙසේනමුත් එවකට පැවති ඊශ්‍රායලය වෙත රෝම ආක්‍රමණ පැමිණි පසු රෝමන්වරුන්ගේ බලය හා කෲරත්වය හේතුකොටගෙන යුදෙව්වන් හට ඔවුන්ගේ භූමියෙන් ඉවත් වීමට සිදුවිය. එනම් ජීවිත බේරාගැනීම උදෙසා බොහෝමයක් යුදෙව්වන් යුරෝපා කලාපය වෙත සංක්‍රමණය වූ අතරම අනෙකුත් යුදෙව්වන්ද එරටින් පිටුවහල් කිරීමට හා තාඩන පීඩන වෙත ලක් කිරීමට රෝම ආක්‍රමණිකයින් කටයුතු කරන ලදි. එම ආක්‍රමණයෙන් අනතුරුව එවකට පැවති ඊශ්‍රායල භූමිය පලස්තීනය ලෙස නම් කිරීමට රෝමය කටයුතු කරනු ලැබුවේ එවන් පසුබිමකය. මින් අනතුරුව පැමිණි කාලසීමාව තුළ යුදෙව්වන් ලෝකයේ විවිධ රාජ්‍යයන් වෙත සංක්‍රමණය වෙමින් ඔවුනගේ ජනපද ගොඩනඟා ගනිමින් ඉතා අඩු පහසුකම් හා වරප්‍රසාද යටතේ ජීවත් වුවද, ඔවුන් තුළ පැවති අද්විතීය උපායමාර්ගික ඥාණය හේතුවෙන් බොහෝ රාජ්‍යයන්හි පාලකයින් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නට විය. කෙසේනමුත් යුදෙව්වන් හට එල්ල වූ කෲරම හා බරපතලම ප්‍රහාරය එල්ල වූයේ දෙවන ලෝක මහා සංග්‍රාමය හා සබැඳිවය. එනම් දෙවන ලෝක මහා සංග්‍රාමයේ නම් දැරූ මූලිකයෙක් වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ඉතා කුරිරු අන්දමින් යුරෝපය පුරා සිටි යුදෙව්වන් ඝාතනය කරන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය, රුසියාව, පෝලන්තය හා ලිතුවේනියාව වැනි රාජ්‍යයන්හි ජීවත් වූ යුදෙව්වන් ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රාජ්‍යයන් වෙත පලාගිය අතර ඇතැම් පිරිස් පලස්තීනය වෙතද නැවත පැමිණීමට කටයුතු කරන ලදි. කෙසේනමුත් ඒ වනවිටද ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍යය වැනි රාජ්‍යයන් තුළ යුදෙව්වන් ජීවත්වූ බව සැබවින්ම නොරහසකි. මෙය හේතුකොටගෙන යුදෙව් ජාතිකයින්ව වෙන් කිරීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදය මූලික බටහිර රාජ්‍යයන් විසින් සන්ධානගත තීරණයක් කරා පැමිණෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව, එනම් 1947 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ යෝජනා පරිදි පලස්තීනය දෙකඩ කොට එක් කොටසක් යුදෙව්වන් හටද, අනෙක් කොටස ඒ වනවිට එහි ස්ථාවරව ජීවත්ව සිටි අරාබිවරුන්ටද ලබාදෙන්නට විය. එලෙස පොරොන්දු දේශය නමින් හඳුන්වමින් බටහිර රාජ්‍යයන් තුළ ජීවත් වූ සියළුම යුදෙව් ජාතිකයින් පලස්තීන භූමියෙන් වෙන්කළ වර්තමාන ඊශ්‍රායල භූමිය වෙත යොමුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය මූලික වූ බටහිර ජාතීය රාජ්‍යයන් කටයුතු කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට එලෙස දෙකඩ කළ සමස්ථ භූමිය පුරා ජීවත් වූ අරාබිවරුන් කුඩා භූමි ප්‍රමාණයකට කොටු වූ අතර ඒ හේතුවෙන් දෙපිරිස අතර යුධ ගැටුමක් නිර්මාණය වන්නට විය. එය විවිධ අවස්ථාවලදී උග්‍ර වූ අතර එහි තුන් වැන්න ලෙස 1967 වර්ෂයේදී පැන නැඟුණ “Six Day War” නමින් හැඳින්වූ යුද්ධයෙහි අවසානයේදී සිදුවූයේ අරාබිවරුන් හට ඔවුනට ලැබී තිබූ භූමියෙන් තවත් කොටසක් අහිමිවීමය. එනම් යුදෙව්වන් විසින් පලස්තීන භූමියෙන් ඇතැම් කොටස් ක්‍රමයෙන් ඊශ්‍රායලය වෙත ඈඳා ගත් අතර ඒ තුළින් පලස්තීන ප්‍රදේශයේ ජීවත් වූ අරාබිවරුන් ඉතාමත් කුඩා ප්‍රදේශයකට සිරවිය.

මෙම තත්වය මෙලෙසම වර්තමානය දක්වා ඇදී පැමිණියාක් මෙන් හුවා දැක්වීමට බොහෝමයක් දෙනා උත්සාහ දැරුවද, සැබෑ යථාර්තය එසේ නොවීය. එනම් ඉන් අනතුරුව පැමිණි කාලසීමාවන්හිදී ඊශ්‍රායලය විසින් ඔවුන් සතුව පැවති උපායමාර්ගික යුධ ශක්තියත්, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර සන්ධානය තුළින් නිරතුරුවම ලැබුණු බලයත් භාවිතයට ගනිමින් පලස්තීන වැසියන් ඔවුනට අවැසි අයුරින් පාලනය කිරීමට විවිධ ආකාරයේ කටයුතු සිදුකර ඇති බවට මේ වනවිට බොහෝ සාක්ෂීන් ලැබෙමින් පවතිනු ඇත. එනම් විවිධ අවස්ථාවන්හිදී ඇතැම් පලස්තීනුවන් රැඳවුම් කඳවුරු තුළ සිරකරමින් ඔවුනට අවශ්‍ය අන්දමින් පලස්තීනයෙහි පරිපාලනයට බලපෑම් සිදුකිරීමට ඊශ්‍රායලය ඇතුළු බටහිර රාජ්‍යයන් කටයුතු කරඇති බව අද වනවිට නොරහසකි. කෙසේනමුත් මෙවැනි විවිධ අඩන්තේට්ටම් මධ්‍යයේ එයට විරුද්ධව පලස්තීනය තුළ සංවිධානව පැවති හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට විරුද්ධව ප්‍රහාරයක් දියත් කළ නමුත් එහි උපරිම ප්‍රයෝජනය ගනු ලැබුවේ ඊශ්‍රායලය විසිනි. එනම් ඊශ්‍රායලය වෙත ඉල්ල කළ හමාස් ප්‍රහාරය මූලික කරගනිමින් 2023 වර්ෂයෙහි ඔක්තෝබර් මස 07වන දින ඊශ්‍රායලය විසින් ආරම්භ කළ ප්‍රහාර මාලාව සැබවින්ම ඉලක්ක ගතව පැවතියේ හමාස් සංවිධානය වෙත පමණක්ම නොවීය. සත්‍ය වශයෙන්ම එම ප්‍රහාර මාලාව හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ දහස් ගණනක් වූ ගාසා වැසියන්ටය. එහි වර්තමාන තත්වය ගත්කළ සැබවින්ම මෙය ඉතාමත් කණගාටුදායක සිදුවීමකි. එනම් මෙය යුද්ධයක් ලෙස නම් කිරීමට වඩා ජන සංහාරයක් යනුවෙන් නම් කළහොත් නිසැකවම මා නිවැරදියැයි මා සිතමි. ඒ මන්ද යත්, මේ වනවිට දිනකට මරණයට පත්වන්නා වූ පලස්තීනුවන්ගේ සාමාන්‍ය අගය 247 ඉක්මවා යයි. ඒ අතර මව්වරුන් 48ක්, දරුවන් 117ක්, වෛද්‍යවරුන් තිදෙනෙක් හා ගුරුවරුන් දෙදෙනෙකු ආදී වශයෙන් වේ. තවද පසුගිය සති 12ක කාලසීමාවේ සිට සියළුම දරුවන් දැඩි කම්පනයකින් යුතුව සිටින අතර ඒ සඳහා එම අසරණ දරුවන් හට කිසිඳු හව්හරණක් නොමැති වීම හදවත් කම්පා කරන්නා වූ තත්වයකි. එමෙන්ම මළාපවාහන සියල්ල ජනාකීර්ණ ස්ථාන වෙත ගලා යෑම හේතුවෙන් මේ වනවිට බොහෝමයක් බෝවන හා බෝ නොවන රෝග සඳහා මිනිසුන් ගොදුරු වීම ශීඝ්‍ර ලෙස සිදුවෙමින් පවතී. මේ තත්වයන් හමුවේදී දිනකට කාන්තාවන් 180ක් පමණ දරු ප්‍රසූතියන් සිදුකරන්නා වූ අතරම සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරන්නා වූ කාන්තාවන් ඒ සඳහා යොමුකරලනුයේ කිසිඳු නිර්වින්දක ඖෂධ භාවිතයකින් තොරවය. එමෙන්ම මේ වනවිට 7000කට අධික පලස්තීනුවන් සංඛ්‍යාවක් අතුරුදන්ව සිටින අතර ඝාතනය වී ඇති එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩල නිළධාරීන් සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් ඇත. තවද දිනකට නිවාස 3900කට පමණ හානි සිදුවන අතරම එම සමස්ථ සිදුවීම් හේතුවෙන් දිනකට තුවාල ලබන්නා වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 629ක් පමණ වේ. එපමණක් නොව පසුගිය මාස තුන තුළ ගාසාහි සිසුන් 625,000කට නොඅඩු සංඛ්‍යාවක් පාසල් නොගොස් ඇති අතරම විශ්ව විද්‍යාල කටයුතු තුළ නියැලීමට නොහැකිව සිටින විශ්ව විද්‍යාල සිසුන් සංඛ්‍යාව 990,000 දක්වා ඉහළ ගොස් ඇත. එහිදී පීඨාදිපතිවරුන් ඇතුළු විශ්ව විද්‍යාල ගුරුවරුන් 100කට අධික පිරිසක් මේ වනවිට ඝාතනය කර තිබීම සත්‍ය වශයෙන්ම මහත් කනගාටුවට කරුණකි.

මෙම සමස්ථ සිදුවීම් එලෙසම තිබියදී ගාසා තීරය ඇතුළු ඒ අවට කලාප වෙත ආහාර, ජලය හා විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා සියල්ලම පාහේ සිරකිරීමට කටයුතු කරන්නා වූ ඊශ්‍රායලය ඒ තුළින් මෙම කලාප ශීඝ්‍රයෙන් ජන ශූන්‍ය කලාප බවට පත්කරමින් සිටියි. සත්‍ය වශයෙන්ම ගත් කළ මේ මිය යනු ලබන්නේ හා පීඩා විඳිනුයේ අහිංසක සාමාන්‍ය වැසියන් නොවේද?

එම කරුණු කාරණා කෙසේ වුවද මේ තුළ පවතින්නා වූ කේතජනකම සිදුවීම නම්, මෙවන් අන්දමින් සිදුකරන්නා වූ සමස්ථ ප්‍රහාරයන් මැද ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ජාතීන් තවදුරටත් ඊශ්‍රායලය වෙත යුධ ආධාර හා අනෙකුත් ආධාර සියල්ලම පාහේ ලබාදීමයි. එම සිදුවීම් හා සබැඳිව අදහස් වන්නා වූ පැහැදිලිම කරුණනම්, ඊශ්‍රායලයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෑයම ගාසාහි සමස්ථ ජන කොට්ඨාසයම මෙලොවින් අතුගා දැමීමය. කෙසේනමුත් මොවුනගේ මෙම කෲර හා අශිෂ්ටසම්පන්න ක්‍රියා කලාපයට විරුද්ධව ලෝකයේ බොහෝමයක් රාජ්‍යයන් මේ වනවිට සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටිනු ඇත. එයට යෝග්‍යම නිදසුන නම්, වර්තමාන කාලසීමාව තුළ දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලයේ මෙම ක්‍රියා කලාපයට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයෙහි ගොනුකර ඇති නඩුවය. ඒ පිළිබඳව වැඩිදුර කරුණු මෙම ලිපියට අන්තර්ගත කිරීමට මා අදිටන්කර නොගනුයේ ඒ පිළිබඳව සමස්ථ කරුණු කාරණාද ඇතුළත් වීඩියෝ පටයක් මෙම ලිපිය හා සබැඳිව ඔබ වෙත ලබාදීමට අප කටයුතු කරන හෙයිනි.

කෙසේනමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර සංධානය විසින් ආත්මාර්ථකාමී ලෙස ඇතිකළ මෙම අර්බුදය අද වනවිට ඉතාමත් දරුණු අන්දමින් පුපුරා ගොස් තිබුණද, අදටත් එය සමථයකට පත්කිරීම පසෙකලා තවදුරටත් අවුළුවාලීම උදෙසා කටයුතු කරලනුයේ ඉතිහාසය පුරා ඔවුන් සිදුකළ බොහෝමයක් කූට හා මිලේච්ඡ ක්‍රියාවන් නැවත නැවතත් ලෝකයා වෙත මතක් කරමින් ය. එය කෙසේ වුවද, වසර සිය ගණනක පෙර සිටම සමස්ථ ලෝකය පුරා ඔවුන් විසින් සිදුකළ ජන සංහාරයන් ඇතුළු සමස්ථ මිලේච්ඡ ක්‍රියාවන් උදෙසා දරුණු ප්‍රතිවිපාක ඔවුනගේ පේනමානයටම පැමිණ ඇති බවට බොහෝදෙනා විශ්වාස කරනා අතරම ඔවුන් විසින් සිදුකරන්නා වූ මෙම සාහසික ක්‍රියාවන්හි ප්‍රතිවිපාක නැවතත් ඔවුන් වෙත පැමිණීම නිසැකවම අවිවාදාත්මක කරුණකි.

ඔබගේ වැඩිදුර දැනුම සදහා යොමු වන්න.

ආචාර්ය තිස්ස ජිනසේන
2022.01.25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *