November 24, 2026

පෙරදිග මෙන්ම අපරදිග ලෝකය තුළද නිරන්තරයෙන්ම සිදුවන්නා වූ ගෝලීය ක‍්‍රියාවලිය දෙස අදවන විට බහුතරක් වූ ලෝ වැසියන් සිය අවධානය යොමු කරමින් සිටිනු ලබන්නේ මේ වනවිට ලෝකය තුළ සිදුවෙමින් පවතින්නා වූ ශීඝ‍්‍ර ආර්ථික බිඳවැටීම් හා බල හුවමාරූන් පිළිබඳ ඇතැම් පෙරනිමිතිද දිනෙන් දින ඔවුන් ඉදිරියෙහිදීම සැබෑ වෙමින් පවතින හෙයිනි. කෙසේනමුත් ලෝකය තුළ වෙසෙන්නා වූ ඇතැම් විශිෂ්ඨ භූ දේශපාලනික විද්වතුන් මීට වසර ගණනකට පෙර සිටම මෙම ගෝලීය ව්‍යවසනය පිළිබඳව ඔවුන්ගේ මත පළකර සිටින්නට වූයේ ඔවුන් විසින් දීර්ඝ කාලීන ලෙස සිදුකළ ආර්ථික හා දේශපාලනික ගවේෂණයන් තුළින් ලද දැනුම ඔවුන්ගේ එම මත සඳහා සෑමවිටම ප‍්‍රායෝගික වූ සාක්ෂීන් සැපයූ හෙයිනි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අදවන විට බහුතරයක් වූ තරුණ පිරිස් මෙම වසංව පැවති ගෝලීය ඉතිහාසයේ කුතුහලය දනවන සන්ධිස්ථාන පිළිබඳව තම දෑස් යොමුකරමින් සිටීම අතිශය සතුටට කාරණයක් වී අවසන් ය. එනම් වර්තමාන තරුණ ප‍්‍රජාව විසින් සමස්ථ ලෝකය තුළ සිදුවන්නා වූ බොහෝ උපායමාර්ගික ක‍්‍රියාවලීන් දෙස ඉතා පරීක්ෂාකාරී දෑසකින් නිරීක්ෂණය කරන අතරම අදාළ ක‍්‍රියාවලීන්ගේ මූලබීජයන් පසුපසද හඹා යාමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේ හෙයින් එම තරුණ භූ දේශපාලනික ගවේෂකයින් උදෙසා අප මෙවන් අන්දමින් ලෝකය තුළ සැඟව පැවති බොහෝ කරුණු කාරණා ගෙනහැර දැක්වීමට නිරන්තර උත්සාහයක නියැලෙනු ලබන්නේ ඒ තුළින් ඔවුන්ගේ විතක්ෂණශීලී මනස කලම්භනය කරමින් මෙම දැනුම් පද්ධතිය ඔස්සේ ඔවුන්ව පෝෂණය කිරීම අරමුණු කරගනිමිනි. තවද මා විසින් මෙලෙස ඔබ හට ලබාදෙන්නා වූ දැනුම, ආර්ථික, දේශපාලනික, සමාජීය මෙන්ම යුධමය යන්නා වූ විෂය පද්ධතීන් පිළිබඳව හසල දැනුමක් සතු සුප‍්‍රසිද්ධ විචාරකයින් වන රේ ඩාර්ලියෝ මහත්මා මෙන්ම රිචර්ඞ් ඞී. වොල්ෆ් මහත්මා වැනි විද්වතුන්ගේ දැනුමෙහි සුසංයෝජනයක් ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ ඒ තුළින් මෙහි නිරවද්‍යතාවය මෙන්ම විශ්වාසනීයත්වයද නිරන්තරයෙන්ම වර්ධනය වන හෙයිනි.

ගෝලීය වශයෙන් ගත්කළ, ආර්ථිකය යන වචනය ඇසූ පමණින් කාගේත් සිහියට නැෙඟනුයේ ඇමරිකානු ඩොලරයයි. ගසට පොත්ත මෙන් විශාල කාලපරිච්චේදයක් පුරාවට ඉතා ශක්තිමත් ලෙස මෙන්ම ස්ථාවර ලෙසද ආර්ථිකය හා බැඳී පැවති ඇමරිකානු ඩොලරය අදවන විට යම් වෙනසක් කරා භාජනය වෙමින් පවතින බවට පෙර සිටම බොහෝ විද්වතුන් ප‍්‍රකාශ කළද මේ වනවිට එය හුදෙක් යථාර්තයක් බවට පරිවර්තනය වෙමින් පවතින්නේ සමස්ථ ආර්ථික ලෝකයම උඩු යටිකුරු කරමිනි. තවද බොහෝ දෙනෙකු හට එම සිදුවීම විශ්වාස කිරීමට පවා නොහැකි කරුණක් බවට පත් වී ඇත්තේ ඉතිහාසය පුරාවටම එය ඉතා ශක්තිමත්ව හා ස්ථාවර ලෙස ආර්ථිකය හා බැඳී පැවති හෙයිනි. එනමුත් සමස්ථ ලෝකය තුළම ඇමරිකානු ඩොලරය මෙතරම් ශක්තිමත්ව පැවතියේ කෙසේද යන්න පිළිබඳවත්, ඒහා බැඳුණු උපායමාර්ගික ක‍්‍රමෝපායන් කෙබඳුද යන්න පිළිබඳවත් ඉතාමත්ම පරීක්ෂාකාරී ලෙස සොයා බැලීම ඉතා ප‍්‍රයෝජනවත් ක‍්‍රියාවක් ලෙස මා දකිනුයේ ඒ තුළින් මෙම සමස්ථ ගෝලීය ආර්ථික ක‍්‍රියාවලිය පිළිබඳව ඇතැම් වටිනා කරුණු කාරණා රාශියක් අපහට උගත හැකි බැවිනි. තවද මෙම ලිපිය තුළ ඇමරිකා එක්සත් ජනපදය මූලික වූ කරුණු කාරණා රාශියක් අන්තර්ගත කිරීමට මා තීරණය කරනු ලැබුවේ හුදෙක් සමස්ථ ලෝකය සිසාරා පැවති බොහෝමයක් සිදුවීම් සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙහි මැදිහත්වීම විවිධ අන්දමින් බලපෑ නිසාවෙන්ය.

දෙවන ලෝක මහා සංග‍්‍රාමය පැවති කාලසීමාව වනවිට, ගෝලීය ආර්ථිකයෙහි බහුතර බලයක් තම අණසකට නතුකර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වී තිබුණේ පළමුවන ලෝක මහා සංග‍්‍රාමයටද පෙර සිටම ඔවුන් ඇමරිකානු ඩොලරය ලෝක ආර්ථිකය සඳහා විවෘත කර තිබූ හෙයිනි. කෙසේනමුත් ඇමරිකානු ඩොලරය සංචිත මුදල් එ්කකය ලෙස පිළිගෙන තිබූ පරිසරයක් තුළ එය තවදුරටත් සමස්ථ ලෝකය තුළම ස්ථාවරභාවයට පත් කරගැනීමේ අරමුණින් 1944 වර්ෂයේ ජූලි මාසයෙහිදී රාජ්‍යයන් 44ක නියෝජිතයන්ගේ සහභාගීත්වයට තුළින් Bretton Wood උදදා ගිවිසුම ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරන ලදි. එමෙන්ම මෙම ගිවිසුම පිළිබඳව දීර්ඝ සටහනක් කරා එළඹීමට මා අදහස් නොකරනු ලබන්නේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාශියක් මීට පෙරාතුව මා විසින් රචිත ගෝලීය ආර්ථිකය පිළිබඳව වූ ලිපියෙහි අඩංගු කර ඇති හෙයිනි. කෙසේ නමුත් මෙලෙස Bretton Wood ගිවිසුමෙහි න්‍යායන්ද හේතුසාධක වෙමින් ඇමරිකා එක්සත් ජනපදය සමස්ථ ආර්ථික ලෝකයෙහිම පාලකයා බවට පත්විය. එනම් එම කාලසීමාව වනවිට ඇමරිකානු නිෂ්පාදන වර්ධන වේගයද ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් හට සාපේක්ෂව ඉතා ඉහළ අගයක පැවති අතරම රත‍්‍රන් සංචිතයද සැළකිය යුතු ඉහළ මට්ටමක පැවතුණි. එනමුත් එම කාලසීමාව වනවිටද ඇමරිකාව ආර්ථිකමය කූටෝපායන් මත පදනම්ව තම සංවර්ධනයන් ළඟා කරගැනීමට පුරුදුව සිටියහ. ඒ සඳහා කදිම නිදසුනක් නම්, චීනය ප‍්‍රධාන වූ ගෝලීය නිෂ්පාදන කරුවන්ගේ ප‍්‍රධානතම ගැනුම්කරුවකු බවට ඒ වනවිට පත්ව සිටි ඇමරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන්ම එ් සඳහා ඔවුනට ලබාදෙනු ලැබුවේ හුදෙක් ඇමරිකානු ඩොලර් නොව ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර පමණි. ඇමරිකානු ඩොලරයට පැවති වටිනාකමත්, ඒ සදහා වූ ඉල්ලූමත් හේතුකරගනිමින් එම කාලසීමාවන් තුළදී එම රාජ්‍යයන් තම නිෂ්පාදන වටිනාකම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් ඇමරිකානු බිල්පත් හා ඇමරිකානු බැඳුම්කර පිළිගන්නට විය.

එලෙස ලෝක ආර්ථිකයෙහි බල එ්කාධිකාරය අයතා ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය තම සාර්ථකත්වය කරා ගියද, 1955 වර්ෂයේ පමණ සිට ක‍්‍රියාත්මකව පැවති වියට්නාම් යුද්ධය වැනි පරාජිත ආක‍්‍රමණයන් හේතුවෙන් 1970 වර්ෂය පමණ වනවිට ඇමරිකානු රාජ්‍යය ණය හා වියදම් ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබුණි. මේ සඳහා පරාජයන් තුළින් ලද යුධ වියදම් වැඩි වශයෙන් බලපාන්නට විය. කෙසේනමුත් මෙම කාලසීමාව වනවිට වේගවත් ලෙස වර්ධනය වෙමින් පැවති ණය ප‍්‍රමාණයෙන් ගැළවීමේ අරමුණින් එවකට ඇමරිකානු රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ගනු ලැබුවේ සිතා ගැනීමට පවා නොහැකි කටයුත්තකි. එනම් 1971 වර්ෂයේදී ඇමරිකානු ජනපති රිචර්ඞ් නික්සන් මහතා විසින් ප‍්‍රකාශයට පත් කරන්නට වූයේ එතෙක් කාලයක් පැවති රත‍්‍රන් මූලික වූ ඩොලරය වෙනස් වීමකට භාජනය කරන බවත්, එහිදී රත‍්‍රන් හා ඩොලරය අතර පැවති බැඳීම අහෝසි කරන බවත්ය. මෙම සිදුවීමෙන් අනතුරුව ඇමරිකාව තම ණය පියවීම උදෙසාත්, රාජ්‍ය පරිභෝජනය උදෙසාත් කඩිනමින් මුදල් මුද්‍රණය කරන්නට වුයේ ඇමරිකානු ආර්ථිකය උද්ධමනය නම් වූ මාර්ගය දෙසට හරවමිනි. එමෙන්ම ඇමරිකානු ඩොලරය හා රත‍්‍රන් අතර පැවති බැඳීම අහෝසි කිරීමත් සමඟ ඩොලරය සඳහා පැවති වෙළඳපොළ වටිනාකම ශීඝ‍්‍ර ලෙස පහත වැටෙන බව එවකට ඇමරිකා එක්සත් ජනපදයෙහි පාලන කටයුතු සිදුකරමින් සිටි රිචර්ඞ් නික්සන් ප‍්‍රධාන ඇමරිකානු රජය පැහැදිලි ලෙසම දැන සිටින්නට විය.
මේ හේතුවෙන් ඒ සඳහා පිළියමක් ලෙස, එනම් ඇමරිකානු ඩොලරය නිසි පරිදි පවත්වා ගැනීම උදෙසා ඒ සඳහා වටිනාකමක් එකතු කිරීමට තීරණය කළ ඇමරිකා එක්සත් ජනපදය, එවකට බොරතෙල් මතින් හිස ඔසවමින් සිටි සවුදි අරාබි රාජ්‍යය සමඟ ගිවිසුම් ගත වීමට පියවර ගන්නට විය. එනම් 1973 වර්ෂයේදී එවකට සෞදි අරාබි රජුව සිටි ෆයිසල් බින් අබ්දුල්අසිස් මහත්මා සමඟ ගිවිසුම් ගත වූ ඇමරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය සතුව පැවති බොරතෙල්හි හා ජාතික ආරක්ෂාව සඳහා ඇමරිකානු ආරක්ෂාව ලබාදීමට පොරොන්දු වූ අතරම එ් වෙනුවෙන් සෞදි අරාබීය බොරතෙල් අපනයනය ඇමරිකානු ඩොලර් ඔස්සේ සිදුකරන ලෙස ඉල්ලා සිටින්නට විය. එපමණක් නොව සෞදි අරාබිය සතුව පැවති අතිරික්ත බොරතෙල් ආදායමද ඇමරිකා එක්සත් ජනපදයෙහි ණය සුරැකුම් සඳහා ආයෝජනය කිරීමට සෞදි රජුගේ කැමැත්ත ලබාගත් ඇමරිකාව එ් තුළින් සාර්ථක ලෙස පෙට්‍රො ඩොලරය නිර්මාණය කරන්නට විය. එසේම 1975 වර්ෂය පමණ වනවිට ඔපෙක් සංවිධානය ඔස්සේ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් වෙත පෙට්‍රො ඩොලරය හඳුන්වා දීමට කටයුතු කළ ඇමරිකාව තම සිතැඟි පරිදි මුද්‍රණය කළ ඩොලරය ඔස්සේ අනෙකුත් සෑම රාජ්‍යයක් සඳහාම බොරතෙල් මිලදී ගැනීමට ඉඩ සළසා දුනි. මෙලෙස තවදුරටත් ස්ථාවර ලෙස ලෝක වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරය පවත්වා ගැනීමට කටයුතු කළ ඇමරිකාව එක්සත් ජනපදය ඉන් අනතුරුව තමන් හට අභියෝගයක් වන්නා වූත්, සම්පත් බහුලව පවතින්නා වූත් රාජ්‍යයන් හට තම යුධ හා පරිපාලන බලය භාවිතා කරමින් විවිධ ආක‍්‍රමණ දියත් කළ අතරම එමඟින් තව තවත් ශක්තිමත් ලෙස නැඟී සිටීමට ඔවුනට හැකිවිය.

කෙසේ නමුත් ඒ අයුරින් වූ විවිධ කුටෝපායන් ඔස්සේ දිගින් දිගටම ලෝක ආර්ථික තමන් මතින් ගෙන යාමට වගබලා ගත් ඇමරිකා එක්සත් ජනපදයට එ්හා සමකාලීනව ක‍්‍රමානුකූල ලෙස සිදුවූ නොවැළැක්විය හැකි ගැටළුකාරී තත්වයන්ද මතු වන්නට වුණි. එනම් ව්‍යාජ වටිනාකමක් සහිත වූ මුද්‍රිත ඩොලරය මතින් ගොඩනැංවූ ඇමරිකානු ආර්ථිකය තුළ එම සමාජ ක‍්‍රමයද ඊට සාපේක්ෂව සුඛෝපභෝගී අන්දමින් වෙනස් වන්නට විය. එය කෙසේද යත්, ඇමරිකා එක්සත් ජනපදය තුළ පෙර පැවති නිෂ්පාදන කාර්යක්ෂමතාවය ක‍්‍රමානුකූලව පහත වැටුණු නමුත් සාමාන්‍ය ජනයාගේ ජීවන රටාව කිසිසේත්ම වෙනස් නොවීය. මේ හේතුවෙන් අභ්‍යන්තර ගැටළුකාරී තත්වයන්ගෙන් තොරව තම රටෙහි සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කළ ඇමරිකානු රජය ඒ සඳහා දිනෙන් දින මුදල් මුද්‍රණය කරමින් වෙළඳපොළට නිකුත් කරන්නට විය. මෙහි දරුණුතම කාලසීමාව පැමිණෙන්නට වූයේ 2019 වර්ෂයේ අගභාගය වනවිටය. එනම් සමස්ථ ලෝකයටම භයානක අන්දමින් බලපෑ කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් එම කාලසීමාව තුළ ඇමරිකානු නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්ද වේගවත් ලෙස පහත වැටෙන්නට විය. මෙලෙස කඩාවැටීමට ලක්වූ ඇමරිකානු ආර්ථික කෙසේ හෝ නිසි පරිදි පවත්වා ගැනීමට උත්සාහ කළ ඇමරිකානු රජය ඒ සඳහා පිළියමක් ලෙස සිදුකරනු ලැබුවේ ජෙරම් පවෙල්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ෆෙඩරල් සංචිතය ඔස්සේ ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 3.5ක පමණ අතිවිශාල මුදලක් මුද්‍රණය කරමින් වෙළඳපොළට නිකුත් කිරීමය. තවද එලෙස මුද්‍රණය කළ මුදල් සුළුතරයක් වූ ඇමරිකානු ව්‍යාපාරිකයින් වෙත පමණක් ලැබුණු අතර එහිදීද එම මුදලින් වැඩි ප‍්‍රතිශතයක් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය විය. මේ හේතුවෙන් ක‍්‍රමවත් නිෂ්පාදන සාර්ථකත්වයක් කරා ළඟාවීමට නොහැකි වූ ඇමරිකා එක්සත් ජනපදය තුළ උද්ධමන වේගවද වැඩිවන්නට විය. තවද කොටස් වෙළඳපොළ තුළ සිදුකළ ආයෝජනයන් හේතුවෙන් තම ධනය දෙගුණ තෙගුණ කරගැනීමට සුළුතරයක් වූ ව්‍යාපාරික පිරිසට හැකියාව ලැබුණද, සාමාන්‍ය ජන ජීවිතයට අද වනවිට එය ඉතා කටුක අන්දමින් බලපා ඇති බව ඉතාමත්ම පැහැදිලි කරුණකි. එය කෙසේද යත්, මේ වනවිට ඇමරිකාව තුළ පවතින්නා වූ සාමාන්‍ය පාරිභෝජන වියදම ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනය වී තිබුණද ඔවුනගේ නිෂ්පාදන වර්ධන වේගය දිනෙන් දින පහත වැටෙනු දක්නට ලැබේ. එමෙන්ම මෙවන් කාල පරිච්චේදයක් පුරාවට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ බොහෝ අක‍්‍රමිකතා හෙළිදරව් වීම හේතුවෙන් මේ වනවිට ඔවුන් ජාත්‍යන්තර අප‍්‍රසාදයටද භාජනය වී හමාරය.

එසේ හෙයින් මේ වනවිට බොහෝමයක් භූ දේශපාලනික විචාරකයින් මත පළකර සිටිනුයේ ඇමරිකානු ආර්ථිකය වේගවත් අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවටය. මන්ද යත්, මේ වනවිට ඇමරිකානු ඩොලරය පිළිබඳව සමස්ථ ලෝකයටම පැවති පූර්ණ විශ්වාසය වේගවත් ලෙස බිඳවැටීම අදහාගත නොහැකි කරුණක් බවට පත්ව අවසන්ය. එනම් චීනය වැනි ශක්තිමත් ආර්ථිකයන් හට හිමිකම් කියන්නා වූ රාජ්‍යයන් මේ වනවිට ඇමරිකානු බැඳුම්කර පවා ප‍්‍රතික්ෂේප කිරීමක් දක්නට ලැබේ. එයට හේතුපාදක වූ වැදගත්ම කරුණ නම්, ආර්ථික සම්භාදකයන්ය. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත්, වත්මන් කාලසීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදය විසින් තම ගෝලීය පරිපාලනමය බලය අයතා ලෙස භාවිතා කරන්නට විය. එනම් රුසියානු-යුක්‍රෙන යුධ ගැටුම මූලික කරගනිමින් ඔවුන් රුසියාව වෙත දරුණු අන්දමේ ආර්ථික සම්භාදක පැනවීමට කටයුතු කළ අතරම රුසියාව සතුව පැවති ඩොලර් සංචිතද අවලංගු කිරීමට පියවර ගන්නා ලදි. මෙලෙස තම අණසකට යටත් නොවන රාජ්‍යයන් හට ආර්ථික සම්භාදක පැනවීම ලෝකයේ බොහෝ රාජ්‍යයන් හට ආර්ථික අනාරක්ෂිතභාවයක් හැඟීම උදෙසා හේතුසාධක විය. එසේ හෙයින් BRICS රාජ්‍යයන්ගේ මූලිකත්වයෙන් යුත් නව සංචිත මුදල් එ්කකයක් කරා සමස්ථ ලෝකයම වෙනස් වීමේ සේයාවන් අදවන විට නන් දෙසින් රැව් දෙමින් පැවතීම සැබවින්ම නොරහසකි. තවද 1973 වර්ෂයේ සිට අද දක්වා ඇමරිකානු ඩොලරය ඔසවා තැබීමට විශාල සවියක් වූ පොට්‍රො ඩොලරයටද චීනය වෙතට දිශාණුගත වීමක් දක්නට ලැබෙයි. මේ සඳහා විවිධ හේතුකාරණා බලපෑ අතර ඉස්තාම්බුල්හීදී ඝාතනයට ලක් වූ සෞදි අරාබීය ජාතික ජමල් කශෝඝි නම් වාර්තාකරුගේ සිදුවීමද ඉන් එක් හේතුකාරණයක් බවට පත් විය. එනම් මෙම ඝාතනය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය විසින් විවිධ විමර්ශනයන් සිදුකිරීමට කටයුතු කළ අතරම එයට වරදකරු කරමින් සෞදි අරාබීය ඔටුන්න හිමි කුමරු වූ මොහොමඞ් බින් සල්මාන් මහත්මා ජාත්‍යන්තරය ඉදිරියේ විවේචනය කිරීමටද එවකට ඇමරිකානු ජනපති ධූරය ඉසිලූ ඩොනල් ට‍්‍රප්ම් මහත්මා විසින් කටයුතු කරන්නට විය. මෙම මතභේදාත්මක ගැටලූන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසටත්, අද වනවිට තරව පවතින සෞදි අරාබීය යුධ ශක්තියත් හේතු කරගනිමින් ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයෙන් තම බොරතෙල් සඳහා වූ ගැණුම් ඒකකය චීනය වෙත ලබාදීමේ වැඩි ප‍්‍රවණතාවයක් දක්නට ලැබෙයි. මෙය සමස්ථ ලෝකය ඉදිරියෙහි ඇමරිකා එක්සත් ජනපදය දණගැස්වීමට පවා හැකියාව පවතින සිදුවීමක් ලෙස මා දකිනුයේ ඒ තුළින් ඇමරිකානු ආර්ථිකය කෙතරම් අගාධයක් කරා යනු ඇතිදැයි සුපැහැදිලි ලෙසම දැන සිටින හෙයිනි.
එමෙන්ම මෙම සිදුවීම් හා සර්වකාලීන ලෙස සිදුවන්නා වූ අනෙකුත් සිදුවීම් කිහිපයක්ද ඔබගේ දැනුමට එක් කිරීමට මා තීරණය කරනු ලබන්නේ එ් තුළින් මෙම ආර්ථික බිඳවැටීමෙහි කාල නිර්ණයන් ඔබ හටම අනුමාන කිරීමට ඉඩ සළස්වා දෙමින්ය. එනම් ඉතිහාසය පුරා යුරෝපීය රාජ්‍යයන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාමූහිකව කටයුතු කළද, 2022 වර්ෂයේදී ජර්මනිය වෙත ගෑස් ප‍්‍රවාහනයන් සිදුකිරීම උදෙසා නිර්මාණය කර තිබූ ස්වභාවික ගෑස් නළ මාර්ගයට එල්ල වූ ප‍්‍රහාරයත් සමඟ ජර්මනියද අද වනවිට චීනය මතින් තම නිෂ්පාදන ක්ෂේත‍්‍රයන් ඉදිරියට ගෙනයාමට තීරණය කර ඇත. එසේම මෑතකාලීනව ප‍්‍රංශය රජයද ඉතාමත් පැහැදිලි ලෙසම ප‍්‍රකාශකර සිටින්නට වූයේ තමන් නේටෝ සාමාජිකත්වය ලබා සිටියද කිසිඳු අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයට හිස නොනමන බවය. මෙම සමස්ථ කරුණු කාරණා තුළින් මනාව පිළිබිඹු වනු ලබන්නේ ඉතා දීර්ඝ කාලාන්තරයක් පුරාවට බල ලෝභීත්වය මුදුන් පමුණුවා ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ නොමනා කටයුත්තන්හි පවිටු ප‍්‍රතිවිපාක මේ වනවිට ඔවුන් කරා නැවත ළඟාවන බවය. එනම් ඇමරිකා එක්සත් ජනපදය විසින් විවිධ කූටෝපායන් තුළින් ළඟා කරගත් රාජ්‍යයන් චීනය විසින් මේ වනවිට ඉතා ඥාණාන්විත අන්දමින් සාමකාමී ක‍්‍රමෝපායන් තුළින් ළඟාකර ගැනීමත්, උසුලා ගැනීමට නොහැකි අන්දමින් වර්ධනය වී ඇති ඇමරිකානු ණය බර හේතුකරගනිමිනුත් නුදුරු අනාගතය තුළ ඇමරිකා එක්සත් ජනපදය ආර්ථිකමය වශයෙන් පමණක් නොව බල අධිකාරීමය වශයෙන්ද අති මහත් කඩාවැටීමකට පත්වනු නොඅනුමානය. එමෙන්ම මා අවසාන වශයෙන් ඔබහට ප‍්‍රකාශකර සිටිනුයේ මා විසින් ඉහතින් ගෙනහැර දැක්වූ සමස්ථ කරුණු කාරණා විශ්ලේෂණාත්මකව දකිමින් සියවසකට අධික කාල පරිච්චේදයක් පුරා තම අණසක සමස්ථ ලෝකය පුරා පැතිරවීමට සමත්කම් කී ඇමරිකා එක්සත් ජනපදයට මෙවැනි අති දරුණු බිඳවැටීමක් උරුම වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔබගේ ප‍්‍රඥා ගෝචර මනසින් අවබෝධ කරගන්නා ලෙසය.

ආචාර්ය තිස්ස ජිනසේන
2023.04.30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *