
වර්තමානය වනවිට මුළු මහත් සමාජයම වේගයෙන් පරිහානිය කරා ගමන් කරන අතර සමාජගත ප්‍රශ්න වල වැඩිවීමක් දක්නට ලැබෙයි. බොහෝ තරුණ සහ මැදි වයස් පිරිස් මානසික ආතතිය සහ මානසික අවපීඩනය තුලින් දැඩි අසහනකාරී තත්වයකට පත්වී ඇතිබව කාටත් නොරහසකි. විවිධ පැතිකඩයන් ඔස්සේ මේ ප්‍රශ්න දිවෙන අතර මේ සෑම ප්‍රශ්නයකටම මුල් වන බීජය ඇත්තේ මිනිසාගේ සිතේමය. ඉන් එක පැතිකඩක් ගැන පමණක් මේම ලිපියෙන් අවධාරණය යොමු කිරීමට බලාපොරොත්තු වෙමු.
වර්තමානය ජීවත් වන බොහෝ තරුණයන්ගේ සිහින නම්, ඇපල් ජංගම දුරකථන දෙකක්, හොඳ කාර් එකක් හෝ ජීප් එකක්, නැතිනම් වාහන එකතුවක්, ලොකු ගෙයක් හෝ ගෙවල් කිහිපයක්, කොළඹින් මහල් නිවසක්, ලක්ෂ 10 ක හෝ ඊට වැඩි ඔරලෝසුවක්, ලක්ෂ 2 පමණ සපත්තු ජෝඩුවක් හෝ කිහිපයක්, බ්‍රෑන්ඩඩ් ෂර්ට් (එකක් 25000 පමණ, ටයි පටිය 10000 පමණ), දවසට එක ආහාර වේලක් සඳහා හෝ තරු පහේ හෝටලයකට යෑම. තම පෙම්වතියට හෝ බිරිඳට ලක්ෂ 30 පමණ අතුරුපස වේලක් සහ එක උත්සවයකට අදින්න ලක්ෂ 5 පමණ ඇඳුමක් ආදී වශයෙනි…
සැ යු : මෙම ක්‍රමයට ජීවත් වීම සමාජයේ ඉතා සුළු පිරිසකට අයත් දෙයකි. ඒ ඔවුන් ධනවත් පවුල් වල ඉපදුන නිසාය. නමුත් එම ධනවත් පවුල් වලට මුදල් ගලා එන්න මහන්සි වී වැඩ කරපු, ව්‍යාපාර ගොඩනගපු එම පරම්පරාවල මුල් සාමාජිකයන් කිසිවිටකත් අනවශ්‍ය ලෙස මුදල් විනාශ කරන ජීවන රටාවක නොසිටියෝය. ඔවුන් බොහෝ විට ගතකලේ සරල ජීවිතයක්ය.
මේ සියල්ලන්ගෙන්ම ඔවුන් බලාපොරොත්තු වනුයේ සැපවත් ජීවිතයක්, ඉහල සමාජ තත්වයක්, ඉහළ පිළිගැනීමක්, සත්කාර සම්මාන, කීර්ති ප්‍රශංසා, අන් අය අභිබවා කැපී පෙනීම, තමන් උසස් කොට දැක්වීම, අන් අය පහත් කොට දැක්වීම, අන් අයගේ ආකර්ෂණය දිනාගැනීම සහ මං දිහා හැමෝම බලයි යන මානසික තත්වයක්. මෙයින් ඔවුන් බලාපොරොත්තු වනුයේ තනිකරම භෞතික වස්තූන් මුල්කරගෙනම තමන්ගේ සිතේ සතුට උපදවා ගැනීමය. එහිදී ඔවුන්ට මනුස්ස කම අවශ්‍ය නැත. ගුණ ධර්ම අවශ්‍ය නැත. සාර ධර්ම අවශ්‍ය නැත. දෙමාපිය වැඩිහිටි ගුරු ගෞරවය නැත. මනුෂ්‍යන් ලෙස අප සියල්ලන්ම එක හා සමාන බව අමතකය. තනිකරම අවශ්‍ය බාහිර සමාජයේ තමන්ට තිබෙන තැනින් සතුටු වීමටය. නමුත් හිතේ ආශාව තිබුනත් සත්‍ය තත්වය වෙනස්.
ඊට හේතුව වනුයේ :
මේ සිහින කන්දරාව තරුණයන්ගේ සිතට කා වැදුනේ සමාජ මාධ්‍ය හරහාය. විශේෂයෙන්ම යූටියුබ් හරහා ලෝකයේ සිටින ධනවත් පුද්ගලයන්ගේ සුපිරි ජීවන රටාව නැරඹීම. විශේෂයෙන් ඔවුන්ගේ වත්කම්, යාන වාහන කන්දරාව, මාළිගා, සුරතලේට ඇතිකරන දරුණු සතුන් හා කුරුල්ලන්, අධික මිල ගණන් ඇති ඇඳුම් පැළදුම් හා රත්තරං ආභරණ ආදී මෙකි නොකී සියලු දේ නිසා අපේ තරුණයන්ටත් ඒ විදිහට සුපිරි ජීවිත ගත කිරීමට අවශ්‍ය විය. ඉන් අනතුරුව ඔවුන් නිරායාසයෙන් පෙළඹුනේ සමාජ මාධ්‍යයේ සිටින ධනවතුන් හා තමන් සංසන්දනය කිරීමටය. ඉන්පසුව සිදුකරනුයේ ධනාත්මක චින්තනය ඇති වීඩියෝ එක දිගට නරඹා ඒවායේ නිර්දේශ කරන නොයෙක් ප්‍රායෝගික නොවන දේ අත්හදා බැලීමයි.
එලෙස හිතින් ගොඩනගාගත් ධනවතුන්ගේ ලෝකය හා තමන් ගැලපීමට යාමෙන් සිද්ධවනුයේ මම මදි, මම ප්‍රමාණවත් මදි.., මම දුප්පත්.., ඇයි මන් මෙච්චර අවාසනාවන්ත….?, ඇයි මටත් ඒ වගේ වෙන්න බැරි….? යන සිතුවිලි ගොඩක සිරවීමකි. අවසානයේ සිදුවී ඇත්තේ අනුන් වගේ ජීවත් වෙන්න සිහින දකිමින් තමා විසින්ම තමාවම පහත්කොට සැලකීමයි. හීන මානෙන් ජීවත් වීමයි. අනුන්ගේ ජීවන රටාව හා තමන්ගේ ජීවන රටාව අතර ඇති අහසට පොලොව බඳු වෙනස සිත සිතා දුකින් අසහනයෙන් ජීවත් වීමයි.
ඉහත සඳහන් සිහින ලෝක වෙත ලඟා වෙන්න බැරි බව දැනුන විට යම් තරමකින් හෝ “මම ප්‍රමාණවත් මදි” කියන මේ පීඩාවෙන් මිදී සතුටු වෙන්න සිතා ඔවුන් නොයෙක් දේ කරයි. උදාහරණයක් ලෙස තරු පහේ හෝටලයක් ලඟට ගොස් පින්තූර ගැනීම, හෝටලයේ බුෆේ බෙදාගත් කෑම පිඟානේ පින්තූර ගැනීම, අනුගේ ලොකු වාහන ළඟ පින්තූර ගැනීම සහ අනතුරුව ඒවා මුහුනුපොතේ දැමීමයි. අපි හොඳ හෝටලයකට ගියා, හොඳට කෑවා ආදී සුළු දෙයක් හෝ අන් අයට පෙන්වා තමන් සතුටු වෙන්නයි ඔවුන් උත්සහ ගන්නේ. කොයි තරම් තරු හෝටල් වලින් කෑවත්, ඒ වටිනා කෑම කටට දා ගත් සැනින් කෙළ හා මිශ්‍ර වන බවත් අවසානයේ අසූචි බවට පත්වන බවත් ඔවුන්ට අමතකය. සියලු මනුෂ්‍යන් මොන ආහාර ගත්තත් සිදුවන්නේ එක සිදුවීමක් බව ඔවුන්ට අමතකය. ඇත්තෙන්ම මුහුනුපොත යනු කෙනෙකුගේ අභ්‍යන්තර ගති පෙන්වන කැඩපතකි.
මෙහි භයානක පැත්තනම් ඉහත සඳහන් සිහින ආශාවන් ප්‍රයෝගිකව සිදු නොවන විට ඒවා ඉටු කර ගැනීමට ඕනෑම නරක දෙයක් කිරීමට පෙළඹීමයි. සොරකමින්, මංකොල්ල කෑමෙන්, අනුන් රැවටීමෙන්, වංචාවෙන්, ප්‍රාණඝාතයෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය විකිණීමෙන් හෝ තමන් සිත තුල ගොඩනගාගත් සිහින ලෝකය සැබෑ කර ගැනීමටය. මේ යුගයේ බොහෝ දෙනා මේ වැරදි ක්‍රියාවලට යොමු වී ඇත. සිහින ලෝකය සුනු විසුනු වී ඇත.
නමුත් මේ කිසිවක් කලත් සිතේ සතුටක්නම් පවතින බවක් පෙනෙන්නට නැත. එන්න එන්නම සමාජ පරිහානිය වැඩිවේ. එයට හේතුව නම් බාහිර භෞතික වස්තු, කීර්ති ප්‍රශංසා, සත්කාර සම්මාන හා අධාර්මික දිවි පැවැත්ම මුල්කරගෙන ඇති කරගන්න සතුට සබැ සතුට නොවන අතර එය බොහොම තාවකාලික තත්වයක් නිසාවෙනි.
එසේනම්, මම මදි, මම ප්‍රමාණවත් මදි, මට නෑ කියන මේ මානසික තත්වයෙන් මීදී සැබෑ අධ්‍යාත්මික සතුට ඇති කරගන්නේ කෙසේද…….?
ඒ සඳහා අපට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් මෙසේ පිළිතුරක් ලැබේ.
ඉහත සඳහන් කල සියලුම බාහිර භෞතික වස්තූන් අයිති වන්නේ කාමයන් ලෙසටය. කාමයන් යනු සැපක් ගෙනෙන දෙයක් නොවන බව ඒ සඳහා දී ඇති උපමාවන්ගෙන් පෙනේ. එනම් කාමයන් යනු, ගිනි අඟුරු වලකී, මස් කට්ටකි, මස් වැදල්ලකි, ගිනිගෙන දැවෙන හුළු අත්තකි, විෂ බඳුනකි. එනම් අපි මම ප්‍රමාණවත් මදි කියන අඩුව පුරවන්න මහන්සි ගන්න හදන්නේ ගිනි අඟුරු, මස්කටු, මස් වැදලි හා විෂ බඳුන් වලින්.
භාග්‍යවතුන් වහන්සේ කාමයන් නිසා සිදු වන දෙය පිළිබඳව මෙසේ වදාරයි,
” මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්ෂත්රියයෝද ක්ෂත්රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති. මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියාද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරියද සහෝදරයා සමග කලහ කරයි. යහළුවාද යහළුවා සමග කලහ කරයි. ඔවුහු කෝලාහල, විරුද්ධකම්, විවාද කරති. එකිනෙකා අතින්ද පහරදෙති. කාමය නිසා ගෙවල් බිඳිති, ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යති, ගෙයි වැසියන් පණපිටින් අල්වාගෙන වස්තුව පැහැර ගනිති. මංපැහැරීම (මංකොල්ලකෑම) කරති. පර ස්ත්‍රීන් දූෂ්යද කරති. ඒ සොරුන් රජවරු අල්වා නොයෙක් කම්කටොළු කරවයි ” ආදී වශයෙනි.. මේ සියලු ගැටළු වත්මන් සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ මම ප්‍රමාණවත් මදි කියන අඩුව පුරවා ගන්න බාහිර කාමයන් සොයන නිසාමය.
මෙයින් අප අදහස් කරනුයේ කිසවක් නොකර කිසිම අරමුණක් නොමැතිව ඔහේ නිකමෙක් වගේ සිටිය යුතුය කියා නොවේ. මෙලොව ජීවත් වෙන සෑම කෙනෙකුටම ශරීරය පවත්වාගෙන යාමට ආහාර පාන, ජීවත් වීමට නිවහනක්, ඇඳුම් පැළදුම් සහ බෙහෙත් අවශ්‍යමය. ඒ සඳහා ධාර්මිකව උත්සහ කල යුතුය. නමුත් සිදු නොකළ යුත්තේ තමා ළඟ නැති දේවල් සහ අනුන් ළඟ ඇති දේවල් ගලපා තමාව පහත්කොට නොසිතීමයි.
නමුත් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ කාමයන් පරිහරණය කිරීමට සිදුවේ. ඒ සඳහා අපට අවශ්‍ය වනුයේ කාමයන් පිළිබඳව මනා අවබෝධයක්ය. එනම් මේ මේ සියලුම කාමයෝ අනිත්‍ය අස්ථීර බවත්, දුකක් බවත්, තමාගේ වසගයේ පැවතිය නොහැකි දෙයක් බවත්ය. බාහිර කාම වස්තූන් මුල් කරගෙන මම ප්‍රමාණවත් මදි කියන හීන මානය නම් වූ අඩුපාඩුව පුරවා සිතේ සතුට උපදවා ගැනීමට උත්සහ කිරීම ප්‍රයෝජනයක් නැති දෙයක් බවත්, කෙලෙහිගුණ දන්නා වැදගත් සත්පුරුෂ මනුෂ්‍යකු සේ ජීවත් වීම හොඳටම ප්‍රමාණවත් බව ධර්මානු කූලව වටහා ගැනීමය.
එවිට මම ප්‍රමාණවත් මදි කියන මානසික ආසනයෙන්, පීඩනයෙන් සදහටම මිදෙන මාර්ගයේ දොරටු ඔබට විවර වනු ඇත.
ආචාර්ය තිස්ස ජිනසේන.
2023.09.24