November 24, 2026

විභංග සූත්‍රය ඇසුරෙන්….

“මහණෙනි පටිච්චසමුප්පාදය දේශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය මනාකොට අසන්න. මෙනෙහි කරන්න. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළ සේක. 

“මහණෙනි, පටිච්චසමුප්පාදය යනු කුමක්ද ? මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තෘෂ්ණාවද, තෘෂ්ණාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (උප්පත්තිය) ද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයද ඇති වේ. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩක ඇතිවීම සිදු වේ. 

“මහණෙනි, ජරාව සහ මරණය යනු කුමක්ද ? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැලිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ. 

මහණෙනි, මරණය යනු කුමක්ද ? ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මරණයට පත්වීමක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘත ශරීර අත්හැරදැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. 

“මහණෙනි; මෙසේ ඒ දිරීමද, මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ. මහණෙනි; ජාතිය (ඉපදීම) යනු කුමක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඇතිවීමක්, හට ගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්වයන්ගේ ඇතිවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. 

“මහණෙනි, භවය යනු කුමක්ද ? මහණෙනි, කාම භවය, කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. රූප භවය, රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. අරූප භවය, අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. මේ භවයෝ තිදෙනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ. 

“මහණෙනි; උපාදානය යනු කුමක්ද ? මහණෙනි, කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. (පංච කාමයට බැඳී යාම. මතවාදවලට බැඳී යාම. නොයෙක් සීල ව්‍රතවලට බැඳී යාම. “මම, මාගේ, මාගේ ආත්මය” යන හැඟීමට බැඳී යාම) මේ උපාදානයෝ සිව්දෙනෙකි. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ. 

1 

“මහණෙනි, තණ්හාව යනු කුමක්ද ? මහණෙනි, රූප ගැන තණ්හාව, ශබ්ද ගැන තණ්හාව, ගඳ සුවඳ ගැන තණ්හාව, රස ගැන තණ්හාව, පහස (ස්පර්ශ) ගැන තණ්හාව, සිතේ ඇතිවෙන අරමුණු ගැන තණ්හාව. මේ තණ්හා සමූහයන් සය දෙනෙකි. මහණෙනි; මෙය තණ්හාව යයි කියනු ලැබේ. 

“මහණෙනි; වේදනාව යනු කුමක්ද ? ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, කණේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, කයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. යයි මේ වේදනා සමූහයන් සයදෙනෙකි. මහණෙනි; මෙය වේදනාවයයි කියනු ලැබේ. 

“මහණෙනි; ස්පර්ශය යනු කුමක්ද ? මහණෙනි ; ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ. 

“මහණෙනි; සළායතන යනු කුමක්ද ? ඇස නම් වූ ආයතනය. කණ නම් වූ ආයතනය. නාසය නම් වූ ආයතනය. දිව නම් වූ ආයතනය. කය නම් වූ ආයතනය. මනස නම් වූ ආයතනය. මහණෙනි; මෙය සළායතනයයි කියනු ලැබේ. 

“මහණෙනි; නාමය සහ රූපය යනු කුමක්ද ? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහාභූත සමූහය නිසා පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි; මෙසේ ඒ නාමයද මේ රූපයද නාම රූපයයි කියනු ලැබේ. 

“මහණෙනි; විඤ්ඤාණය යනු කුමක්ද ? මහණෙනි; ඇසේ ඇතිවෙන විඤ්ඤාණය, කණේ ඇතිවෙන විඤ්ඤාණය, නාසයේ ඇතිවෙන විඤ්ඤාණය, දිවේ ඇතිවෙන විඤ්ඤාණය, කයේ ඇතිවෙන විඤ්ඤාණය, මනසේ ඇතිවෙන විඤ්ඤාණය. මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණ යයි කියනු ලැබේ. 

“මහණෙනි, සංඛාර යනු කුමක්ද? මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය චිත්තසංඛාර යයි මේ සංඛාර තිදෙනෙකි. මහණෙනි; මෙලෙස සංඛාරයෝ යයි කියනු ලැබෙත්. 

“මහණෙනි; අවිජ්ජාව යනු කුමක්ද ? මහණෙනි, දුක නම් වූ ආර්‍ය්‍ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුකේ හටගැනීම නම් වූ ආර්‍ය්‍ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වීම නම් වූ ආර්‍ය්‍ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය නම් වූ ආර්‍ය්‍ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක් වේද, මහණෙනි; මෙය අවිජ්ජාව යයි කියනු ලැබේ. 

“මහණෙනි; මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාම රූපද, නාම රූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදනය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ. 

“අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැති වෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැති වීම වේ. 

(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්‍රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *