November 24, 2026

ලෝකය ගත්කළ, ඒ තුළ පවතින්නා වූ හා ක‍්‍රියාත්මක වන්නා වූ සියළු කරුණු කාරණා මෙන්ම ක‍්‍රියාවලි නිරන්තරයෙන්ම සාමාන්‍ය ජනයාට විවෘතව නොපවතියි. මන්ද යත් රාජතාන්ත‍්‍රික මට්ටමෙන් සිදුවන්නා වූ බොහෝ ක‍්‍රියාවලි සාමාන්‍ය ජනයාගෙන් වසන්කරනු ලබන්නේ, එසේ සාමාන්‍ය වැසියා අදාළ සිදුවීම් පිළිබඳව නිසි අවබෝධයකින් පසුවුවහොත් අදාළ බලවතුන් හට ඔවුන්ගේ සැබෑ අරමුණු කරා පහසුවෙන් යාමට ඇති ඉඩ ප‍්‍රස්ථාව අවම වන හෙයිනි. කෙසේ නමුත් මේ අන්දමින් ලෝකය තුළ සිදුවන්නා වූ දේශපාලනික, ආර්ථික මෙන්ම යුධමය සිදුවීම් පිළිබඳව කරුණු විශ්ලේෂණය කරන්නන්, එනම් භූ දේශපාලනික විශ්ලේෂකයින් හීනවීමද මෙම සැබෑ තතු සමාජගත වීම අඩුවීමට හේතුසාධක වී ඇත. එමෙන්ම අප මේ අයුරින් ලෝකය තුළ සිදුවන්නා වූ විවිධ සිද්ධි දාමයන් ගෙනහැර දක්වමින් ඔබගේ දැනුම ශක්තිමත් කිරීමට උත්සාහ කරනු ලබන්නේ ලෝකයෙහි අනාගත ප‍්‍රවණතා පිළිබඳව නිසි අවබෝධයක් ඔබ තුළ ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමිනි.

රුසියාව හා යුක්‍රේනයේ යන නාමයන් ඇසූ දුටු පමණින් අදවන විට ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුගේ මතකයට නැගෙනුයේ රුසියානු-යුක්‍රේන යුද්ධයයි. එනම් අදවන විට මෙම පුවත ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් අවසන් ය. එය එසේ වුවද මෙම සිදුවීම් පිළිබඳව සමාජගතව පවතින කරුණු කාරණාවන්හි සත්‍යතාවය ස්ථාවර කරගැනීමේත්, නිවැරදිම කරුණු අවබෝධ කරගැනීමේත් අවශ්‍යතාවය ඉස්මතු වනු ලබන්නේ අපහට අනාගත ලෝකය පිළිබඳව සැබෑ ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට අවැසි අවස්ථාවන්හිදීය. කෙසේ නමුත් මෙම රුසියානු යුක්‍රේන යුද්ධය එක්විටම පැනනැගුණු ගැටළුවක්ද ? එසේත් නොමැතිනම් දීර්ඝ කාලීන මතගැටුම් රාශියක වර්තමාන ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවූවාක්ද යන්න පිළිබඳව ඔබද උභතෝකෝටික ප‍්‍රශ්නයක සිරව සිටීමට පුළුවන. එනමුත් ලෝකයේ සිටින්නා වූ බොහෝමයක් භූ දේශපාලනික විශ්ලේෂකයින්ගේ මතයට අනුව මෙම රුසියානු යුක්‍රේන ගැටළුව දීර්ඝ කාලයක් පසුපසට ගමන් කරනු ලබන රාජතාන්ත‍්‍රික ගැටළුවක් බව සැබැවින්ම නිවැරදිය.

1917 වර්ෂයේදී ආරම්භ වූ රුසියානු විප්ලවයේ අවසාන කාල පරිච්චේදයේ තුළ, එනම් 1922 වර්ෂයේ දෙසැම්බර් 30 වන දින සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව නිර්මාණය වූ අතර පසුව රුසියාව, යුක්ක්‍රේනය, ජෝර්ජියාව, බෙලරුසියාව, උස්බිකිස්තානය, ආර්මේනියාව, අසර්බයිජානය, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව මෙන්ම ලිතුවේනියාව ඇතුළු ජනරජ 15ක් මතින් සෝවියට් සමූහාණ්ඩුව ශක්තිමත් වන්නට විය. කෙසේ නමුත් දෙවන ලෝක මහා සංග‍්‍රාමයෙන් අනතුරුව පැවති සීතල යුද්ධයේ විවිධාකාර බලපෑම් මෙන්ම සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ රාජ්‍යයන්ට අවැසි වූ ස්වාධීන පිඹිදීමත් හේතුකොට ගනිමින් 1991 වර්ෂයේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව විසුරුවා හරින්නට විය. මෙම විසුරුවා හැරීමෙන් අනතුරුව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති බොහෝ රාජ්‍යයන් ක‍්‍රමානුකූලව නේටෝ සංවිධානයේ මෙන්ම යුරෝපා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නට විය. එනමුත් යුක්‍රේන මෙම සංගම්හි සාමාජිකත්වය ලබාගැනීම සඳහා විශේෂ රුචිකත්වයක් නොදැක්වූ අතර 2014 වර්ෂය වනතුරු ඉතාම ස්වාධීන ලෙස පාලන කටයුතු ගෙන යන්නට විය. මෙයට ප‍්‍රධානතම හේතුකාරණය වූයේ 2010 වර්ෂය දක්වා වූ කාලසීමාව තුළ යුක්‍රේනයේ පාලන කටයුතු හෙඹවූ පාලකයන් තුළ පැවති යුරෝපීය හා රුසියානු අතරමැදි ප‍්‍රතිපත්තීන් ය.

තවද යුක්‍රේනයේ යුරෝපයට මායිම් වූ බටහිර කොටස් හි එම බටහිර සමාජ සංස්කෘතියට නැඹුරු වූ මිනිසුන්ද, නැගෙනහිර යුක්‍රේනයේ රුසියාවට මායිම්ව පැවති කොටස් තුළ රුසියානු භාෂාව හා එම සංස්කෘතීන්ට හුරු වූ මිනිසුන්ද ජීවත් වීමත් එවකට සිටි යුක්‍රේන පාලකයින් මෙලෙස මධ්‍යස්ථ පාලන ක‍්‍රමයක් ගෙන යාමට හේතු විය. කෙසේනමුත් 2010 වර්ෂයෙන් අනතුරුව එවකට යුක්‍රේනයේ ජනාධිපති ධූරය ඉසිලූ වික්ටර් යොනුකොව්ච් මහතා විසින් රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් මහතා සමඟ බොහෝ සමීප සබඳතා පැවැත්වූ අතර පාලන කටයුතු තුළදීද ඔවුන් ඉතා මිත‍්‍රශීලී ක‍්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නට විය. මෙම සිදුවීම සත්‍යවශයෙන්ම නැගෙනහිර යුක්‍රේනයේ වැසියන්ට කිසිඳු ආකාරයක ගැටළුවක් නොවුවද, බටහිර යුක්‍රේනයේ වැසියන් හට විශාල ගැටළුවක් විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් බටහිර යුකේ‍්‍රනයේ වැසියන් ජනපති වික්ටර් යොනුකොව්ච් මහතාට විරුද්ධව අරගල දියත් කළ අතර දිගින් දිගටම පැවති මෙම අරගල හේතුවෙන් 2014 වර්ෂයේදී ඔහුව ධූරයෙන් පහකිරීමට බටහිර යුක්‍රේනියානුවන්ට හැකිවිය.ඉන් අනතුරුව 2014 වර්ෂයේදී පැවති මැතිවරණයක් තුළින් යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස පෙට්‍රො පොරොෂෙන්කො මහතා පත් වූ අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව යුරෝපීය ගැති පාලකයෙක් විය.

මන්ද යත් ඔහු ධූරයට පැමිණීමට පෙර සිටම ප‍්‍රකාශකර සිටියේ ඔහුගේ පාලනය යටතේ යුකේ‍්‍රනය නේටෝ සංවිධානයේ හා යුරෝපා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා බවයි. ඔහුගේ මෙම ක‍්‍රියා කලාපය රුසියාවට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. එසේ හෙයින් නොපමාව ක‍්‍රියාත්මක වූ රුසියාව පොරොෂෙන්කෝගේ පැමිණීමට පෙර එනම් 2014 වර්ෂයේදීම එවකට යුක්ක්‍රේන පාලනයේ පැවති ක‍්‍රිමියාව ආක‍්‍රමණය කරන්නට විය. මෙම සිදුවීම හේතුකරගනිමින් ඇමරිකාව මූලික වූ බටහිර රාජ්‍යයන් බොහෝමයක් පාහේ රුසියාවට එරෙහිව දැඩි සම්භාදක මෙන්ම රාජතාන්ත‍්‍රික සබඳතාද අඩපණ කිරීමට සුදානම් වූ නමුත් රුසියාව එහිදී ඉතා ඥාණාන්විත ලෙස කටයුතු කරන්නට විය. එනම් මෙම ආක‍්‍රමණය තුළින් කිසිවිටෙකත් ක‍්‍රිමියානු වැසියන් හට කිසිඳු අගතියක් නොවන බව ජාත්‍යන්තරයට පෙන්වාදුන් රුසියාව එය ප‍්‍රත්‍යක්ෂ කිරීම උදෙසා ක‍්‍රිමියාව තුළ ජනමත විචාරණයක් සිදුකිරීමට කටයුතු සම්පාදනය කෙරිණි. මෙම ජනමත විචාරණයේදී ක‍්‍රිමියානු වැසියන්ගෙන් 60% ක ප‍්‍රතිශතයක් රුසියාවට පක්ෂග‍්‍රාහීව තම ඡුන්දය ප‍්‍රකාශ කිරීම හේතුකරගනිමින් රුසියාව ජාත්‍යන්තරයෙන් කපා හැරීමට ගත් ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් සියල්ලන්ගෙහිම උත්සාහය එක් නිමේශයකින් ව්‍යාර්ථ වුණි.

කෙසේ නමුත් 2014 වර්ෂයේදී යුක්‍රේනය තුළ සිදුවූ මෙම බල හුවමාරුවත්, ඒහා සමඟාමීව රුසියාව විසින් ක‍්‍රිමියාව ආක‍්‍රමණය කිරීමත් අතර පවතින සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව නිසැක පැනයක් ඔබ තුළ නිර්මාණය වනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි. එනිසාවෙන් යුක්‍රේනය තුළ පැවති එම අභ්‍යන්තරික අරගල මධ්‍යයේ සිදුවූ රාජතාන්ත‍්‍රික බල අරගලයේ සැබෑ සුලමුල, ඔබ තුළ හටගත් පැනයට පිළිතුරක් ලෙස ලබාදීමට මා බලාපොරොත්තු වෙමි. තවද මෙම ලිපියෙහි පරමාර්ථපූර්ණ වූ සැබෑ ආරම්භයද මෙය වනු ඇතැයි මා විශ්වාස කරමි.


එනම් 1991 වර්ෂයේදී සෝවියට් සමූහාණ්ඩුව විසුරුවා හැරීමෙන් අනතුරුව රුසියාව දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නට වූයේ නේටෝ සංවිධානයට අයත් කිසිඳු හමුදා මූලස්ථානයක් රුසියාවෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ඔවුන්ගේ දේශසීමාවන්ට ආසන්න කලාප තුළ ස්ථාපනය නොකරන ලෙසය. එනමුත් ඇමරිකාව දිනෙන් දින නේටෝවෙහි බලය පුළුල් කිරීම හේතුවෙන් නේටෝ යුධ මූලස්ථාන ක‍්‍රමයෙන් රුසියාව ආසන්නයටම පැමිණෙන්නට විය. කෙසේනමුත් 2000 වර්ෂයේදී රුසියාවෙහි බලයට පැමිණි ව්ලැඩිමියර් පුටින් මහතා ඔහුගේ ධූරය ආරම්භයේදීම නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලූම් කළද සෑම අවස්ථාවකම එය ප‍්‍රතික්ෂේප වූයේ ඒ තුළින් ඇමරිකාව මූලික වූ නේටෝ සංවිධානයෙහි සැබෑ අරමුණු ඇහිරීමට ඉඩ ප‍්‍රස්ථාව තිබූ හෙයිනි. මෙම සිදුවීම් හා සමගාමීව රුසියාවෙහි නිරන්තර අවධානය යුක්‍රේනය හා ක‍්‍රිමියාව දෙසට යොමු වන්නට විය. මේ සඳහා 2014 වර්ෂයේදී බලයට පැමිණි යුක්ක්‍රේන ජනපති පෙට්‍රො පොරොෂෙන්කෝගේ බටහිර ගැති ප‍්‍රතිපත්ති ප‍්‍රධාන වශයෙන් හේතුසාධක වූ අතරම එවකට ක‍්‍රිමියාවෙහි පාලනය යුක්‍රේනය යටතෙහි පැවතීමද රුසියාවට විශාල තර්ජනයක් බවට රුසියාව විශ්වාස කරන්නට විය. තවද ක‍්‍රිමියාවෙහි බලය රුසියාව විසින් නතුකර ගැනීමට බලපෑ ප‍්‍රධානම හේතුව නම් ක‍්‍රිමියාව කළු මුහුදට මායිම්ව පිහිටීමයි. එනම් දෙවන ලෝක මහා සංග‍්‍රාමය පැවති කාලසීමාවේදී යුක්‍රේනය හා ක‍්‍රිමියාව, රුසියානු යුධ ශක්තියෙහි අදිසි හස්තය වී තිබිණි. එය කෙතරම්ද යත්, එවකට රුසියානු මරුමස්ථානය ලෙස යුක්‍රේනය නම් දැරූ අතර එවකට ලෝක ප‍්‍රසිද්ධව පැවති ඇන්ටනෝ සමාගම වැනි භාණ්ඩ හා මගී ප‍්‍රවාහන ගුවන්යානා නිෂ්පාදන ආයතන මෙන්ම විශාල යුධ මූලස්ථාන හා අවි ගබඩා යුකේ‍්‍රනය සතුවීම එයට හේතුවිය. තවද අනෙක් පසින් රුසියානු නාවික බලය ස්ථාවර කරගැනීමට ක‍්‍රිමියාව විශාල ශක්තියක් වූ අතර රුසියාවට අයිති වූ ප‍්‍රධානතම නාවුක බලඟන 5 හි එක් බලකායක් වූ (Black Sea Fleet) කළු මුහුදු බලකායෙහි ප‍්‍රධානතම කඳවුර ක‍්‍රිමියාවෙහි පිහිටා තිබුණි. කෙසේනමුත් 2014 වර්ෂයේදී යුක්‍රේනය තුළ වූ මෙම බල පෙරළිය තුළින් පැමිණි පාලකයාගේ බටහිර ගැතිභාවයත්, ඒ ඔස්සේ නේටෝ සංවිධානය යුක්ක්‍රේනය තුළට ඇතුළුවීමට වැඩි ඉඩකඩක් තිබීමත් හේතුකරගනිමින් තවදුරටත් ක‍්‍රිමියාව යුක්‍රේන පාලනය යටතේ තිබීම රුසියාවට විශාල තර්ජනයක් විය. එසේ හෙයින් රුසියාව විසින් එලෙස ක‍්‍රිමියාවෙහි බලය තමන් සතුකරගැනීම උදෙසා මෙම සිදුවීම් මාලාව බෙහෙවින් හේතුසාධක විය.

කෙසේනමුත් ක‍්‍රිමියාව රුසියාවෙහි පාලනයට යටත් වුවද, එවකට යුක්‍රේනය පාලනය කළ පෙට්‍රො පොරොෂෙන්කෝගේ බටහිර ගැති පරිපාලනය නේටෝ සංවිධානයට රුසියානු දේශසීමා විවෘත වූවාක් හා සමාන විය. මේ ඔස්සේ හට ගත් ජාතික අනාරක්ෂිතභාවයත්, බටහිර ගැති පාලනය තුළින් නැගෙනහිර යුක්‍රේනියානුවන් හට සිදුවූ ඇතැම් අකටයුතුකම්ද හේතුපාදක කරගනිමින්, නැගෙනහිර යුකේ‍ක්‍රේනයේ වැසියන් යුක්‍රේන රජයට විරුද්ධව වීදි බසින්නට විය. මෙම විරෝධතාවය කෙතරම් දරුණු කැරැල්ලක් බවට වර්ධනය වූවාද යත්, ඒ සඳහා රුසියානු යුධ ආධාර පවා හිමිවූ බව විවිධ වාර්තා තුළ සඳහන් වේ. තවද ඉතාමත් ශීඝ‍්‍ර ලෙස වර්ධනය වූ රුසියානු හිතෛශී කැරලිකරුවන් ඩොන්බාස්හි යුක්‍රේන රජයට අයත් වූ ගොඩනැඟිලි අත්පත් කරගත් අතරම ගිණිකොණදිග යුකේ‍ක්‍රේනයේ ප‍්‍රධානතම පළාත් වූ ඩොනෙට්ස්ක් හා ලූහාන්ස්ක් යන පළාත්ද පිළිවෙළින් සිය පාලනයට නතු කරගැනීමට සමත්විය. මෙයින් නොනැවතුන සටන්කරුවන් 2014 වර්ෂයේ අප්‍රේල් මස 07 වන දින ඩොනෙට්ස්ක්ද පසුකාලීනව ලූහාන්ස්ක්ද ස්වාධීන රාජ්‍යයන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදි. මෙම සිදුවීමත් සමඟම ක‍්‍රියාත්මක වූ යුක්ක්‍රේන රජය එම කාලසීමාව තුළම ත‍්‍රස්ත විරෝධී මෙහෙයුම් හා ඒකාබද්ද හමුදා මෙහෙයුම් නමින් රුසියානු හිතෛශී හමුදාවන්ට මෙන්ම සටන්කරුවන්ටද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2014 වර්ෂයේ අගෝස්තු මාසය වනවිට යුක්‍රේන හමුදාව විසින් කැරලිකරුවන් සතුව පැවති රුසියානු දේශසීමාවන්ට මායිම් වූ බොහෝමයක් ප‍්‍රදේශ නැවත තමන් සතුකර ගැනීමට සමත් වුවද රුසියාව විසින් රහසිගත ලෙස ලබාදුන් ඇතැම් යුධ ආධාර හේතුවෙන් මෙම ගැටුම කිසිදා නිමා නොවීය. එම කරුණු කාරණා කෙසේ වුවද ඒ තුළ ඇති ඛේතජනකම සිදුවීම නම්, මෙම දෙපාර්ශවයේම සටන් තුළින් සිදු වූ ජීවිත හානිය. එනම් දැනට පවතින විවිධ වාර්තාවන්ට අනුව මෙම සටන් හේතුවෙන් පළමු වසර තුළ පමණක් රුසියානු හිතවාදී හමුදාවන් හා සටන්කාමීන් 6500ක්ද, යුක්ක්‍රේන හමුදාවන්ගෙන් 4400ක්ද, දෙපාර්ශවයෙහිම පෙරටුගාමී සිවිල් වැසියන් 3400ක්ද වශයෙන් සමස්ථය 14000කට අධික මිනිස් ජීවිත ප‍්‍රමාණයක් අහිමි වූ බව සඳහන් වේ.
කෙසේනමුත් මේ සඳහා විසඳුමක් ලෙස 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙහිදී මින්ස්ක් සටන් විරාම ගිවිසුම අත්සන් කළද, නිරන්තරයෙන්ම සිදුවූ සටන් විරාම කඩකිරීම් හේතුවෙන් 2015 වර්ෂයේ ජනවාරි මාසය වනවිට තත්වය උග‍්‍ර වන්නට විය. මෙම තත්වය සමතයකට පත්කිරීමේ අරමුණින් සංශෝධිත විධි විධානද ඇතුළත්ව 2015 වර්ෂයේ පෙබරවාරි 12 වන දින මින්ස්ක් 2 නමින් නව සටන් විරාම ගිවිසුමක් ක‍්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය ලැබුණමුත් මෙම යුධ ගැටුම්හි පසුපසින් සිටි අඳුරු සෙවණැල්ලක් බඳු වූ ඇමරිකාව මෙම මින්ස්ක් 2 ගිවිසුමද එක්තරා හීනයක් ලෙසින් ව්‍යාර්ථ කිරීම උදෙසා කටයුතු කරන්නට විය. එනම් 2015 වර්ෂයේ මාර්තු මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක වටිනාකමකින් යුත් මාරාන්තික නොවන යුධ ආධාර යුක්‍රේනයට ලබාදීමට කටයුතු කරනු ලැබුවේ මින්ස්ක් 2 ගිවිසුමද සාර්ථකව අත්සන් කර තිබූ පසුබිමකය. තවද ඇමරිකා එක්සත් ජනපදයේ 173වන ගුවන් හමුදා බලකායට අයත් හමුදා පුහුණුකරුවන් 300ක් පමණ ඩොන්බාස්හි ජාතික ආරක්ෂක ඒකක වෙත යැවූ ඇමරිකාව එයින් නොනැවතී ඔවුන්ගේ පැරෂුට් භටයන්ද සමඟ කැනඩියානු ජාතිකයින් 200ක් මෙන්ම බ්‍රිතාන්‍ය පුහුණුකරුවන් 75ක්ද මේ සඳහා යෙදවීමට කටයුතු කරන ලදි. ඉතාමත් පටු අරමුණු මුදුන්පත් කරගනිමින් ඇමරිකාව සිදුකළ මෙම ක‍්‍රියාව මූලික කරගනිමින් රුසියාව නිරන්තරයෙන්ම යුකේ‍ක්‍රේනය වෙත අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවේ මෙය ජාතික සාමයට කන කොකා හැඬීමක් හා සමාන වූ බැවිනි. මේ පිළිබඳව සඳහන් කර ඇති බොහෝ වාර්තාවලට අනුව ඩොන්බාස්හි පැවති මෙම යුද්ධය සමතයකට පත්කිරීම උදෙසා ගෙන එන ලද සටන් විරාම 29ක් පමණ ප‍්‍රතිඵලදායක නොවන ලෙස ව්‍යාර්ථ වී ඇත්තේ දෙපාර්ශවය තුළින්ම සිදුවූ විවිධ අකටයුතුකම් හා මතගැටුම් මෙන්ම ඇමරිකාව ඇතුළු බලලෝභී බාහිර පාර්ශවයන්ගේ මැදිහත්වීම්වලද ප‍්‍රතිඵලයක් ලෙසිනි.බටහිර ජාතීන්ගේ නොයෙක් කුමන්ත‍්‍රණ මතින් 2014 වර්ෂයේදී ආරම්භ වූ මෙම යුධ ගිනි දැල් එදා සිට අද දක්වාම කිසිඳු සාමයකට නොයටත්ව ඇවිලෙමින් පැවතීම සත්‍යවශයෙන්ම කනගාටුදායක සිදුවීමකි.

මෙම සිදුවීම් ජාලයම ඒ අයුරින් පැවතීමේදී 2019 වර්ෂයේදී පැවති මැතිවරණය තුළින් යුක්ක්‍රේනයේ නව ජනාධිපති ලෙස වොලොඞ්මියර් සෙලෙන්ස්කි මහතා තේරී පත්විය. ඔහුද සැබවින්ම ඇමරිකාව මූලික බටහිර රාජ්‍යයන් හට හිතෛශී ලෙස කටයුතු කළ පාලකයෙක් වූ අතර පැවති අර්බුදකාරී යුධ ගැටුම් සඳහා නිසි පිළිවෙතක් අනුගමනය කිරීමට ඔහුටද නොහැකි වුණි. මෙලෙස වසර ගණනාවක් පුරා සිදුවූ සමස්ථ කරුණු කාරණාවන්හි අවසාන ප‍්‍රතිඵලයක් වශයෙන්, තවදුරටත් තම දේශසීමා අනාරක්ෂිත ලෙස පවත්වා ගැනීම අනුවණ ක‍්‍රියාවක් බව වටහා ගත් රුසියාව වහාම ක‍්‍රියාත්මක වන පරිදි පූර්ණ වශයෙන් යුකේ‍ක්‍රේනය ආක‍්‍රමණය කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව 2022 වර්ෂයේ පෙබරවාරි මස 24 වන දින රුසියාව විසින් යුක්ක්‍රේනය ආක‍්‍රමණය කළ අතර මෙම සිදුවීම ජාත්‍යන්තරයෙහි සුවිශේෂී කතාබහට ලක්විය. කෙසේනමුත් වේගවත් ආක‍්‍රමණයක් දියත් කළ රුසියාව ඉතා උපක‍්‍රමශීලී ලෙස යුකේ‍ක්‍රේනයේ බලශක්ති උත්පාදක වෙත ප‍්‍රහාර පිට ප‍්‍රහාර එල්ල කරන්නට විය. මෙලෙස නොනවත්වා එල්ල කළ ප‍්‍රහාර හමුවේ යුකේ‍ක්‍රේනය සතුවූ බලශක්ති මූලස්ථාන හා බොහෝ ගොඩනැඟිලි විනාශ වූ අතරම ඇතැම් ප‍්‍රදේශ රුසියානු යුධ පාලනයට නතුවිය. මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක් කරගත් ඇමරිකා එක්සත් ජනපදය වහාම ක‍්‍රියාත්මක වන පරිදි රුසියාවට එරෙහිව ජාත්‍යන්තර සම්භාදක තර කිරීමට කටයුතු කරනු ලැබුවේ ඒ ඔස්සේ රුසියානු ආර්ථිකයද අඩපණ කිරීමේ අරමුණු පෙරදැඩි කරගනිමිනි. එනමුත් මෙම තත්වය සඳහා ඉතා උපායශීලී ලෙස මුහුණදුන් රුසියාව තම භාණ්ඩ හා සේවා බාටර් ක‍්‍රමවේදය ඔස්සේ සෘජුව ගණුදෙනු කිරීමත් සමඟම එවරද ඇමරිකාව අසාර්ථක විය. කෙසේනමුත් මෙම යුධ ගැටුම සඳහා සෘජුව මැදිහත් නොවන බව ඇමරිකානු ජනපති ජෝ බයිඞ්න් මහතා නිරන්තරයෙන්ම ප‍්‍රකාශ කළද, නේටෝ සංවිධානය භාවිතා කරමින් පෝලන්තය හරහා අවි ආයුධ ඇතුළු යුධ ආධාර යුකේ‍්‍රනය වෙත ලබාදීමට ඔවුන් කටයුතු කරන්නට විය. මෙම යුධ ආධාර සමඟ වහා ක‍්‍රියාත්මක වූ යුක්ක්‍රේන හමුදා ඔවුනට අහිමි වූ ප‍්‍රදේශ මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරමින් ඇතැයි ප‍්‍රදේශ නැවත යුක්ක්‍රේන හමුදා පාලනයට ගැනීමට කටයුතු කළද මෙම යුධ අර්බුදය කිසිවිටෙකත් සැබෑ නිමාවක් නොදකින්නට විය.
ඉහත මා සඳහන් කරනලද සිදුවීම් හා සමකාලීනව රුසියානු රජයට එරෙහිව සිදුවූ විවිධ කුමන්ත‍්‍රණකාරී සිදුවීම්ද එවකට වාර්තා වන්නට වුණි. එනම් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වන දින නෝඞ් ස්ටී‍්‍රම් 01 හා නෝඞ් ස්ටී‍්‍රම් 02 යන ස්වභාවික ගෑස් ප‍්‍රවාහනය කළ නල මාර්ගයට රහසිගත ලෙස බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල වන්නට වුණි. බෝල්ටික් මුහුද ඔස්සේ රුසියාවේ සිට ජර්මනිය දක්වා ස්වාභාවික ගෑස් ප‍්‍රවාහනය කළ රුසියානු ගෑස්ප්‍රොම් නම් සමාගමට අයත් වූ මෙම නල මාර්ග දෙකට සිදුවූ මෙම ප‍්‍රහාර හේතුවෙන් විශාල වශයෙන් දිය යට ගෑස් කාන්දුවීම් වාර්තා වූ අතර මෙය නිසැකවම ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරන ලද්දක් ලෙසට බොහෝදෙනා මත ඵල කරන්නට විය.
කෙසේනමුත් මෙම අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ සිදුවූ චීන ජනපති සී ජින්පින් මහතාගේ රුසියානු සංචාරයෙහිදී ඔහු විසින් රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් මහතා වෙත සාම ගිවිසුමක් ඉදිරිපත් කළ අතර රුසියානු ජනපතිවරයාගේ එකඟතාවයද ඒ සඳහා ලැබුණු බව විදේශ මාධ්‍ය සඳහන් කරන්නට විය. එනමුත් කනගාටුවට කරුණ නම්, එලෙස සාමය පිබිදීමට අවස්ථාව උදා වූ එවැනි අවස්ථාවක යුක්ක්‍රේන ජනපති වොලොඞ්මියර් සෙලෙන්ස්කිගේ අනුදැනුම මත රුසියානු හමුදා වෙත එල්ල වූ ප‍්‍රහාරයන්ය. මෙලෙස සිදුවූ ප‍්‍රතිප‍්‍රහාර හමුවේ ව්ලැඩිමියර් පුටින් මහතා ප‍්‍රකාශ කර සිටින්නට වූයේ නැවත කිසිඳු සාම ගිවිසුමක් කෙරෙහි තමන් එකඟතාවය ඵල නොකරන බවත්, යුක්ක්‍රේනය රුසියාව ඉදිරියේ දණ නමන තුරු මෙම සටන ගෙනයන බවත්ය.

කෙසේවෙතත් මෙලෙස ප‍්‍රචණ්ඩ ලෙස ගිණිදැල් ඇවිලෙමින් පවතින වර්තමාන කාලපරිච්චෙදයක තුළ රුසියාව නිහඬව සිටීම ඔබගේ මෙන්ම මාගේද කුතුහලයට තුඩුදුන් කරුණක් විය. එනමුත් සත්‍යවශයෙන්ම රුසියාව විසින් රකිනු ලබන මෙම ව්‍යාඝ‍්‍ර තපස නිමාවීමට ඇත්තේ තවත් ස්වල්ප කාලසීමාවක් බව බොහෝදෙනෙකුට නොවැටහුණි. එනම් ශීත සෘතුවෙහිදී එක්රැස්වන හිමත්, තෙතබරිත භූමියත් හේතුකරගනිමින් රුසියාව කල් යල් බලමින් සිටින අතර භූමිය ස්ථාවර මට්ටමකට පත්වූ වහාම රුසියානු බර අවි ස්ථානගත කිරීමට ඔවුන් කටයුතු කරන බව මේ වනවිට බොහෝ විශ්ලේෂකයින්ගේ මතය වී ඇත. රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 150ක පමණ දුරකින් යුත් මායිමක් දක්වා රුසියාව තම යුධ බලඇණි ස්ථාන ගතකර ඇති අතර වැග්නර් බලඇණිය ඇතුළු පුළුල් කරන ලද 700,000ක ඝනයකින් යුත් රුසියානු යුධ බලය මේවන විටත් යුක්ක්‍රේනයට අතිවිශාල අභියෝගයක් වී හමාරය. නේටෝ සංවිධානයද යුධ පුහුණු හා තාක්ෂණික ක‍්‍රමවේද ලබාදෙමින් යුක්ක්‍රේන හමුදා දිරිගැන්වීමට කටයුතු කරනු ලබන්නේ යුක්ක්‍රේන හමුදාවන්ට මෙන්ම නේටෝ හමුදාවන්ටද පාලනය කිරීමට නොහැකි තරම් වූ යුධ ශක්තියක් රුසියාව සතුව පවතින හෙයිනි. එය කෙතරම්ද යත්, මේ වනවිට රුසියාව සතු බොහෝමයක් බරඅවි සැටලයිට් තාක්ෂණය ඔස්සේ මෙහෙයවන අතර යුකේ‍්‍රන ගුවන් ආරක්ෂණ පද්ධතියද විනාශ කිරීමට හැකියාව පවතින කින්සල් හයිපර්සොනික් මිසයිල පද්ධතීන් සහිත ගුවන් ප‍්‍රහාරක යානා මෙන්ම රුසියාව සතුව පවතින ී-400 වර්ගයේ විශිෂ්ට වූ ගුවන් ආරක්ෂණ පද්ධතීන්ද මෙම ආක‍්‍රමණය සඳහා මනාව සූදානම් කරඇති බව පෙන්වාදිය හැකිය.
කෙසේනමුත් යුක්ක්‍රේනයේ දැනට පවතින ආරක්ෂක බලප‍්‍රදේශයක් වන බක්මුට් ප‍්‍රදේශයට ආරම්භක ප‍්‍රහාර දියත් කිරීමට සූදානම්වන රුසියාව පවසා සිටින්නේ ඔවුන් කිසිවිටෙකත් යුකේ‍්‍රනයේ අගනගරයට පහර නොදෙන බවත්, ඔවුන්ගේ දේශසීමාවන්ට තර්ජනයක් වන කලාප සියල්ල ඔවුන්ගේ පාලනයට නතුකරගන්නා බවත්ය. මෙම දරුණු අන්දමේ යුධ ගැටුම් කෙසේවුවද, රුසියාවෙහි සැබෑ යුධ අරමුණ නම්, යුක්ක්‍රේනය බිඳදැමීම නොව ඔවුන්ගේ දේශසීමා වෙත ඇදෙන නේටෝ සංවිධානය නැවත ඔවුන්ගේ ආරම්භක සීමා වෙත යැවීමත්, රුසියානු ජාතික ආරක්ෂාවට කිසිඳු ආකාරයේ තර්ජනයක් නොවන පාලකයින් හා පාලන ක‍්‍රමවේද යුක්ක්‍රේනය තුළ ප‍්‍රතිස්ථාපනය කිරීමත්ය.
මා මෙලෙස ඔබගේ අවබෝධය පුළුල් කිරීම උදෙසා ගෙනහැර දැක්වූ සමස්ථ කරුණු කාරණා හා සමගාමීව ඔබගේ දැනුමට එක් කිරීමට අවැසි තවඳු කරුණක් මා සතුව පවතී. එනම් මේ වනවිට යුකේ‍්‍රන හමුදාවට එක්ව ඇති නියෝ නාසි භටයින් පිළිබඳවය. දෙවන ලෝක මහා සංග‍්‍රාමයේදී සිදුවූ හිට්ලර්ගේ පරාජයවීමත් සමඟ බොහෝ නාසි මතදාරීන් එවකට යුකේ‍්‍රනයේ බටහිර කොටසෙහි සැඟව ජීවත් වූ බව ඉතිහාසය තුළ සඳහන් වේ. සත්‍යවශයෙන්ම ඔවුන් එම කලාපය තුළට සංක‍්‍රමණය වීමට බලපෑ ප‍්‍රධානතම හේතුව නම්, යුක්ක්‍රේනයේ අන්තවාදී දක්ෂිණාංශික නායකයෙකු වූ ස්ටෙපන් ඇන්ඩි‍්‍රයෝවිච් බැන්ඬේරා වැනි නාසි ප‍්‍රතිපත්තීන් අනුගමනය කළ පිරිස් එම ප‍්‍රදේශ තුළ ජීවත්වීමය. තවද හිට්ලර්ගේ රුසියානු ආක‍්‍රමණය සිදුවූ කාලසීමාව තුළ ඔවුන් යුකේ‍්‍රනයේ බටහිර කලාප තුළ රැඳෙමින් රුසියාවට පහරදුන් බවද ඉතිහාසයේ විවිධ ස්ථාන තුළ සඳහන්ව පවතී. කෙසේනමුත් මේ තුළ පවතින ආන්දෝලනාත්මක සිදුවීම නම්, මෙම නාසි මතදාරීන් නියෝ නාසි නමින් මේවන විට ශක්තිමත් වී සිටීමත්, නාසි මතවාද දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළ ඇමරිකානු සමාජය තුළ මේ වනවිට ස්ටෙපන් බැන්ඬේරා නම් නායකයා විරුවෙකු ලෙස සැමරීමත්ය.
මා මෙම ලිපිය තුළ සඳහන් කළ සුවිශේෂී වූ කරුණු කාරණා සියල්ල පෙළගස්වමින් සංසන්ධනාත්මකව විමර්ශනය කරන කළ ඉතාමත්ම පැහැදිලි අන්දමින් අවබෝධ වන්නා වූ එක් කරුණක් පවතින බව ඉතාමත්ම පැහැදිලිය. එනම් මෙලෙස රුසියාවට එරෙහිව සිදුවූ සෑම කටයුත්තක් පසුපසම ඇමරිකා එක්සත් ජනපදය වක‍්‍රාකාර ලෙස මැදිහත්ව සිටීමය. එසේ හෙයින් මෙම සමස්ථ සිදුවීම් ජාලය තුළ යුකේ‍්‍රනය යනු ඇමරිකාව විසින් භාවිතා කළ ඉත්තෙකු බව මට මෙන්ම ඔබටද මේ වනවිට මනාව අවබෝධ වී ඇතැයි මා විශ්වාස කරමි. ඉතිහාසය පුරා බලය හා අන්සතු සම්පත් උදෙසා අධික කෑදරකමක් මුදුන් පමුණුවා ගනිමින් සිදුකළ මෙවැනි අතපෙවීම් හේතුපාදක වෙමින් අදවන ඇමරිකා එක්සත් ජනපදය ශීඝ‍්‍ර පරිහානියක් කරා ඇදවැටී ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි වර්තමාන ආර්ථික හා සමාජීය බිඳවැටීමත්, නුදුරු අනාගතය තුළ සිදුවන සංචිත මුදල් එ්කකයෙහි බිඳවැටීම පිළිබඳවත් ඉදිරි ලිපි තුළින් ඔබගේ අවබෝධය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැඩි කරගනිමින් මා අවසන් වශයෙන් ඔබ හට ප‍්‍රකාශකර සිටින්නේ ලෝකය තුළ ඉතා සූක්ෂම ලෙස සිදුවන්නා වූ මෙම සමස්ථ ක‍්‍රියාවලි ජාලය පිළිබඳව මනා අවබෝධයක් ගොඩනඟා ගනිමින් අනාගතය තුළ පැමිණිය හැකි ඕනෑම අර්බුදකාරී ගැටළුවක් සඳහා විසඳුම් ලබාදිය හැකි විශිෂ්ට වූ දැනුමක් හා අවබෝධයක් ඔබ තුළ ප‍්‍රවර්ධනය කරගන්නා ලෙසය.

ආචාර්ය තිස්ස ජිනසේන

2023.03.31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *