
කෙලෙස් දුවිලි නසා දැමීමට ධුතාංග ඇසුරෙන් සකස් වුනු ලිපියකි.
සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි. එම පිළිවෙත් හතර නම්,
- ලැබුන සිව්රකින් සතුටුවීම.
- ලද ආහාරයකින් සතුටු වීම.
- ලද සේනාසනයකින් සතුටු වීම.
- භාවනාවෙහි ඇලී වාසය කිරීම.
මෙම ධුතාංග දහතුන සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී නම් උන්වහන්සේ වෙතින් හෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙතින් හෝ රහතන් වහන්සේලා වෙතින් හෝ අනාගාමී, සකෘදගාමී, සෝවාන්, යන ආර්යයන් වහන්සේලා වෙතින් හෝ ත්‍රිපිටකධාරී, ද්වීපිටකධාරී ඒකපිටකධාරී, ඒක සඟිධාරී, අට්ඨකතාධාරී, ධූතාංගධාරී වැනි උතුමන් වෙතින් සමාදන් විය යුතු ය. එවැනි උතුමන් නොමැති විට තමන් විසින් සමාදන් වීම සුදුසු ය. එහෙත් තමන් ධුතාංග සපුරන බවක් කිසිවෙකුට නොපැවසිය යුතු ය. නොඇඟවිය යුතු ය.
මෙම එක් එක් ධුතාංගය
- සමාදානය.
- විධානය.
- ප්රබේධය.
- භේදය.
- ආනිශසය.
යන පස් ආකාරයකට විග්රහ කළ හැකි ය. එම ධුතාංග නම්….
1. පංසුකුලිකංගය – මෙම ධූතාංගය සමාදන් වනු කැමති පුද්ගලයා ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමී. තේවීවරි කං සමාදියාමි’ යන මේ වාක්‍ය දෙකෙන් එකක් පැවසීමෙන් සමාදන් විය යුතු ය. එතැන් සිට තමන් කැමති, තෝරා ගත් චීවරයක් පරිභෝග කළ යුතු ය. ධුතාංග වලට ගැළපෙන චීවර වර්ග විසි තුනක් ඇත. එනම්,
- සෝසානික – සොහොනෙහි දැමූ වස්ත්‍ර.
- පාපනික – වෙළෙඳපලෙන් ඉවත දැමූ වස්ත්‍ර.
- රථියචෝල – වීදියෙහි ඉවත දැමූ වස්ත්‍ර.
- සංඛාරචෝල – කසළගොඩෙහි දැමූ වස්ත්‍ර.
- සොත්ථිය – ගැබ් මල පිස දැමූ වස්ත්‍ර.
- නහානචෝල – යක්ෂාවේශ වූවන් පෙරවූ වස්ත්‍ර.
- තීත්ථචෝල – නාන තොටෙහි හැරදැමූ වස්ත්‍ර.
- ගතපච්චාගත – සොහොනට ගියවුන් හැර දැමූ වස්ත්‍ර.
- අග්ගිදඩ්ඩ – අඩක් දැවුනු වස්ත්‍රය.
- ගෝඛායිත – හරකුන් කෑ වස්ත්‍රය.
- උපව්කාඛායිත – වේයන් කෑ වස්ත්‍රය.
- උන්දුරඛායිත – මීයන් කෑ වස්ත්‍ර.
- අන්තච්ඡින්නය – අග කඩා ගිය වස්ත්‍ර.
- දසාච්ජින්නය – දාවලු කැඩී ගිය වස්ත්‍ර.
- ධජාහටය – නැවෙහි හෝ යුද බිමෙහි හැර දැමූ වස්ත්‍ර.
- ථූපචීවරය – තුඹස්වල බැඳී වස්ත්‍ර.
- සමණචීවරය – භික්ෂූන් සතු වස්ත්‍රය.
- ආභිසේතිකය – රාජාභිෂේක කළ තැන දැමූ වස්ත්‍ර
- ඉද්ධීමය – ඒහිභික්ෂු චීවරය.
- දේවදත්තිය – දෙවියන් දුන් වස්ත්‍රය.
- වාතාහටය – සුළඟට පැමිණි වස්ත්‍රය.
- පන්ථිකය – මහමඟ වැටී තිබුණ වස්ත්‍රය.
- සාමුද්දිය – මුහුදු රළින් පැමිණි වස්ත්‍රය.
යන මෙම විසිතුන් ආකාර වස්ත්‍ර වලින් එකක් පාංසකූල චීවර වශයෙන් ගත හැකි ය. මෙම ධූතාංගය සමාදන් වූ පසු, ගිහියන් විසින් පිදූ වස්ත්‍රයක් පිළිගතහොත් ධූතාංගය බිඳී යනු ඇත.
2. තෙචීචරිතංගය – තුන් සිව්ර හැර වෙනත් චීවරයක් පිළි නොගැනීමයි. යම් හෙයකින් වෙනත් චීවරයක් පිළිගත හොත් ධූතාංගය බිඳී යනු ඇත.
3. පිණ්ඩපාතිකංගය – ගෙපිලිවෙලින් පිඬු සිඟා ලබන ආහාරය හැර වෙනත් කිසිම ආහාරයක් නොපිළි ගැනීමයි. පිඬුසිඟා වැඩි පසු යමෙක් ‘අපගේ නිවසෙහි භික්ෂූන් පිණ්ඩපාතය වළඳයි. ඔබ වහන්සේද පැමිණ වැළඳුව මැනව යනුවෙන් ඇරයුම් කළහොත් පිළිගැනීම සුදුසුයි. යම් දිනක අතිරේක පිණ්ඩපාතයක් පිළිගතහොත් එම ධුතාංගය බිඳී යයි.
4. සපදානචාරිකංගය – ගෙපිලිවෙලින් පිඬු සිඟා යාමයි. ගෙලිපිවෙල ඉක්මැවූ විටෙක ධුතාංගය බිඳී යයි.
5. ඒකාසනිකංගය – වළඳන විට ප්‍රධාන ආසනයෙහි වාඩි නොවීමයි. එසේම පළමුව අත තැබූ භෝජනය පමණක් වැළඳීමයි. අන් ආසනයක හිඳ වැළදුවහොත් ධුතාංගය බිඳී යයි.
6. පත්තපිණ්ඩිකංගය – ලැබෙන භෝජන පාත්‍රයෙන් පමණක් පිළි ගැනීමයි. දෙවන භාජනයක් පිළිගත් මොහොතේම මෙම ධුතාංගය බිඳී යයි.
7.ඛලු පච්ඡාභත්තිකාංගය – දන් වළඳා අවසන් වූ පසු නැවත කිසිවක් නොවැළඳීමයි. එනම් ළඟට ගෙනෙන භෝජනය අතින් වසා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නැවත ලැබෙන භෝජන නොවැළඳීමයි. එසේ වැළඳුවහොත් මෙම ධුතාංගය බිඳී යයි.
8. ආරඤ්ඤකංගය – ගමෙහි වාසය නොකොට වන ගතව සිටීමයි. අරුණ නැගෙන තුරු ගමෙහි විසුවේ නම් මෙම ධුතාංගය බිඳී යයි.
9. රුක්ඛමූලිකංගය – රාජ්‍ය සීමා දක්වන වෘක්ෂ, මිනිසුන්ගේ පූද පූජා වලට ලක්වන වෘක්ෂ, ලාටු, මල්, ගෙඩි ඇති වෘක්ෂ, වවුලන් වසන වෘක්ෂ, සිදුරු ඇති වෘක්ෂ, විහාර මැද පිහිටි වෘක්ෂ යන මේවා අත් හැර, විහාර කෙළවර පිහිටි වෘක්ෂයක් වාසයට ගත යුතු යි. ගෙයක විසූ විට ධූතාංගය බිඳී යයි.
10. අබ්හෝකාසිකංගය – ගෙවල් වලත්, රුක් මුල්හිත් වාසය නොකොට, එළිමහන්හි විසීමයි. බණ ඇසීමට, පොහොය කිරීමට, වර්ෂාවෙන් බේරීමට, ඉගෙනීමට, උගැන්වීමට ගෙවලට යාමෙහි වරදක් නොවේ.
11. සෝසානිකංගය – රාත්‍රිය සොහොනක වාසය කිරීමයි. සොහොනට නොගොස් ගෙයක විසුවහොත් ධූතාංගය බිඳෙයි.
12. යථාසන්ථිතිකංගය – දායකයකු විසින් තමන්ට පූජා කළ ආරාමය හැර, වෙනත් ආරාමයක නොවිසීමයි. වෙනත් ආරාමයක් ඉල්ලූ විටෙක ධුතාංගය බිඳී යයි.
13. නේසජ්ජිකංගය – නිදා ගැනීමෙන් වැළකීමයි. අනික් ඉරියව් තුනෙන් රාත්‍රිය ගත කළ යුතු ය. නිදා ගතහොත් ධූතාංගය බිඳී යයි.
ධූතාංග ‘උත්තෘෂ්ඨ, මධ්‍යම, මෘදුක වශයෙන් තුන් ආකාරයකට රැකීමට පිළිවෙන. එසේම මෙම ධූතාංග රැකීමෙන් ලැබිය හැකි ආනිසංසද වෙන වෙනම දැක්විය හැකි ය. ද්වේෂ චරිතයක් ඇති අයට ආරඤ්ඤකංගයත්, රුක්ඛමූලිකංගයත් යන දෙක ද, අනෙක් ධූතංගයෝ රාග චරිතයක් ඇති අයටත්, මෝහ චරිතයක් ඇති අයටත් ගැළපේ.
මෙම ධුතංගධාරී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වන්නේ මහා කාශ්‍යප මහා වහන්සේය…..
(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
ආචාර්ය තිස්සජිනසේන 2023.09.25