
“සත්‍යය නමැති එකම එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත”
මුසාවාද යනු බොරු කීමය ය. අනුන් රවටා මුළා කරන අදහස් ඇතිව ඇති දෙයක් නැතැයි කීමද නැති දෙයක් ඇතැයි කීමද මුසාවාද ය නම් ය. සාමාන්‍යයෙන් මුසාවාද වචනයෙන් සිදුවන වැරැද්දක් ලෙස ගැනේ. නමුත් බොරු කීම පමණක් නොව බොරු කිරීම්, බොරු රඟපෑම්, බොරු ලිවීම්, බොරු මවාපෑම් ආදියද මුසාවාදයෙහිම අංගයන් වේ. බොරු කීමෙන් කරන්නේ කෙනෙකු රැවටීමයි. වංචා කිරීමයි. අනෙකාව මුළා කොට නොමඟ යැවීමේ චේතනාවෙන් ක්‍රියාකිරීම ද බොරුව හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි. කිසියම් ආත්මාර්ථයක් සඳහා සාක්ෂි කැඳවූ විට යමෙක් බොරු කියයිද ඔහු වසලයෙකු බව ධර්මයේ සඳහන් වෙයි. එලෙසම, යම් ප්‍රශ්නයක් විසඳීමට කෙනෙක් සාක්ෂි දීම පිණිස කැඳවා ඔබ ඒ සිදුවීම දුටුවා දැයි විමසූ විට තමන් එය හොඳින් දුටු නමුත් නොදුටුවා යැයි පවසයි නම් නොදුටුවා දැයි විමසන කල්හි එය නොදුටු නමුත් දුටුවා යැයි පවසයි නම් එය මුසාවක යැයි සාලෙය්‍යක සූත්‍රයෙහි සඳහන් වෙයි.
විහිළුවට හෝ බොරු කීමෙන් වන්නේ පවට ඇති ලජ්ජාව සහ බය නැතිවී යාමයි. එවන් බොරු කීම මඟින් බොරුවෙහි ඇති භයානක භාවය නැති වී එය සරල දෙයක් ලෙස පෙනී යයි. ඒ සරල භාවය බොරුව කෙරෙහි ඇති ලජ්ජාව සහ බිය තුරන් කරයි. මේ ධර්ම දෙක එනම් ලජ්ජාව සහ බිය නැතිවී යාම අනෙකුත් පව් කිරීමට ශක්තිය දෙයි.
පහත සඳහන් කරුණු හතර සම්පූර්ණ වීමෙන් බොරුකීමේ පාපය කෙනෙකුට සිදුවේ.
1. කියන කරුණ බොරුවක් වීම
2. අනුන් රවටන අදහස තිබීම
3. රැවටීම සඳහා උත්සාහය
4. එලෙස කියනා දෙය අනෙකා විසින් පිළිගැනීම
එමෙන්ම, සෑම ආගමක ම පව් ලැයිස්තුවක් ඇත්තේ ය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකීම ඒ සියල්ලට ම ඇතුළත් ය. සියලු ම ආගමික නායකයෝ වෙනසක් නැති ව බොරු කීම පාපයක් බව ප්‍රකාශ කරති. ලෝකයේ නුවණැති සියල්ලෝ ම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නා ද පිළිකුල් කරති. අප මහ බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවල දී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් විවරණ ලැබීමෙන් පසු උන් වහන්සේ කිසි කලෙක පවසා නැත. එනම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටම එකම බොරුවක්වත් බෝසතාණන් වහන්සේ කියා නැත. එයින් පෙනෙන්නේ බොරු කීම අන්පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන් වහන්සේ සැලකූ බව ය. බොරු කීමට බිය නොවන ලජ්ජා නො වන තැනැත්තා ගුණවතෙක් නො වේ.
දිනක් භාග්‍යවතුන් වහන්සේ වැඩිය අවස්ථාවක රාහුල තෙරුන් වහන්සේ පැන් බඳුනක් සූදානම් කරලා උන්වහන්සේගේ දෙපා සේදුවා. භාජනයේ ඉතිරි ජලය දුටු භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් රාහුල, මේ භාජනයේ ජලය ටිකයි නේ ද ඉතිරිව තිබෙන්නේ? රාහුල, ඒ වගේ යම් කෙනෙක් බොරු කියනවා නම් එයාගේ ජීවිතයේ ගුණධර්ම ටිකයි පුරුදු කරන්න පුළුවන් වෙන්නේ.” ඊට පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භාජනයේ ජලය විසි කර වදාළා “මේ ජලය ටික වීසි කළා වගේ තමයි යම් කෙනෙක් නිතර දැන දැන බොරු කියනවා නම් වතුර ටික විසි කළ හිස් භාජනය වගේ මේ පුද්ගලයා දියුණු වෙන්න තිබෙන හැම ගුණධර්මයක් ම වීසි කළා වෙනවා” කියලා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය මුනින් අතට නැමුවා. “පින්වත් රාහුල, මුනින් අතට නැමූ මේ භාජනයට ජලය කෙතරම් දැම්මත් භාජනය පිරෙන්නේ නැහැ. ඒ වගේ දැන දැන බොරු කියන කෙනා කෙතරම් ධර්මය ඇසුවත්, කෙතරම් ගුණධර්ම වඩන්නට මහන්සි වුණත් බොරු කියනවා කියන කාරණය හේතු කරගෙන ගුණයක් වඩන්නට බැහැ.” කියා වදාළා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය උඩ අතට හරවා, “පින්වත් රාහුල, කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ ජීවිතය මේ හිස් භාජනය වගේ සම්පූර්ණයෙන් ම හිස් ජීවිතයක්.” කියා වදාළා. යම් කෙනෙක් බොරු කියනවා නම් එයාට අනිත් ඕනෑම පාපකර්මයක් කරන්න පුළුවන්.
එලෙසම වෙනත් සූත්‍රයක භාග්‍යවතුන් වහන්සේ බොරු කීම සම්බන්ධයෙන් මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;
තමා ත් බොරු කියන්නේ වෙයි. අන්‍යයන් ද බොරු කීමෙහි යොදවන්නේ වෙයි. බොරු කීම අනුමත කරන්නේ වෙයි. බොරු කීමෙහි ගුණ කියන්නේ වෙයි.”
තමන් වෙනුවෙන් බොරු කීම, අනුන් වෙනුවෙන් බොරු කීම, ලාභ සත්කාර පෙරදැරි කරගෙන බොරු කීම ආදිය බොරුකීමට මුල්වෙන කරුණු වේ.
භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පාරාජි යනු සම්පූර්ණ මහණ භාවය අහෝසි වී යාමයි. භික්ෂූන් වහන්සේ නමක් එසේ පාරාජිකා බවට පත්වන්නේ තමා තුළ නැති ධ්‍යාන මාර්ග ආදී උත්තරිතර මනුෂ්‍ය ධර්ම මවාපෑමාදි කටයුතු වලිනි. අසන්නා මුලා කරන අදහසින් තමන්ට ප්‍රයෝජන වාසි, ලාබ ප්‍රශංසා ආදිය ලබා ගැනීමේ අරමුණෙන් යුක්තව යම් ස්වාමින් වහන්සේ නමක් සෝවාන් නොවී තමා තුළ නැති මාර්ගඵල ගැන පවසයි නම් එවන් භික්ෂුව පාරාජික භාවයට පත්වෙයි. එවන් බොරු කීමෙන් පමණක් නොව තමන් තුළ නැති යම් යම් උසස් ගුණ ධර්ම තිබෙනවා යැයි අන්‍යයන්ට දැනෙන සේ හැසිරීමද එවැනි ම බොරුවකි. එලෙසම ඉහත සඳහන් කුමන කරුණක් නිසා හෝ බොරු පවසයි නම් එම බොරුව බොරුවක්ම මිස සත්‍ය නොවේ.
ප්‍රේත වස්තුවෙහි සඳහන් වෙනවා මිනිස් ලෝකයේ දී බොරු කියලා, තමන්ගේ වැරැද්ද වසන් කිරීමට බොරුවට දිව්රලා ප්‍රේත ලෝකයේ ඉපදිලා බොහෝ දුක් විඳින කතා. සමහර ප්‍රේත, ප්‍රේතියන්ගේ කටින් නොනවත්වා ම පණුවන් හැළෙනවා. තවත් ප්‍රේතියන්ගේ කටින් ඉතා ම අමිහිරි දුගඳක් පිට වෙනවා. තවත් ප්‍රේතියන් මුඛයක් නැතිව ඉපදී ඉන්නවා.
බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වන අතර අන්‍යයන් විසින් ඔහුගේ වචන අවිශ්වාස කරනු ලබයි. බොහෝවිට විට බොරු කීම නිසා මෙලොවදීම දඬුවම් ද ලබයි. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද වර්ෂ කෝටි ගණනින් දුක් විදියි. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබයි. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා, දඬුවම් ලබයි.
ඒ නිසා බොරුවක් කිව්වා කියා පවක් රැස් වෙන්නේ නැහැයි හිතා සිත සනසා ගන්නේ නැතිව, ඒ පවෙන් මිදෙන්න උත්සාහ කිරීමයි කලයුතු වන්නේ. අවසාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරුණකින්ම මේ ලිපිය අවසන් කරන්නෙමු. එනම්,
“හිස මුඩු කොට තිබීමෙන් ම පැවිද්දෙක් නො වේ. සිල් නැති බොරු කියන ඉච්ඡා – ලෝභ දෙකින් යුත් තැනැත්තා කෙසේ ශ්‍රමණයෙක් වේ ද?”
(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)