
(පාරිශ්‍රද්ධ ත්‍රිපිටකයේ සිංහළ පරිවර්තනයකින් කිසිදු වෙනසක් නොකොට ඒ අයුරින්ම උපුටා ගන්නා ලද්දක් බවට කරුණාවෙන් සලකන්න).
මෙහි අන්තර්ගතය වන්නේ විඤ්ඤාණය ගැන බුද්ධ දේශනා ඒ අයුරින්ම උපුටා ගැනීමක් වන අතර කිසිම පෞද්ගලික අදහසක් නොමැතිව සූත්‍ර පිටකයේ කරුණු පමණක් ඉස්මතුකර කොටස් වශයෙන් ඉදිරිපත්කර ඇත.
‘විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගන්නේ ය’ යි මෙසේ මේ කරුණක් කියන ලදී. ආනන්දයෙනි, විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.ආනන්දයෙනි, විඤ්ඤාණයක් මව්කුසෙහි නොබැස ගන්නේ නම්, එකල්හී මව්කුසෙහි නාමරූපය එකට ගොනු වී යයි ද?”
“ස්වාමීනී, මෙය නැත්තේ ය.”
“ආනන්දයෙනි, විඤ්ඤාණයක් මව්කුසකට බැසගෙන තිබී, නැවත බැහැරට ඉවත් වෙයි නම්, එකල්හී නාමරූපය මෙබඳු ජීවිතයක් උපදවා දේවි ද?”
“ස්වාමීනී, මෙය නැත්තේ ය.”
“ආනන්දයෙනි, දරුවෙකුගේ හෝ දැරියකගේ හෝ විඤ්ඤාණය ළදරු අවදියෙහි ම එහි පැවැත්ම කැඩෙන්නේ නම්, එවිට නාමරූප වැඩීමකට, දියුණුවකට, විපුල බවකට පත්වේවි ද?”
“ස්වාමීනී, මෙය නැත්තේ ය.”
“එහෙයින් ආනන්දයෙනි, නාමරූපයට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ විඤ්ඤාණය යි.
‘නාමරූප හේතුවෙන් විඤ්ඤාණය හටගන්නේ’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, නාමරූප හේතුවෙන් විඤ්ඤාණය හටගන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.ආනන්දයෙනි, විඤ්ඤාණයත් නාමරූපයෙහි පිහිටක් නොලබයි නම්, මතු ඉදිරියට ඉපදීම, ජරා මරණ, කායික දුක් ආදියෙහි හටගැනීමක් පැණවේවිද?”
“ස්වාමීනී, මෙය නැත්තේ ය.”
“එහෙයින් ආනන්දයෙනි, විඤ්ඤාණයට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ නාමරූපය යි.
ආනන්දයෙනි, මෙපමණකින් ම උපත හෝ වෙයි. ජරාව හෝ වෙයි. මරණය හෝ වෙයි. චුතවීම හෝ වෙයි. යළි ඉපදීම හෝ වෙයි. මෙපමණකින් ම නම්ගොත් භාවිතය වෙයි. මෙපමණකින් ම භාෂා ව්‍යවහාරය වෙයි. මෙපමණකින් ම ඉරියව්වලින් හැඟවීම වෙයි. මෙපමණකින් ම ප්‍රඥාව හැසිරවීම වෙයි. මෙපමණකින් ම සසර සැරිසරා යාම වෙයි. මෙපමණකින් ම මෙබඳු ජීවිතයකගේ පැණවීම වෙයි. එනම් මේ නාමරූපය විඤ්ඤාණය සමඟ ඔවුනොවුන්ට උපකාර වීමෙන් පැවතීම යි.
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පංච ඉන්ද්රියයන් කියන්නෙ මේවාට යි. එනම්; ඇස නම් වූ ඉන්ද්රිය, කන නම් වූ ඉන්ද්රිය, නාසය නම් වූ ඉන්ද්රිය, දිව නම් වූ ඉන්ද්රිය, කය නම් වූ ඉන්ද්‍රියයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ පංච ඉන්ද්රියයන් පවතින්නේ ආයුෂ උපකාරයෙන්.”
(ප්රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආයුෂ පවතින්නේ කුමක උපකාරයෙන් ද?”
(පිළිතුර) “ආයුෂ පවතින්නෙ උණුසුම උපකාරයෙන්.”
(ප්රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, උණුසුම පවතින්නේ කුමක උපකාරයෙන් ද?”
(පිළිතුර) “උණුසුම පවතින්නෙ ආයුෂ උපකාරයෙන්.”
(ප්රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය ආයු සංස්කාරයත්, විඳින දේවලුත් දෙක ම එකයි ද? එහෙම නැත්නම් ආයු සංස්කාරය වෙන එකක් ද? විඳින දේවල් වෙන එකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය ආයු සංස්කාරයත්, විඳින දේවලුත් එකක් ම නොවෙයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, බැරිවෙලාවත් ඔය ආයු සංස්කාරත්, විඳින දේවලුත් එකක් වුනා නම් සඤ්ඤා, විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවගේ නැගිටීමක් නම් සිද්ධ වෙන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආයු සංස්කාර වෙන දෙයක් නිසා, විඳින දේවලුත් වෙන දෙයක් නිසා තමයි සඤ්ඤා විඳීම් නිරුද්ධ වූ සමාපත්තියට (නිරෝධ සමාපත්තියට) සමවදින භික්ෂුවට නැඟිටින්න පුළුවන් වෙන්නෙ.”
(ප්රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් දවසක කරුණු කීයක් මේ කයෙන් නැති වුනොත් ද පැත්තකට දාපු හිත් පිත් නැති දරකඩක් වගේ දෙයක් බවට මේ කය පත්වෙන්නෙ?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ ශරීරය යම් දවසක කරුණු තුනක් අත්හරිනවා. ඒ ආයුෂත්, උණුසුමත්, විඤ්ඤාණයත් කියන කරුණු තුනයි. එතකොට මේ ශරීරය බැහැර කරල දානවා, හිත් පිත් නැති දරකඩක් වගේ.”
(ප්රශ්නය) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මරණයට පත් වූ, කළුරිය කළ මළ කඳක් තියෙනවා. සඤ්ඤා, විඳීම්, නිරුද්ධ වුන සමාපත්තියට සමවැදුණු භික්ෂුවක් ඉන්නවා. මේ දෙකේ තියෙන වෙනස මොකක් ද?”
(පිළිතුර) “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කළුරිය කළ, මැරුණ, මළකඳේ වෙනස මේකයි. ඒකෙ ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර නිරුද්ධ වෙලා නැතිවෙලා තියෙන්නෙ. විතක්ක, විචාර නම් වූ වචී සංස්කාරත් නිරුද්ධ වෙලා නැතිවෙලා තියෙන්නෙ. සඤ්ඤා විඳීම් නම් වූ චිත්ත සංස්කාරත් නිරුද්ධ වෙලා, නැතිවෙලා තියෙන්නෙ. ඒ වගේ ම ආයුෂත් ගෙවිල ඉවරයි. උණුසුමත් සංසිඳිල ඉවරයි. ඉන්ද්‍රියයනුත් බිඳිලා ඉවරයි.යම් භික්ෂුවක් සඤ්ඤා, විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තියට සමවදිනවා. එතකොට ඔහු තුළත් කාය සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැතිවෙලා යනවා. වචී සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැතිවෙලා යනවා. චිත්ත සංස්කාර නිරුද්ධ වෙලා යනවා. නැතිවෙලා යනවා. නමුත් ආයුෂ ගෙවිල නෑ. උණුසුම සංසිඳිල නෑ. ඉන්ද්රියයන් හරිම ප්‍රසන්නයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කළුරිය කළ, මරණයට පත් වූ, මළ කඳකත් සඤ්ඤා, වේදනා නිරුද්ධ වන සමාපත්තියට සමවදින භික්ෂුවගේත් ඔන්න ඔය වෙනස දකින්න තියෙනවා.”
—————————————————————————–
මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි සේ වීර්යය කොට, නැවත නැවත එහි යෙදී, අප්රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධිමත් සිතින් මේ කයෙහි ම යටි පතුලෙන් උඩ ත්, කෙස් මතුවෙන් යට ත්, සමකින් වැසී ඇති අනේකප්‍රකාර වූ අපිරිසිදු දැ නුවණින් දකියි නම්, මේ කයෙහි කෙස් ඇත, ලොම්, නිය, දත්, ….(පෙ)…. සඳමිදුළු, මූත්‍රා ඇත වශයෙනි. එමෙන් ම පුරුෂයාගේ සම, මස්, ලේ ඉක්මවා ‘ඇට’ නුවණින් සලකයි නම්, එමෙන් ම පුරුෂයාගේ මෙලොවෙහි ත් පිහිටි, පරලොවෙහි ත් පිහිටි, දෙපසෙහි ම නොසිඳී පවතින විඤ්ඤාණ වේගය නුවණින් දැනගනියි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. මෙය දර්ශන සමාපත්තියෙහි තුන්වැන්න යි.
මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි සේ වීර්යය කොට, නැවත නැවත එහි යෙදී, අප්රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධිමත් සිතින් මේ කයෙහි ම යටි පතුලෙන් උඩ ත්, කෙස් මතුවෙන් යට ත්, සමකින් වැසී ඇති අනේකප්‍රකාර වූ අපිරිසිදු දැ නුවණින් දකියි නම්, මේ කයෙහි කෙස් ඇත, ලොම්, නිය, දත්, ….(පෙ)…. සඳමිදුළු, මූත්‍රා ඇත වශයෙනි. එමෙන් ම පුරුෂයාගේ සම, මස්, ලේ ඉක්මවා ‘ඇට’ නුවණින් සලකයි නම්, එමෙන් ම පුරුෂයාගේ මෙලොවෙහි ත් නොපිහිටි, පරලොවෙහි ත් නොපිහිටි, දෙපසෙහි ම නොසිඳී පවතින විඤ්ඤාණ වේගය නුවණින් දැනගනියි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. මෙය දර්ශන සමාපත්තියෙහි සිව්වැන්න යි. ස්වාමීනී, දර්ශන සමාපත්තීන් පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.