
පඨම නාථකරණ සූත්‍රය ඇසුරෙණි….
” මහණෙනි, පිහිට ඇතිව වාසය කරන්න. පිහිට නැතිව වසන්නට එපා ! මහණෙනි, පිහිටක් නැති තැනැත්තා දුක සේ වාසය කරයි. මහණෙනි, මේ දස නාථකරණ ධර්මයන් පිහිට ලබා දෙන්නේ ය”.
එනම්..
01. මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වාසය කරයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
02. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලදී ද. ධාරණය කරගන්නා ලදී ද. වචනයෙන් පුරුදු කරන ලදී ද. මනසින් විමසන ලදී ද. නුවණින් අවබෝධ කරන ලදී ද. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
03. තව ද මහණෙනි, භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
04. තව ද මහණෙනි, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු
කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
05. තව ද මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
06. තවද මහණෙනි, භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
07. තව ද මහණෙනි, භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්රහාණය කිරීම ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
08. තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
09. තව ද මහණෙනි, භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. මෙය පිහිට ලබා දෙන ධර්මයකි.
10. තව ද මහණෙනි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවකින් යුක්ත වූයේ වෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
කරුණු දහය කෙටියෙන්…
- සිල්වත් බව
- බහුශ්‍රැත බව (භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම විනය පිළිබඳව)
- කල්‍යාණ මිත්‍රයන් ඇති බව
- කීකරු කම
- සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කුදු මහත් වැඩ කටයුතුවලදී සහයෝගය දීම
- ධර්මයට විනයට ප්‍රිය බව. ධර්මයෙන් සතුටු වීම
- පටන්ගත් වීර්ය ඇති බව
- ලද දෙයින් සතුටු වීම
- මනාකොට සිහියෙන් යුතු බව
- ප්‍රඥාව (අනිත්‍ය පිළිබඳව නුවණින් ඇති අවබෝධය)