
ආදිබ්‍රහ්මචරිය පඤ්ඤා සුත්‍රය ඇසුරෙණි…
” මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් කරුණු අටක් හේතු වෙයි. කරුණු අටක් ප්‍රත්‍යය වෙයි “.
එනම්,
01. මහණෙනි, මෙහිලා භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි. යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන පළමු කරුණ මෙය යි.
02. හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි ද, යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි ද, උන්වහන්සේලා කරා කලින් කල එළඹ ප්‍රශ්න කරයි. නැවත නැවත විමසයි. ‘ස්වාමීනී, මෙය කෙසේ ද? ස්වාමීනී, මෙහි අර්ථය කුමක් ද?’ (පූර්වාපර සන්ධි විචාරයි. සැක තැන් විචාරයි.) වශයෙනි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට වැසී ඇති දෙය විවෘත කරති. අප්‍රකට දේ ප්‍රකට කරති. නන් වැදෑරුම් සැක ඇතිවෙන ධර්මයන්හි සැකය දුරු කරති. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන දෙවන කරුණ මෙය යි.
03. හෙතෙමේ ඒ ධර්මය අසා දෙවැදෑරුම් විවේකයකින් යුක්ත වෙයි. කාය විවේකයෙනුත්, චිත්ත විවේකයෙනුත් ය. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන තුන්වෙනි කරුණ මෙය යි.
04. සිල්වත් ද වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන සිව්වෙනි කරුණ මෙය යි.
05. ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන පස්වෙනි කරුණ මෙය යි.
06. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන සයවෙනි කරුණ මෙය යි.
07. සංඝයා අතරට ගිය කල්හී නොයෙක් කියුම් නැත්තේ වෙයි. තිරිසන් කථාවෙහි (දෙතිස් කථාවෙන්) නොයෙදුණේ වෙයි. තමන් හෝ ධර්මය කියයි. අන් කෙනෙකුට හෝ දහම් දෙසීමට ඇරයුම් කරයි. ආර්ය වූ නිශ්ශබ්දතාවය (ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක්) හෝ ඉක්මවා නොයයි. මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන සත්වෙනි කරුණ මෙය යි.
08. “රූපය මෙසේය. රූපය ඇතිවන්නේ මෙසේය. රුපය නිරුද්ධවන්නේ (නැති වන්නේ) මෙසේය. වේදනාව මෙසේය. වේදනාව ඇතිවන්නේ මෙසේය. වේදනාව නිරුද්ධ වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව ඇතිවන්නේ මෙසේය. සංඥාව නිරුද්ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය ඇතිවන්නේ මෙසේය. සංස්කාරය නිරුඬවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය. විඤ්ඤාණය නිරුද්ධවන්නේ මෙසේ යයි පච්චුපාදානස්කන්ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේද? මහණෙනි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් හේතු වන, ප්‍රත්‍යය වන අටවැනි කරුණ මෙය යි.
(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)