November 24, 2026

සීලය පිළිබඳව සලකා බැලීමේදී එය මූලික වශයෙන් කොටස් හතරකට බෙදනු ලබයි.

එනම්:

  1. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය

බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලද 227 වූ සික්ෂා පද ආරක්ෂා කිරීම.

  1. ආජිව පාරිශුද්ධි ශීලය

පාප ධර්මයන් වශයෙන් පවතින මිච්ඡා ජීවයෙන් වැළකීම.

  1. ප්‍රත්‍ය සංනිශ්ශිත සීලය

භික්ෂූන් වහන්සේ නමකට ලැබෙන ප්‍රත්‍ය හෙවත් චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානප්‍රත්‍ය යන සිව්පසය පිළිබඳ අන්තගාමී නොවී සිහිනුවණින් යුතුව කටයුතු කිරීම.

සහ ඉන්ද්‍රිය සංවර සීලයයී. 

ඉන්ද්‍රිය සංවර සීලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ  ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ගෙන් අප ලබා ගන්නා හෙවත් අත්විඳින රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශයන් නිමිති වශයෙන් නො ගැනීම හෙවත් ක්ලේශයන් ඇතිවන අයුරින් කටයුතු නො කිරීමයි. මේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා යනු සීලයක්. ‍ඉන්ද්‍රියන්ට අරමුණු ලැබුණාම මේ අරමුණ ප්‍රිය මනාප නම් අපි තණ්හාවක් ඇති කරගනි.  ලැබෙන අරමුණ අකමැති අමනාප එකක් නම්, අප්‍රිය එකක් නම්, අමිහිරි එකක් නම් ද්වේෂය ඇති කරගන්නා අතර ලැබෙන අරමුණ මධ්‍යස්ථ නම් අපි ඒ අරමුණ තුළ මුළාවට පත්වෙනවා. මෙන්න මේ අරමුණ මුල් කරගෙන රාග ද්වේෂ සහ මෝහ උපදවා ගන්නේ නැතුව සිටිම ඉන්ද්‍රිය සංවරය යනුවෙන් හදුන්වනු ලබයි. 

එලෙසම මනස ඉන්ද්‍රීය සහ මනසට එන අරමුණු  ඇතුළු  මේ ඉන්ද්‍රිය හය සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවරයයි. 

ඉන්ද්‍රීය සංවරය සිදුකලයුත්තේ කෙසේද කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙනවා. භික්ෂුව, ඇසේන් රූප දැකලා, නිමිති ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇස අසංවරව ඉන්න කොට, ආශාව, තරහ වගේ පාපී අකුසල් දේවල් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න දේකට පත්වෙන්නෙ නෑ. තමන් ගේ ඇස සංවර කරගන්නවා. ඇස රකිනවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. (මෙලෙස අනිත් ඉන්ද්‍රීය පහත් සංවර කර ගනී) 

එලෙසම ඉන්ද්‍රීය සංවරය තුලින් පීඩාකාරී ආශ්‍රවයන් නැති කරගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ මෙසේ පහදා දෙන සේක.

“පින්වත් මහණෙනි, සංවර වීම තුළින් නැති කරල දාන ආශ්‍රව මොනවාද? පින්වත් මහණෙනි, මගේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නෙ නුවණින් සළකාගෙන ම යි. පින්වත් මහණෙනි, ඇස නැමති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇති වෙන ආශ්‍රව හටගන්නවා නම්, ඒ ඇස නැමති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කොට, ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නෙ නෑ.”

ඉන්ද්‍රීය සංවරයේ වටිනාකම දැක්වෙන කතා පුවතක් ඈත අතීතයේ අනුරාධපුර යුගයේදී සිදුවිය. එනම්..

මිහින්තලයේ වාසය කල මහා තිස්ස නම් තෙරුන් වහන්සේ දිනක්, අනුරාධපුර දෙසට පිණ්ඩපාතය පිණිස පිටවෙන ලදී. එදින උදෑසන සිය සැමියා සමග රණ්ඩු වූ කාන්තාවක් විවාහ ජීවිතය එපාවී  නිවසින් පිටවී අනුරාධපුර දෙසට ආවේය. සන්සුන් ගමනින් වඩින තෙරුන් වහන්සේ දුටු එම කාන්තාව පහත් අදහස් ඇතිව තෙරුන් වහන්සේගේ අවධානය තමා පැත්තට ගන්න අදහසින් මහා හඬින් සිනාසෙන ලදී. භාවනා අරමුණු, කර්මස්ථාන ඇතිව ගමන් කල එම තෙරුන් වහන්සේ මේ කුමන විකාරයක් ද කියා බලද්දී  සිනාසිසී විරිත්තන දත් දැක අට්ඨික කර්මස්ථානය සිහිකර එම මොහොතේම උතුම් වූ අරහත්වයට පත්විය. එසේ අරහත්වයට පත් වූ මහා තිස්ස තෙරුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ඉදිරියටම වඩින ලදී.  සිය අරමුණ ඉෂ්ට කර ගත නොහැකිව එම කාන්තාව පිටව ගියේය. ටික වේලාවකින් ඇගේ සැමියා ඇය සොයා ගැනීම පිණිස අනුරාධපුර දෙසට පිට වූ අතර, සන්සුන් ගමනින් වඩින මහා තිස්ස තෙරුන් දැක ‘ස්වාමීනී මේ මග ගිය ස්ත්‍රියක් දුටුවේදැයි’ ඇසීය. එවිට තෙරණුවෝ ‘පින්වත, මෙහෙන් ගියේ ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නො දනිමි. නමුත් ඇටසැකිල්ලක් නම් මහමඟ ගමන් කරනවා දැක්කෙමි.’ කියා  පිළිතුරු දෙන ලදී.

ඉහත කතා පුවතින් මහාතිස්ස තෙරණුවන් සතු වූ ඉන්ද්‍රීය සංවරය කෙසේ ද යන්න මනාව පැහැදිලි වෙයි. තමාට සිනා වු ස්ත්‍රිය උන්වහන්සේ දුටුවේ කිසිදු ඇල්මකින් තොරව රූපයක් වශයෙන් පමණි. සිනාසුණු කාන්තාවගේ දත් පෙළ දුටු උන්වහන්සේගේ සිහියට නැගුණේ තමන් වහන්සේ මෙතෙක් කාලයක් වඩමින් සිටි අට්ඨික කර්මස්ථානය යි. එය උන්වහන්සේගේ නුවණැස පෑදීමට තරම් සමත් විය.

ඉන්ද්‍රීය සංවරය යනු උතුම් වූ නිර්වාණය ඉලක්ක කොට ඇත්තෙකි. ඉන්ද්‍රීය සංවරය නොමැතිව ලැබියහැකි නිවනක් නැත. ඒ බව සනාථ වෙන භාග්‍යවතුන් වහන්සේ ගේ දහම් කරුණක් පහත දැක්වේ.

මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නොමැති කල්හී, ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තා හට සීලයට හේතුවන දෙය නැසුණේ වෙයි. සීලය නොමැති කල්හී, සිල් නැති තැනැත්තා හට සම්මා සමාධියට හේතුවන දෙය නැසුණේ වෙයි. සම්මා සමාධිය නොමැති කල්හී, සම්මා සමාධිය නැති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනයට හේතුවන දෙය නැසුණේ වෙයි. යථාභූත ඥාන දර්ශනය නොමැති කල්හී, යථාභූත ඥාන දර්ශනය නැති තැනැත්තා හට නිබ්බිදා විරාගයට හේතුවන දෙය නැසුණේ වෙයි. නිබ්බිදා විරාගය නොමැති කල්හී, නිබ්බිදා විරාගය නැති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනයට හේතුවන දෙය නැසුණේ වෙයි. යම් කෙනෙකුට සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වන්නට අවශ්‍යනම් නම්, ඔහු ඒකාන්තයෙන්ම ඉන්ද්‍රීය සංවර සීලය රැකියා යුතුය.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

.

ආචාර්ය තිස්ස ජිනසේන
2023.10.22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *