November 24, 2026

ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ විසින් ආර්‍ය්‍යසත්‍යය විග්‍රහ කොට වදාළ දෙසුම : සච්ච විභංග සූත්‍රය ඇසුරෙනි 

” ඇවැත්නි, දුක නම් වූ ආර්‍ය්‍යසත්‍යය යනු කුමක්ද ? ඉපදීම දුකකි. ජරාවට පත්වීමත් දුකකි. මරණයත් දුකකි. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදියත් දුකකි. කැමති වන්නා වූ යමක් නොලැබේ නම් එයත් දුකකි. සංශේපයෙන් ගත්විට පංච උපාදානස්කන්ධයම යි දුක ” . 

” ඇවැත්නි, ඉපදීම යනු කුමක්ද ? ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව ලෝකවල යම් උපතක්, යම් හටගැනීමක් , මව් කුසක බැසගැනීමක්, විශේෂ ඉපදීමක්, උපාදානස්කන්ධයනගේ පහළ වීමක්, ඇස් කන් ආදී ඉන්ද්‍රියන්ගේ ලැබීමක් වේද, ඇවැත්නි, ඉපදීම යනු මෙයයි” . 

“ඇවැත්නි, ජරාවට පත්වීම යනු කුමක්ද ? ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව ලෝකවල යම් දිරීමක් තිබේද, දිරා යන ස්වභාවයක් තිබේද, බිඳී යාමක් තිබේද, කෙස් ආදියෙහි පැසීමක් තිබේද, සමෙහි රැළි වැටීමක් තිබේද, ආයුෂයාගේ ගෙවීමක් තිබේද, ඇස් කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් තිබේද, ඇවැත්නි, ජරාව යනු මෙයයි”. 

” ඇවැත්නි, මරණය යනු කුමක්ද ? ඒ ඒ සත්වයන් ගේ, ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක් වේද, චුත වන ස්වභාවයක් වේද, බිඳී යෑමක් වේද, අතුරුදහන් වීමක් වේද, මරණයට පත්වීමක් වේද, කළුරිය කිරීමක් වේද, උපාදානස්කන්ධයන්ගේ බිඳී යාමක් වේද, ශරීරයේ බැහැර දැමීමක් වේද, ජීවිත ඉන්ද්‍රියයෙහි සිඳීයාමක් වේ ද, ඇවැත්නි, මරණය යනු මෙයයි “. 

” ඇවැත්නි, ශෝකය යනු කුමක් ද ? විවිධාකාර විපත්වලදී, ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙකු තුළ, ඒ විපත් නිසා ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකු තුළ, යම් කිසි ශෝක කිරීමක් ඇද්ද, ශෝකයෙන් තැවීමක් ඇද්ද, ශෝකීව සිටින ස්වභාවයක් ඇද්ද, සිත දවාලන ශෝකයක් ඇද්ද, හිත හාත්පස දවාලන ශෝකයක් ඇද්ද, ඇවැත්නි, ශෝකය යනු මෙයයි “. 

“ඇවැත්නි, හඬා වැළපීම යනු කුමක්ද ?, විවිධාකාර විපත්වලදී, ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙකු තුළ, ඒ විපත් නිසා ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකු තුළ, යම් හඬා වැළපීමක් ඇද්ද, නම් ගොත් කියමින් හඬා වැළපීමක් ඇද්ද, ගුණ කියමින් හඬා වැළපෙන ස්වභාවයක් ඇද්ද, ඇවැත්නි, හඬා වැළපීම යනු මෙයයි “. 

” ඇවැත්නි, කායික දුක යනු කුමක්ද ?කායිකව ඉවසිය නොහැකි වූ දුක් හටගනී. කායිකව අමිහිරි වූ වේදනා හටගනී. කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ ඒ දුක් හා අමිහිරි වේදනා නිසා විඳවන ස්වභාවයක් ඇද්ද, ඇවැත්නි, කායික දුක යනු මෙයයි “. 

” ඇවැත්නි, මානසික දුක යනු කුමක්ද ?, මානසිකව ඉවසිය නොහැකි වූ දුක් හටගනී. මානසිකව අමිහිරි වූ වේදනා හටගනී. මනසෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ ඒ දුක් හා අමිහිරි වේදනා නිසා විඳවන ස්වභාවයක් ඇද්ද, ඇවැත්නි, මානසික දුක යනු මෙයයි”. 

” ඇවැත්නි, දුක් පීඩා ගැන සිතමින් සුසුම් හෙළීම යනු කුමක්ද ?, විවිධාකාර විපත්වලදී, ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙකු තුළ, ඒ විපත් නිසා ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකු තුළ, ඇතිවන්නා වූ යම් වෙහෙසක් ඇද්ද, ඒ ගැන සිත සිතා යම් සුසුම් හෙළීමක් ඇද්ද, මහත් වෙහෙසට පත්වීමක් ඇද්ද, ඒ ගැන සිත සිතා සුසුම් හෙළන ස්වභාවයක් ඇද්ද, ඇවැත්නි දුක් පීඩා ගැන සිත සිතා සුසුම් හෙළන දුක යනු මෙයයි”. 

” ඇවැත්නි, කැමති වන්නා වූ යමක් නොලැබීමේ දුක යනු කුමක්ද ?, ඉපදීම උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ඒකාන්තයෙන්ම අපට ඉපදීම උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ඉපදීම අප කරා එන්නේ නැත්නම් කොයිතරම් යහපතක්ද!’ කියල. එහෙත් එය කැමැත්ත තිබුණු පමණින් උදා කර ගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුකයි ” . 

” ඇවැත්නි, වයසට යෑම උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ඒකාන්තයෙන්ම අපට වයසට යෑම උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ජරාව අප කරා එන්නේ නැත්නම් කොයිතරම් යහපතක්ද!’ කියල. එහෙත් එය කැමැත්ත තිබුණු පමණින් උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුකයි”. 

” ඇවැත්නි, ලෙඩ දුක් වැළඳීම උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ඒකාන්තයෙන්ම අපට ලෙඩදුක් උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ලෙඩදුක් අප කරා එන්නේ නැත්නම් කොයිතරම් යහපතක්ද !’ කියලා. එහෙත් එය කැමැත්ත තිබුණු පමණින් උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුකයි”. 

” ඇවැත්නි, මරණය උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ඒකාන්තයෙන්ම අපට මරණය උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම මරණය අප කරා එන්නේ නැත්නම් කොයිතරම් යහපතක්ද!’ කියලා. එහෙත් එය කැමැත්ත තිබුණු පමණින් උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුකයි”. 

” ඇවැත්නි, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ඒකාන්තයෙන්ම අපට ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් අප කරා එන්නේ නැත්නම් කොයිතරම් යහපතක්ද!’ කියලා. එහෙත් එය කැමැත්ත තිබුණු පමණින් උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය, කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුකයි”. 

” ඇවැත්නි, මේ දුක ගැන හකුළුවා කීමේ දී පංච උපාදානස්කන්ධයම යි දුක කියල කියන්නේ කුමකටද? එනම් මේ රූප උපාදානස්කන්ධය ය, වේදනා උපාදානස්කන්ධය ය, සඤ්ඤා උපාදානස්කන්ධය ය, සංස්කාර උපාදානස්කන්ධය ය, විඤ්ඤාණ උපාදානස්කන්ධය ය. ඇවැත්නි, මෙය තමයි දුක පිළිබඳව හකුළුවා කීමේ දී පංච උපාදානස්කන්ධයම දුකයි කියල කියන්නේ. ඇවැත්නි, මෙය තමයි දුක නම් වූ ආර්‍ය්‍යසත්‍යය කියල කියන්නේ ” . 

” ඇවැත්නි, දුක හටගැනීම නම් වූ ආර්‍ය්‍යසත්‍යය යනු කුමක්ද ?නැවත උපතක් කරා රැගෙන යන්නා වූ, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැන දී සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. එනම් කාම තණ්හාවය. භව තණ්හාවය. විභව තණ්හාවය. ඇවැත්නි, මෙය තමයි දුක හටගැනීම නම් වූ ආර්‍ය්‍යසත්‍යය කියල කියන්නේ”. 

” ඇවැත්නි, දුක නිරුද්ධ වීම නම් වූ ආර්‍ය්‍යසත්‍යය යනු කුමක්ද ? ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවම ඉතිරි නැතුව, නොඇල්මෙන්, නිරුද්ධ වෙලා යනවා නම්, අත්හරිනවා නම්, දුරුකරනවා නම්, ඒ ත්‍රිවිධ තණ්හාවෙන් නිදහස්වෙනවා නම්, ආලය නැතුව යනවා නම් එයයි. ඇවැත්නි, මෙය තමයි දුක නිරුද්ධ වීම නම් වූ ආර්‍ය්‍යසත්‍යය කියල කියන්නේ”. 

” ඇවැත්නි, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්‍ය්‍යසත්‍යය යනු කුමක්ද ? එය වනාහී මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාගර්යම යි. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි”. 

” ඇවැත්නි, සම්මා දිට්ඨිය යනු කුමක්ද ? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය යනු දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද, ඒ වගේම දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද, ඒ වගේම දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද, ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද එයයි”. 

” ඇවැත්නි, සම්මා සංකල්පය යනු කුමක් ද ? කාමයන්ගෙන් නික්මීම පිළිබඳ යම් සිතුවිලි ඇද්ද, ව්‍යාපාදයෙන් තොර වූ යම් සිතුවිලි ඇද්ද, හිංසාවෙන් තොර වූ යම් සිතුවිලි ඇද්ද එයයි”. 

” ඇවැත්නි, සම්මා වාචා යනු කුමක්ද ? බොරු කීමෙන් වැළකී සිටීමයි. කේළාම් කීමෙන් වැළකී සිටීමයි. පරුෂ වචන කීමෙන් වැළකී සිටීමයි. හිස් වචන කීමෙන් වැළකී සිටීමයි “. 

” ඇවැත්නි, සම්මා කම්මන්ත යනු කුමක්ද ? ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමයි. සොරකම් කිරීමෙන් වැළකී සිටීමයි. වැරදි කාමසේවනයෙන් වැළකී සිටීමයි”. 

” ඇවැත්නි, සම්මා ආජීව යනු කුමක්ද ? මෙ කරුණෙහිලා ආයර් ශ්‍රාවකයා මිත්‍යා ආජීවය දුරු කොට ඉතා දැහැමි ලෙස ජීවිතය ගත කරනවා” . 

” ඇවැත්නි, සම්මා වායාම යනු කුමක්ද ? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙකරුණෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් හටනොගැනීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා.හටගත්තා වූ පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩිකොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා.හටනොගත්තා වූ කුසල ධර්‍මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩිකොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා.හටගත්තා වූ කුසල ධර්‍මයන් පවත්වා ගැනීම පිණිස, නැති නොවීම පිණිස, වැඩි දියුණු කරගැනීම පිණිස, විපුල බවට පත්කර ගැනීම පිණිස, භාවනාවෙන් පිරිපුන් කරගැනීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩිකොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා” . 

” ඇවැත්නි, සම්මා සතිය යනු කුමක්ද ? ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙකරුණෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් කල් ගෙවනවා.වේදනාවන් පිළිබඳව ….(වේදනානුපස්සනා භාවනාවෙන්)…. සිත පිළිබඳව 

” ( චිත්තානුපස්සනා භාවනාවෙන්)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්‍මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් කල් ගෙවනවා. “ඇවැත්නි, සම්මා සමාධිය යනු කුමක්ද ? ඇවැත්නි, මෙකරුණෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුශල ධමර්යන්ගෙන් වෙන්ව විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බව ඇති, විතර්‍ක සහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා සහිතව වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපේක්ෂා වේද, සිහියෙන් යුක්ත වේද, සැප විහරණය සහිත බව ආර්‍ය්‍යයෝ පවසයිද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය නැතිකිරීමෙන් දුක් නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැති, සැප නැති උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති හතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, සම්මා සමාධිය යනු මෙයයි. ඇවැත්නි, මේ දුක් නිරුද්ධකිරීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *